ඊයේ අපේ ගෙදර මාසික මහා සාහිත්‍ය සමිතිය උත්සවශ‍්‍රීයෙන් පැවැත්විණි. මෙවර සභා වාරය වෙන් වුණේ සිංහල හින්දු අලූත් අවුරුද්ද වෙනුවෙන්ය. මුලින් ම අක්කා, අක්කා ම ලියපු, නංගී විසින් තනුව දැමුණු අවුරුදු ගීතයක් ගයා සම්පූර්ණ නිවසට ම පළමු නැකත ගෙනාවාය. ඒක අසා සිටිය අයියාට චීන පටස් දැමුණා වගේ නිකන්ම හිනා ගියේය.

මං හිටියේ තුන් උලස් මිල මෙවර වෙනදාට වැඩියෙන් ගණන් යාම පිළිබඳ උභතෝකෝටික ප‍්‍රශ්නය ගැන හිත හිතාය. ඒ නිසා ඒ ගීතයේ වචන මට ඇසුණේ නැත. ඒක ඇසුණා නම් මෙවර අක්කාගෙන් ලැබෙන ඇඳුම අයියාට විතරක් නෙවේ මට ද ඒකාන්ත වශයෙන්ම අහිමිවනවාය. අයියා අය වැය ඉදිරිපත් කළේය. අවුරුදු මාසය නිසා අය සහ වැය අතර පරතරය මේෂ රාශියේ සිට මීන රාශියට තරම් දුර විය. රතිඤ්ඤා වැලක් වගේ දිගට පේන අයියාගේ අලූත් ෂර්ට් ටික ඒකට සාක්ෂිය.

අයියා තරයේ ම කියන්නේ මෙවර ලිපි ගිනි මෙළවීම අනිවාර්යයෙන් ම පාර්ලිමේන්තුව තියෙන දිශාව බලා සිදුකළ යුතු බවය. ඒකේ එක්තරා ඇත්තකුත් ඇත. පාර්ලිමේන්තුව පැත්තට හැමදාම අවුරුදුය. ළඟ දී ම අලූත් වාහනත් ලැබෙනවාලූය.

මල්ලී මෙවර සාහිත්‍ය සමිතිවාරයට සහභාගි වූයේ නැත. අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා පංච දමන්නට ගාබොම්බර ලොකු මාමලාගේ දිහා ගොස්ය.

අප්පච්චී නම් කීවේ අවුරුද්දේ දවස් තුන්සිය හැට හතරක් ම ජීවත් වෙන්ට ඔෆීසියේ ග‍්‍රීස් ගහේ නැග්ග නිසා මෙදා අවුරුදු උත්සවය තියෙන දවසේදීවත් ග‍්‍රීස් ගහේ පැත්තවත් නො බලන බවයි.

අම්මා හිතුවේ ම මෙවර ප‍්‍රධාන කෑම මේසය ගැනය. පොල් හොයා ගන්ට අමාරු නිසා මෙවර කිරිබත් හදන්ට බැරිවේවීයි ඇය රතිඤ්ඤයක් අතේ පත්තු වූවා සේ මහත් බියට පත්වී සිටියාය. අපේ අම්මා පව්ය. මේ දවස්වල කඬේ තියෙන්නේ එලොව පොල් බව වයලා නම් පුංචි අම්මා කීවාය.

සමිතිය වැඩි වේලාවක් පවත්වන්නට බැරි විය. සෙන්කෝලය පැහැරගෙන දුවනවා වගේ කාලගෝට්ටියක් ඇහෙන්නට විය. ”හෆෝයි…” බණ්ඩෙ මාමා ගිනි පෑගී කෑගසයි.
බණ්ඩෙ මාමා යනු වෙන කවුරුත් නෙවේ බණ්ඩෙ මාමා මය. බණ්ඩෙ මාමාට කොහා යනු කොහෙක් නෙවෙයි. වෙන සතෙකි. බණ්ඩෙ මාමාට කොහා යනු නයාට අඳුකොළ ගාණය. මේ වගේ බැමිණිටියාසායක් ඇති කාලෙක රටේ ඉන්න මුදලාලිලා පෝසත් කරන්ට, මිනිසුන්ගෙ අතේ තියෙන සතේත් විනාශ කරන්ට අවුරුද්ද ගමට ගේන්නේ තනිකර කොහා ම බව කියමින් බණ්ඬේ මාමා බෙරිහන් දෙයි. කොටින්ම පොකට් හිස්වෙලා ගමටම අමතක වෙලා තිබුණ අවුරුද්ද මාසයක් දෙකක් තටමලා තටමලා මුළු ගමටම මතක් කරන්නේ කොහා ම බව බණ්ඩෙ මාමාගේ පරම විශ්වාසයයි.

