ඉංගිරිය ‍පොලිසිය ඉදිරිපිටින් බයිසිකල් ධාවන තරගය ආරම්භ වූ සැණින් චිත්තරා‍පොතේ විමලෙ අයියා සයිකල් රේස්කාරයින් රොත්තට මැදිවී අතුරුදහන් වූ විගස වෙදමහත්තයාගේ කඩේ සෝමෙ අයියාත් මමත් බයිසිකල් කටුදෙකට නැග හැකි වෙර දමා දුම්මලසූරිය බලා පැද්දෙමු. ගමන ටිකක් දිග වුණත් විමලෙ අයියාට වතුර ගැසීමට බාල්දියක් වුවමනා බැවින් අපි අපේ ගම හරහාම ගියෙමු. වෙදදමහත්තයාගේ කඩේට දුවගිය සෝමෙ අයියා බාල්දියක් ගෙනවිත් එයද හැඬලයේ එල්ලාගෙන පදින්නට විය. මම හති අරිමින් ඔහු පස්සේ වැටුණෙමි. අවුරුදු උත්සවවල රේස් නොපැද්දත් සෝමෙ අයියාත් ‍පොඩි පහේ රේස්කාරයකු බැවින් ඔහු හා කරට කර බයිසිකල් පැදීම පුංචි මට අමාරු කාරියකි. එහෙත් විමලෙ අයියාට වතුර බාල්දියක් ගසා ‘හයියෙන් පැදපාං’ කියා කෑගසා ඔහු දිරිමත් කිරීමට ලොකු ආසාවක් හිතේ තිබුණි.

බිංගිරි, හලාවත, මාදම්පේ හරහා තරගකරුවන් දුම්මලසූරියට එනවිට අපි කෙටි පාරකින් එතනට ළඟාවී සිටිය යුතුය. පුංචි මට එය සුළුපටු කාරියක් නොවේ. එහෙත් අපි දුම්මලසූරිය තුංතොට පාළම ළඟට වී රේස් එක එනතෙක් සිටියෙමු. විමෙල අයියාට වතුර බාල්දියක් ගසා හුරේ පාරක් දමා ආපසු බිංගිරියට පැද්දෙමු. ‍පොලිසියට මෙහා පානවැව කන්ද මුදුනේ සිට විමලෙ අයියා දිනන අයුරු බැලීමේ ආසාවෙන් ඇස් ගෙඩි දෙක එළියට දමාගෙන සිටි අයුරු මට අද මෙන් මතකය. ඒත් විමලෙ අයියා දිනුවේ නැත ඔහු කීප දෙනෙකුට පසුපසින් තරගය නිම කළේය. බයසිකල් හැඬල්වලට වාරු දුන් තරගකරුවෝ එක පේළියට පානවැව කන්ද නැගි අයුරු මට අදත් මැවී පෙනේ. ඒ අතර පවා ඇතැමෙක් ඔවුන්ට වතුර ගැසූහ. පාරේ අනෙක් පැත්තෙන් සුපුරුදු පරිදි වාහන එහා මෙහා ගියේය. තරගකරුවන්ගෙන් හෝ ඔවුන්ගේ සහායකයින්ගෙන් ඒවාට අවහිරයක් නොවිණි. අද තරම් වාහන මහමග ගමන් නොකළත් ඒ සමස්ත ක්‍රියාදාමයේම යම් විනයක් දැකිය හැකි විණි.

ඊයේ පෙරේරා දවසක ජාඇල පැත්තේදී බයිසිකල් ධාවන තරගයක ජවනිකාවක් දුටු මොහොතේ මට මේ අතීත සිද්ධිය එකවරම සිහිපත් විය. ජාඇල ආසන්නයේ දී අප ලද අත්දැකීම මෙසේය: බයිසිකල් ධාවකයෝ කිහිප දෙනෙක් ද රථවාහන ‍පොලිසියේ යතුරු පැදියක්ද ජාඇල සිට කඳාන දෙසට ආවේය. ඊට මීටර් 100කට පමණ පසුපසින් පිකටින්කරුවන් පිරිසක් මෙන් පාරේ ඒ පැත්ත (කඳාන දෙසට යන මාර්ගය) සම්පූර්ණයෙන්ම ඇහිරෙන පරිදි එක ‍පොදියට ඉදිරියට ඇදෙන යතුරුපැදිකරුවන් පිරිසකි. ඒ අසල තරගකරුවෙක් දෙන්නෙක්ද සිටියහ. යතුරපැදි ‍පොදියට පිටුපසින් පේනතෙක් මානයේ රථවාහන පේළියකි. කරකියාගත දෙයක් නැති ඔවුහු ඉබිගමනින් කඳාන දෙසට ඇදෙති. පාරේ අනික් පසින් මීගමුව දෙසට යන මට වාහන ‍පෝළිමේ සිටින ඇතැමුන්ගේ මුහුණු හොඳින් දර්ශනය වෙයි. ඒ හැම මුහුණකම පෙනුණේ පුදුමාකාර ආතතියකි. නොඉවසිල්ලකි. ඒ ඇතැමුන් අතර විවිධ හේතු මත හැකි ඉක්මනින් තම ගමනාන්තයට යෑමේ විශේෂ අවශ්‍යතා තිබූ අයද සිටියා විය හැකිය.

