කුඩා වියේදී සිංහල අවුරුදු උළෙල තරම් අපගේ හිත ප්‍රබෝධයට පත්කළ වෙනත් යමක් නොමැති තරම්ය. එරබදු මල්, කෝකිල රාවය සිංහල අවුරුද්ද පිළිබඳ අපේ හද ප්‍රබෝධයට පත්කළ පෙරමග ලකුණුය. කෘෂිකාර්මික ජීවන රටාව මුල් කරගත් ආසියානු කලාපයේ බොහෝ සමාජවල මෙරට සේම වසන්ත උළෙල සමරන ආකාරය දැකිය හැකිය. එහෙත් ඒ හැම සමාජයකම සාමාජිකයන් වසන්ත උළෙල සැමරුවේ ඔවුනොවුන්ගේ සංස්කෘතික හා ආගමික හර පද්ධති පදනම් කරගෙනය. මෙරට සිංහල අවුරුද්ද ගොඩනැගුණේද බුදු දහමින් පෙන්වා දෙන හරයන් මුල් කරගෙනය.

මහින්දාගමනයට පෙර සිටම අපේ පැරැන්නෝ බක්මහ උළෙල සැමරූහ. එහෙත් මහින්දාගමනය නිසා බක්මහ උළෙලට ධාර්මික හා ආධ්‍යාත්මික අන්තර්ගතයක් ලැබිණ. ජීව හිතවාදී, පරිසර හිතවාදී, මානුෂීයවාදී සේම නැවුම් අරුතක් අපේ අවුරුද්දට ලැබුණේ එමගිනි. කවර සමාජ, ආර්ථික, දේශපාලන විපර්යාසවලට මුහුණ දුන්නද එකී හර පද්ධතිය පදනම් කරගෙන අවුරුද්ද සැමරීමට අපේ මුතුන් මිත්තෝ හැමවිටම යොමුවූහ.
එහෙයින් ඔවුහු පරණ නෝක්කාඩුකම්, අමනාපකම් අමතක කර නෑදෑකම්, මනුස්සකම් යළි අවදි කරගැනීමට, පලුදු වූ මානව සබඳතා පිරිසිදු කරගැනීමට අවුරුද්දේ දී පියවර ගත්හ. එපමණක් නොව, සතා සීපාවා සමගද ළෙන්ගතුකම් ඇතිකර ගැනීමට යොමුවූහ. මූලික වශයෙන් සිංහල අවුරුද්දේ තිබෙන්නේ කෘෂිකාර්මික නිෂ්පාදන ක්‍රමය හා බැඳුණු අරුතකි. අපේ පැරණි ගොවියාගේ ජීවන රටාවෙන් ගවයා වෙන් නොකළ හැකි සාධකයක් විය. එනිසා සිංහල අවුරුද්දේදී ඔවුහු ගවයාට කෘතඥ වූහ. මේ සබඳතා සතා සීපාවාට සීමා නොවීය. ඒවා ගහකොළ වැල දක්වා පුළුල් විය.

අපේ මවුවරු අවුරුදු සමයේදී ළිප සේම ගෙදර ළිඳ සමගද ගනුදෙනු කරති. එමගින් පැහැදිලි වන්නේ සිංහල අවුරුද්ද යනු අපගේ පැවැත්මට අදාළ සම්පූර්ණ ක්‍රියාවලිය සමග සබඳතා ඇතිකර ගැනීමට පෙලඹෙන කාලයක් බවය. නැවුම් හදකින්, පුළුල් සිතකින් ජීවිතයට නව ආරම්භයක් ලබාදීම සිංහල අවුරුද්දේ අරුත බව මෙකී කරුණු අනුව තේරුම්ගත හැකිය.