”අමතක කරලා දාන්ට ඕන දෙයක් උදේ හවා මතක් කරලා දෙන එකාත් හොඳ සතෙක් ද බොලව් ?” කියා බණ්ඩෙ මාමා කතුරු ඔන්චිල්ලාව බඳින තැනට ගොස් රතිඤ්ඤා පත්තු කරයි. එරබඳු විමලාට බණ්ඩෙ මාමා කියන්නේ අහස්කූර කියාය. එරබඳු විමලා යනු බණ්ඩෙ මාමාගේ හිටපු බිරිඳය. කරටි දෙකට කැඩෙන්ට බීගෙන බඹරචක‍්‍රයක් වගේ ඇවිත් අලිඩෝන් එකක් වගේ පුපුරන බණ්ඬේගෙන් වෙන් වුණ දා සිට එරබඳු විමලාට නම් හැමදාම අවුරුදුය කියා සමහර නපුරු ගම්මු කටකතා හදා බණ්ඩෙ මාමාගේ චරිතය ව්‍යංග්‍යයෙන් විනාශ කොට දමති. එහෙම කිව්වාට ඒකේ ඇත්තකුත් තිබේ. පහුගිය වසර තිස්සේ ම බණ්ඩෙ මාමා නැකතට වැඩ අල්ලා ඇත්තේ එරබඳු විමලාගේ කොණ්ඩෙන් අල්ලා බක්මහ අකුණක් පත්තු කරලාය. බීගත්තාම බණ්ඩෙ මාමාට තුන්සිය හැටපස් දවසෙන් එක දවසක්වත් මතක නැත. අබරං ආතා කියන විදිහට අම්මා අප්පා නැතිව හැදුණ බණ්ඩෙ පොඩි කාලේ අරක්කු කල්දේරමකට වැටී තිබේ. එදා සිට වකුගඩු දියවෙනකන් බොන එක බණ්ඩෙ මාමාගේ චර්යාවය. නොබී ඉන්න වේලාවට බණ්ඩෙ මාමා එරබඳු විමලාට සලකන්නේ එරබඳු මල්වලින් එරබඳු විමලා පුරවාය. සරසාය.

”අවුරුද්දට කියලා මෙදා විශේෂයෙන් කඹ අඳින්ට ඕන නෑ. ඔය පක්ෂෙත් විපක්ෂෙත් ඒකාබද්ද විපක්ෂෙත් අඳින කඹ ඇදිල්ල දැක්කාම ජනතාවට නිකම්ම අවුරුදු උදාවෙනවා” ය කීවේ ගියවර විකට ඇඳුම් තරගෙන් දින්න පුෂ්පාය. රබන් ගහද්දී මායම් වුණේ ඇයය. ඇය මායම් වුණේ, ‘උඩ පළ ගත්තත් වට්ටක්කා – බිම පළ ගත්තත් වට්ටක්කා – පුන්චි පුන්චි ගෙඩි වට්ටක්කා’ කියා වයද්දීය. ඇය මාස දෙක තුනක් තිස්සේ නොවිඳිනා දුක් විඳ හදාපු වට්ටක්කා වැල්වල ගෙඩි ලොකු නොවුණොත් ගත්ත ණය ගෙවා ගන්ට බැරි වෙනවාය. ඇය කලබල වූයේ ඒකටය. උඩ පළ ගත්තත් බිම පළ ගත්තත් පුෂ්පක්කාගේ වැල්වල වට්ටක්කා ලොකු විය යුතුය. පොඩි එවුන්ට අලූත් අවුරුද්දට අලූත් වස්ත‍්‍රයක්වත් ඇරන්දෙන්ට පුළුවන් වෙන්නේ එතකොටය. එහෙම හිතද්දී පුෂ්පා මලක් වගේ ම පව්ය.

ගෞඩර් අයියා මළ දා සිට පුෂ්පා අක්කාට නොනගතයය.
මල්ලිකා බලන්ට අවුරුදු කුමාරයෙක් එනවා කියලා ආරංචිය. ඒ කතාව සම්පූර්ණයෙන්ම බොරුවක් වේවා! බොරුවක් වේවා!! බොරුවක් වේවා!!! මල්ලිකා ඉතා දක්ෂය. ඈ කුකරි ක්ලාස් ගොස් ඇවිත් කොණ්ඩ කැවුම් කියා විහිළුවට ගෙදර අය රවට්ටා ගල් බනිස් වගේ යමක් සාදා තිබේ. ”තව පොඞ්ඩෙන් මහ ඉස්පිරිතාලෙදිම අවුරුද්ද සමරන්ට තිබ්බා” කියා මල්ලිකාලගේ ගෙදර අය මල්ලිකාට විහිළුවට රබන් පද හදා තිබේ. ”මේ වගේ අව්ව වැඩි භීෂණ කාලෙක තමන් මුලින්ම ආරක්ෂා වෙන්ට ඕනේ තමන්ගෙම පක්ෂෙ අයගෙන්. උදේ හිනා වුණ කෙනා හවස කිරිබත්වලින් දමලා ගහන්ට බැරි නෑ” යි කියා ඒ වෙලාවේ හරිම විහිළුවට මල්ලිකාගේ තාත්තා මල්ලිකාට උපදේශයක් දුන්නේලූ.
කොහොම වුණත්, සත්‍ය වශයෙන්ම, සහසුද්දෙන්ම අලූත් අවුරුද්ද උදාවෙන්නේ අපේ ම හොඳටය. ගෙදරට මොකක්දෝ අලූත් බවක් ආවේ ඒ නිසාය. පැත්තකට දාලා තිබුණ පහන එදාට දැල්වේ. සියලූ දේවල් පැත්තක තියලා පුෂ්පා අක්කා ඇතුළු පවුල එදාට හිනාවේ. එදාට විතරක් හරි මල්ලිකා මං දිහා බලා සුබ පතයි. එදාට විතරක් හරි අපේ ගෙදර ඔක්කෝම එකට බත් කන්නෙමු. බණ්ඩෙ මාමාත් එරබඳු විමලාත් මේ අවුරුද්ද දවසේ දෙන්නට දෙන්නා කතා කරන බව කියා තිබේ. ඊට වඩා අවුරුද්දක් වෙන කොයින්ද ? බණ්ඩෙ මාමගේ සහ එරබඳු විමලාගේ විතරක් නෙවේ මේ මුළු රටේ ම හිත් හොඳ වේවා! ජයෙන් ජය වේවා! සුබ ම සුබ අලූත් අවුරුද්දක් වේවා! හැම තප්පරයම සුබ නැකතක් ම වේවා!

සමිත බණ්ඩාර අටුවබැන්දෑල