එහෙත් මේ කොහේදෝ යන නොහික්මුණු පිරිසක් නිසා ඔවුන්ගේ ගමන අවහිර වී ඇත.
මේ දිනවල පැවැත්වෙන බොහෝ අවුරුදු උත්සවවල තත්ත්වය මෙයයි. කාලයක සිටම අපි මේ අමිහිරි අත්දැකීම විඳවමින් සිටිමු. අවුරුදු උත්සව, ක්‍රීඩා තරග අවශ්‍යය. එහෙත් ඒවා ‍පොදු සමාජයට අවහිරයක් කරදරයක් නොවන සේ පැවැත්වීමට සංවිධායකයන් වගබලාගත යුතුය. සංවිධායකයන්ට ඒ අවබෝධය නොමැති නම් ඔවුන් සහ අදාළ ඉසවු නිසි මගට තල්ලු කිරීම ‍පොලිසිය වැනි වගකිව යුතු ආයතනයන්හි වගකීමයි. ප්‍රාදේශීය පාපැදි ධාවන තරගයක්, ගම හරහා දිවීමක් නිසා ‍පොදු ප්‍රවාහනය සම්පූර්ණයෙන්ම නතර කෙරෙන්නේ නම් එය කනගාටුවට කරුණකි. එපමණක් නොවේ මෙබඳු යතුරුපැදි ගැන්සි කිසිදු මාර්ග නීතියක් අනුගමනය කරන බවක්ද නොපෙනේ. බොහෝ අවස්ථාවල ඔවුහු නීතිය අතට ගත්තවුන් මෙන් හැසිරෙති. ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව යතුරු පැදි පදිති. කුණුහරුප කියා කෑගසමින් මහජනයා පන්නති.

අනාරක්ෂිතව, අන්තරාකාරී ලෙස කටයුතු කරති. මොවුන්ගේ නොහික්මුණු හැසිරීම් නිසා ඇතැම් අවස්ථාවල හදිසි අනතුරු පවා සිදු වේ. බාල්දිය අතින් ගෙන බෝතලය ඉණේ ගසාගෙන යන්නවුන්ද නැත්තේ නොවේ. ඔවුන් මේ අවිඥානිකව අනුගමනය කරන්නේ තුන්සියහැටපස්දාම පාහේ පාරක් පාරක් ගානේ කුළුහරකුන් මෙන් දූවිලි අවුස්සාගෙන එහා මෙහා දුවන ප්‍රභූ ආරක්ෂක භටයින් විය හැකිය. රටේ යුද්ධයක් නැතත්, කාගෙන් වත් තර්ජනයක් නැති පීචංම පීචං දේශපාලකයෝ පවා පාතාලයන්ට සම යැයි කිව හැකි ආරක්ෂකයන් පිරිවරාගෙන රට පුරා කරක් ගසනු දකින ඇතැම් සාමාන්‍ය ජනයා පාපැදි ධාවන තරග වැනි අවස්ථාවකදී ඔවුන් අනුකරණය කිරීමට පෙළඹීම පුදුමයට කරුණක් නොවේ. එහෙයින් පළමුව නිවැරදි කළ යුතුව ඇත්තේ ඒ වරදයි. එසේම අවුරුදු උත්සව වැනි අවස්ථාවල පාරට බැස අහේතුකව මාර්ග අවහිර කරන, මහජනයාට පීඩා කරන්නන්ටද වැට බැඳීමට කටයුතු කිරීම අත්‍යවශ්‍ය කාරණයක්ව පවතින බව අවධාරණය කරමු.