එසේ වුවද සිංහල අවුරුද්දේ මෙකී සංස්කෘතික හරය තවම ඒ විදිහට ආරක්ෂා වී තිබේද යන්න ගැටලුවකි. එක් පැත්තකින් මෙම සංස්කෘතික හරයන් ආරක්ෂා වූයේ මුලින් සඳහන් කළ පරිදි කෘෂිකර්මය ප්‍රධාන ජීවන මාර්ගය සේ පදනම් වූ සමාජයකය. එහෙත් අද කෘෂිකර්මය මුල් කරගත් සමාජ ක්‍රමය අඩපණ වී තිබේ. ඒ වෙනුවට නව ලිබරල් වෙළෙඳ‍පොළ ක්‍රමය සමාජය තුළ ආධිපත්‍යය දරා තිබේ. තවම මෙරට ගොවිතැන රට වැසියන්ට බොහෝ දෙනාගේ ජීවන මාර්ගය වුවද ගෝලීයකරණය මගින් හරයන් හා ඇගැයීම් පිළිබඳ තීන්දු ගන්නා යාන්ත්‍රණය හමුවේ ඒ සියල්ල අභියෝගයට ලක්ව තිබේ.

මේ නිසා සිංහල අවුරුද්ද වෙළෙඳ‍පොළ ක්‍රමයට හසුව තිබේ. එසේ සිංහල අවුරුද්ද වෙළෙඳ‍පොළ ක්‍රමයට හසුවීම නිසා එහි සංස්කෘතික හරය යටපත් වී සරුවපිත්තල වෙළෙඳ‍පොළ ඇගැයීම් ඉස්මතු වී තිබේ.

අප දකින හැටියට මේ සිංහල අවුරුද්දේදී සරුවපිත්තල වෙළෙඳ‍පොළ සළුපිළිවලින් වැසුණු හැබෑ අවුරුද්ද සොයා ගැනීමේ අභියෝගය අප හමුවේ තිබේ. වෙළෙඳ‍පොළ සහ ඊට අනුබද්ධ සන්නිවේදන යාන්ත්‍රණය මගින් අවුරුද්ද ග්‍රහණයට ගෙන ඇත. රතිඤ්ඤා කර‍ලේ සිට අරක්කු බෝතලය දක්වා වූ භාණ්ඩ අවුරුද්දේ ප්‍රමුඛ තැනට පත්වී ඇත්තේ එනිසාය. අද අවුරුදු මේසය වසාගෙන ඇත්තේ කැවුම්, අතිරස නොවේ. ඒ වෙනුවට වෙළෙඳසල්වලින් මිලදීගත් විවිධ කෑම වර්ග මේසය මත තබා තිබේ. ඒ හා බැඳුණු සංස්කෘතික බැම්මක් අපට නොමැති බව බොහෝදෙනාට අමතකව ගොසිනි. අවුරුද්දක් ජීවත්වෙන්නට තියෙන මුදල අද අවුරුදු සමයේ අරක්කුවලට වැය කිරීමට ඇතැම්හු පෙලඹී සිටිති. ගෘහ මූලිකයා සුරාවෙන් මත්වූ කල එම නිවසේ අවුරුදු සිරි වෙනුවට ඇත්තේ යුද සිරියකි. එය නිවසේ සියලු දෙනාටම වේදනාව ගෙන දෙන්නකි. අනෙක් අතට ලෝකය පුරාම සිදුවෙන බොහෝ නොමනා ක්‍රියාකාරකම් පිටුපස ඇත්තේ අරක්කු, සිගරැට් නිෂ්පාදකයන්ගේ කළු සල්ලිය. ඒවා මලු පිටින් ඔවුන්ට ලබාදෙන්නේ අපි බව අපි නොදනිමු. මේ වසරේදීවත් එවැනි මුග්ධ වැඩ අත්හැරීමට අප අධිෂ්ඨාන කරගත යුතුය. එයට හොඳම අවස්ථාව මෙම උදාවන නව වසරය. එසේම අතේ තිබෙන හැම තඹ සතයක්ම වෛයිවාරන කඩසාප්පුවල ඇවිදිමින් වියදම් කිරීම අවුරුද්ද සේ දැකීමටත් අපේ සමාජය හුරුව ඇත්තේ වෙළෙඳ‍පොළ රැල්ලට හසුවීමේ ප්‍රතිඵලයක් නිසාය. අද සමහරු ඇඳුම් සොයා යන්නේ මුළු වසරම නිරුවතින් සිටි අයුරකිනි. මේ සියල්ලට තිත තැබිමට අපි අවුරුද්දේදී අවධානය යොමු කළ යුතු වෙමු.