පාපැදි තරග, මැරතන් දිවීම වැනි අවස්ථාවල ක්‍රීඩකයන්ගේ සහයෝගයට මේ තරම් යතුරුපැදිකරුවන් රොත්තක් යායුතු නැත. මෙවැනි තරගයක් පිළිබඳ දැනගත් විගස පාරට පැමිණ වතුර ඉසීම වැනි කටයුතු මගින් සහයෝගය දක්වන පරහිතකාමී, ක්‍රීඩාවට ලැදි ජනකායක් අප රටේ සෑම ප්‍රදේශයකම සිටිති. යතුරුපැදිකරුවන් නිසා ඔවුන්ටද සිය කාරිය නිසි පරිදි කළ නොහැකි තත්ත්වයක් උදා වේ. සහයෝගයට එක් යතුරුපැදියක් හොඳටම ප්‍රමාණවත්ය. මේ සඳහා යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට උත්සව සංවිධායකයන්ට හා ‍පොලිසියට පහසුවෙන්ම පුළුවන.

අවුරුදු උත්සව නිසා විඳවන අනෙක් පිරිස නම් තිරික්කල තරග සඳහා යොදාගනු ලබන ගොන්නුය. ජයග්‍රහණයට ලොබින් තිරික්කල පදවන්නන් මේ අසරණ සතුන්ට දස වද දෙන බවට බොහෝ ආරංචි තිබේ. හෝමාගමට ආසන්නයේ එක්තරා ප්‍රදේශයක තිරික්කල පැදවීමේ පෙරහුරු සඳහා උදේ පාන්දර වාහනවලින් ගොනුන් කැටිව එන තිරික්කලකරුවන් ඔවුන් තිරික්කලයේ බැඳ වලිගය තදින් නැවීම, දතින් සැපීම, වලිගය නවා කැඩීම වැනි ඉතාම තිරිසන් වධබන්ධන පමුණුවන බවට සාක්ෂ්‍ය තිබේ.

ගොනුන්ගේ ගමන වේගවත් කිරීමට පාවිච්චි කරන ඊටත් වඩා ඇඟ හිරිවට්ටන උපක්‍රම ගැනද අප අසා ඇති නමුත් ඒවා මෙහි නොදක්වමු. මේ කියන තැන පමණක් නොව බොහෝ තැන්වලදී තිරික්කල අදින ගවයන්ට හිංසා පීඩා සිදු කෙරෙන බවට තොරතුරු තිබේ. සිංහලයා තරම් ගවයාට ආදරය කරන ජාතියක් සිටින්නේදැයි අපි නොදන්නෙමු.

ඊශ්වරයාගේ වාහනය වශයෙන් සලකා හින්දු ජනයා ගවයාට ගෞරව දක්වන බව ඇත්තකි. එහෙත් සිංහලයින් ගවයින්ට ආදරයකරන්නේ දේව කෝපයට අසුවෙතැයි බියෙන් නොවේ. තම දිවි පවෛතට උන්ගෙන් ලැබෙන සහයෝගයත් කරුණාවත් නිසාය. එවැනි සංස්කෘතියකට උරුමකම් කියන ජාතියකගේ ජාතික උත්සවයකදී ජාතියේම ආදරය දිනූ සත්වයකුට මෙපරිද්දෙන් හිංසා පීඩා කිරීම වැළැක්වීමට කටයුතු යෙදීම බලධරයන්ගේ වගකීමකි. මේ වරද අවබෝධ කරගත් තරුණ පිරිසක් වසර 15කට පමණ පෙර බිංගිරිය තරුණ බෞද්ධ සමිතිය පිහිටුවා මෙවැනි හිංසාකාරී දෙයින් තොර ක්‍රීඩා සහිත අවුරුදු උත්සවයක් සංවිධාන කළා අපට මතකය. දශක කිහිපයකට පෙර ගැල බැඳි ගවයින්ට හිංසා පීඩා සිදුවේද යන්න පිරික්සන නිලධරයෙක් වූයේය.

ගැමියන් විසින් ඔහු හඳුන්වන ලද්දේ ‘කොටියා’ නමිනි. කොටියා උප නගරවල සැරිසරයි. නගරයට එන කරත්ත ඔහුගේ පරීක්ෂාවට ලක් වේ. ගවයාගේ නහය කැපී තිබේද, ඌට ලාඩම් ගසා තිබේද, විය ගස ගවයාට පීඩාකාරීද, කරත්තයේ කඩඇණයට ලිහිසි තෙල් දමා තිබේද, අඩ, පල්ලම් ‍පොලු ආදී කරත්තයක තිබිය යුතු අංගෝපංග නිවැදිව තිබේද යනාදී වශයෙන් කොටියා විසින් ගවයාත් කරත්තයත් පූර්ණ පරීක්ෂාවකට ලක් කරනු ලැබේ. ඒ නිසා කරත්තය නිසි පරිදි නඩත්තු කිරීමටත්, ගවයාට හොඳින් සැලකීමටත් එකල කරත්ත හිමියෝ කටයුතු කළහ. එබඳු කොටියන් අවශ්‍ය කාලයක් නැවත උදාවී තිබෙනබව බලධරයන්ට සිහිපත් කරමු. ‘අලි රේස්’වලදීද අලින්ට නොයකුත් හිරිහැර සිදුවන බවට තොරතුරු තිබේ. මේවා සහමුලින්ම පිටුදැකිය යුතු කාලය එලඹ තිබේ.

අවුරුදු ක්‍රීඩා මුවාවෙන් නොහොබිනා අසික්කිත වැඩ කිරීමට තරුණ තරුණියන් පෙළඹවීමද ඇතැම් අවුරුදු උත්සවයක දැකිය හැකිය. තරුණයන් ලවා තරුණියන්ගේ අඟපසඟ අතගෑවීම ඒ ඇතැම් ක්‍රියාවක අරමුණයි. ලිංගික ක්‍රියාවන් නිරූපණය වන ආකාරයේ අමුතු ‘ක්‍රීඩා’ද ඇතැම් කුප්ප සංවිධායකවරුන් හඳුන්වා දී තිබෙන බවට තොරතුරු ඇත. මේවැනි දෑ නිසා සිදු වන්නේ තරුණ පෙළට අවුරුදු උත්සව එපාවීමයි. අවුරුදු උත්සව තහනම් වචනයක් කිරීමට දෙමාපියන් පෙලඹීමයි.
අවුරුදු උත්සව මුවාවෙන් ගසාකෑම අවුරුදු උත්සව කෙලෙසන තවත් කාර්යයකි. එදා ගමේ ප්‍රභූන්, ‍පොලිසිය, උපදිසාපති කාර්යාලය සංවිධාන කළ අවුරුදු උත්සව අද ඇතැම් තැනක සංවිධාන කරන්නේ නොම්මර එකේ තක්කඩියන් විසිනි. අවුරුදු උත්සව සංවිධානය ඔවුන්ගේ ආදායම් මාර්ගයකි. සම්මාදමෙන් ලබාගන්නා තෑගි හා මුදල් ගසාකෑම ඔවුන්ගේ ආදායම් මාර්ගයයි. ඇතැම් තැනක මේ මුදල රුපියල් ලක්ෂ ගණනකි. මොවුන් කරන තවත් තක්කඩකමක් වන්නේ අවුරුදු උත්සවය මුවාවෙන් ධනවතුන්ගෙන් කප්පම් ගැනීමයි. මේ නිසා අවුරුද්දටත් අවුරුදු කිට්ටු වන විට අවුරුදු උත්සවවලට පමණක් නොව අවුරුද්දට පවා දෙස් දොවොල් තියන ධනවතුන් දැකිය හැකිය. අවුරුදු උත්සවය දශක ගණනාවක් මුළුල්‍ලේ අපේ සංස්කෘතිය හා බැඳී පවත්නා සංස්කෘතික අංගයකි. මෙවැනි අවකල් ක්‍රියා නිසා සිදුවන්නේ අවුරුදු උත්සවය ජනතා අප්‍රසාදයට බඳුන්වී සමාජයෙන් ඈත්වීමයි. අවුරුදු උත්සවය නරක ක්‍රියාවක් නොවේ.

වංස කතාවල සඳහන් වන පරිදි සිංහලයා දුර අතීතයේ පටන්ම උත්සව පැවැත්වූ ජාතියකි. උත්සව පැවැත්වීම රසඥතාවෙන්, බුද්ධියෙන්, ජවයෙන්, දරාගැනීමේ හැකියාවෙන්, සංවිධාන ශක්තියෙන් යුතු ජනතාවකගේ ලක්ෂණයකි. කළ යුතුව ඇත්තේ ඒ අතර ඇති රොඩුබොඩු ඉවත දමා පිරිපහදු කර ඉදිරියට පවත්වාගෙන යෑමයි.

නාරද කරුණාතිලක
ඡායාරූපය – ලක්රුවන් වන්නිආරච්චි

ප්‍රමිතියකින් තොරව සැකසූ ලිස්සන ගහක් කඩා වැටෙන අයුරු
ප්‍රමිතියකින් තොරව සැකසූ ලිස්සන ගහක් කඩා වැටෙන අයුරු