අවුරුද්දේදී විනෝද නොවන්නැයි අප ඔබට වාරණයක් දමන්නේ නැත. එහෙත් අවුරුද්ද යනු විනෝද වීම පමණක් නම් නොවේ. එහෙයින් අපි සමාජයක් වශයෙන් අවුරුද්ද පිළිබඳ අලුත් විදිහට කල්පනා කළ යුතු වෙමු. අපි පළමුව අපේ කුඹුර දෙස අවධානය යොමු කරමු. එදා කුඹුර පින් කෙතක් විය. එහෙත් අද එය වස විස කෙතක් බවට පත්ව තිබේ. එබැවින් සිංහල අවුරුද්දේදී ඔබ පරිභෝජනය කරන ආහාර ද්‍රව්‍ය පිළිබඳ යළි සලකා බැලීමට සිදුව තිබේ. වස විස නොමැති ගොවිතැනක් සඳහා අධිෂ්ඨානයක් ඇතිකර ගැනීමට හොඳම කාලය අවුරුදු සමයයි. ඊට ආරම්භයක් ලෙස ඔබටද තිබෙන කුඩා ඉඩ ප්‍රමාණයේ හෝ මේ සිංහල අවුරුදු සමයේදී වස විසෙන් තොර ගොවිතැනක් ආරම්භ කළ හැකිය. පවු‍ලේ සියලු දෙනා එකතු වී ඊට යොමුවීමෙන් ශක්තිමත්, නිරෝගිමත්, ස්වයං‍පෝෂිත පවුලකට පදනමක් ගොඩනගා ගත හැකිය.

විශේෂයෙන් පෙර සඳහන් කළ පරිදි සිංහල අවුරුද්දේදී අපි සතා සීපාවා, ගහකොළ වැල ආදිය ගැනද අවධානය යොමු කරමු. එහෙත් රතිඤ්ඤා, අහස්කූරු, චීනපටස් ආදිය පත්තු කරමින් බොහෝ අය අවුරුදු සමය සතා සීපාවන්ට භීෂණ සමයක් කරති. රතිඤ්ඤා ආදිය පත්තු කිරීම නිසා සුනඛයන්, බළලුන් ආදීන්ගේ කන් අඩි පැළෙන බව මෙකී භීෂකයෝ නොදනිති. එහෙයින් අවුරුද්දේ අරුත සිතට ගෙන රතිඤ්ඤා ආදී කිසිදු ශබ්ද දූෂකයක් භාවිත නොකිරීමට අවධානය යොමු කරන්නේ නම් මැනවි. අනෙක් අතට තිරික්කල තරග වැනි දේ හරහාද විශාල වශයෙන් සත්ත්ව හිංසනයක් සිදුවෙන බව අප අමතක කළ යුතු නැත. අපේ නැවුම් වසර වෙනුවෙන් අහිංසක සතුන් බිලි ගැනීම නොගැළපෙන්නකි. අවුරුද්ද යනු නිතැතින් නැවුම් වන මංගල්‍යයකි. එවැනි මංගල්‍යයකදී අපේ සිතුවිලිද නැවුම් කරගත යුතුය. අපි දේශීය දේ සුරකින ගමන් නව නිපැයුම් සහිත අලුත් ලෝකයක් ගොඩනැගිය යුතු වෙමු. මෙසේ පෙර කී කරුණු ඔස්සේ අවුරුදු සමයේදී පසුගාමී, මන්දගාමී සිතුවිලි බැහැර කර සාධනීය ප්‍රබෝධවත් චින්තනයකින් හා සාමකාමී හදවතකින් යුතුව ජීවිතයට පුළුල් අරුතක් එක්කර ගැනීමට යොමුවන ඔබට සුබ අලුත් අවුරුද්දක්