බක් මහේ සිංහල අලුත් අවුරුද්ද සමරන්නේ අපේම රටේ ජනතාවය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු බෝ නොවන රෝග සමුදායක ගිලී ඇති බව නම් නොරහසකි. දියවැඩියාව, අධිරුධිර පීඩනය, රුධිරගත මේදය, අක්මා රෝග වැනි රෝග ඇති අයනම් අවුරුදු සමයේ ගන්නා ආහාරවලින් පරිස්සම් විය යුතුය.

අතීතයේදී රසකැවිලි ආදිය සැදීමට යොදා ගත්තේ වර්තමානයේ මෙන් ශරීරයට අහිතකර තෙල්, සීනි, පිටි වර්ග නොව ස්වභාවික පරිසරයෙන් සපයා ගන්නා ලද ඒවා වේ. මේ නිසාම විවිධ ලෙඩ රෝග වැලඳීම ද අඩු විය. වර්තමානයේදී මෙම කැවිලි වර්ග මෙන්ම විවිධ ආහාර පාන වර්ග සැකසීමේදී ද විශේෂයෙන් සැලකිලිමත් විය යුත්තේ ඒවා සැකසීමේදී යොදා ගන්නා ද්‍රව්‍ය පිළිබඳවය. විශේෂයෙන් අද පැණි රස සඳහා යොදා ගනුයේ උක් සීනිය. උක් සීනි මධුමේහ හෙවත් දියවැඩියා රෝගීන්ට ඉතාමත් අහිතකර වේ. අතීතයේදී මේ සඳහා යොදා ගත්තේ කිතුල්, තල්, ‍පොල් ආශ්‍රිත පැණි හෝ හකුරු වේ. විශේෂයෙන් කිතුල් හකුරු ආදිය මධුමේහ රෝගීන් විෂයෙහි එතරම් අයහපත් ප්‍රතිඵල නොදක්වයි. තවද කැවිලි සෑදීම සඳහා යොදා ගන්නා තෙල් වර්ග ගැන ද සොයා බැලීම ඉතා වටී. මන්ද යත් ආරම්භයේදී අප ජනතාව බොහෝ විට ‍පොල්තෙල් භාවිත කළහ. විශේෂයෙන් සෙක්කුවෙන් සිඳින ලද තෙල් ඉතා යෝග්‍යය.

මන්ද යත් එහි ගුණාත්මක අගය ඉතාමත් ඉහළ මට්ටමක ඇති බැවිනි. වර්තමානයේ අප කැවිලි වර්ග හැදීමට භාවිත කරන්නේ වෙනත් තෙල් වර්ගය. විශේෂයෙන් ‍පොල් තෙල් නොවන වෙනත් තෙල් වර්ග වන ෆාම් ඔයිල් වැනි තෙල් වර්ග භාවිත කිරීම වර්තමානයේ දැකිය හැකි මූලික දසුනක් වේ. නමුත් මේවායේ ඇති අහිතකර සංඝටක අප රුධිරයේ මේද කොටස් ඉහළ දමනවා මෙන්ම ශරීරයේ විවිධ ස්ථානවල මේදය තැන්පත් වීමට මෙන්ම අක්මාව වැනි ඉන්ද්‍රියවල මේදය තැන්පත් වීමටද හේතු කාරක වේ. මේ නිසාම අවුරුදු කාලයේදී අප හදන කැවිලි වර්ග සඳහා නියම ‍පොල්තෙල් යොදා ගැනීමට නිරන්තරයෙන් උත්සාහ කරයුතුය.

අවුරුදු සමයේ සිදුවන නෑගම් යෑමේදී අනිවාර්යයෙන් ඉතා අධික ලෙස මෙම ආහාර අනුභවය සිදුවේ. එදා නම් මෙම කැවිලි වර්ග ආහාරයට ගැනීමෙන් පසු පානය සඳහා බෙලිමල් ආදී ඖෂධීය පානයන් තිබුණද වර්තමානයේ බොහෝකොටම තිබෙන්නේ ක්ෂණිකව හදා ගන්නා පැණි බිමයි. මෙම ක්ෂණික පැණි බිම වර්ගද ඉතාමත් අහිතකර වේ. තවද තෙල් සහිත ආහාර අනුභවයෙන් පසු ශීත කරන ලද පැණි බිම ඉතාම අහිතකර වේ. මේදය ජීරණය වීම වෙනුවට කැටි ගැසීම ශීත කළ බිම නිසා සිදුවේ.

එබැවින් තෙල් සහිත ආහාර අනුභවයෙන් පසු උණුසුම් පානයක් ගැනීම ඉතාමත් සුදුසු වේ. තවද මෙම කාලසීමාව තුළ ශරීරයේ ජවය, ශක්තිය, විදහා දැක්වීමට අනුකූල විවිධ ජනක්‍රීඩා නිර්මාණය වී ඇත්තේ ද මේ හේතුවෙනි. මෙම ජන ක්‍රීඩාවල නියැළීමෙන් මෙම ගන්නා ලද ආහාරවල අනවශ්‍ය මේදය මෙන්ම සීනි ප්‍රමාණයද දහනය වීම සිදුවේ.

අද සිදුවන්නේ මීට හාත්පසින්ම වෙනස් ක්‍රියාවලියකි. මෙම ආහාර ගනිමින් ක්‍රීඩා කිරීම වෙනුවට නරඹන්නන් බවට පත් අප සමාජය පත්ව තිබිම ඉතාමත් ඛිෙදනීය වේ. මේ නිසාම තව තවත් තමා තුළ තිබෙන්නා වූ රෝග උත්සන්න වීම ද සිදුවේ.

අතීතයේදී අප ජනතාව වී අස්වනු ගෙට ගෙන එම සහල්වලින් විවිධ ආහාර වර්ග රසකැවිලි නිර්මාණය කරන්නට වූහ. ඊට අමතරව කුරහන්, මුං, තල ආදී ධාන්‍ය වර්ග භාවිත කළහ. වර්තමානයේ ඒ සඳහා භාවිත කරනුයේ පාන් පිටිය. ඉහත දක්වන ලද සහල්, මුං, තල, කුරහන් ආදී වූ ධාන්‍ය වර්ග ඇසුරින් සකස් කර ගන්නා වූ ආහාර ඉතා ශක්ති සම්පන්න මෙන්ම සෞඛ්‍යමය වශයෙන්ද වැදගත් ආහාර පාන වෙයි. මේ වන විට එම ධාන්‍යවලින් කැවිලි හැදීම වෙනුවට වෙළෙඳ‍පොළෙන් කැවිලි වර්ග ගෙන යාමට තරම් අප සමාජය දුර්වල වී හමාරය. එයට ප්‍රධාන හේතුව වනුයේ වර්තමානයේ බොහෝ දෙනෙකු මෙම කැවිලි වර්ග හැදීමට නොදන්නා නිසාය. අතීතයේදී සෑම ගැමි කාන්තාවකටම කොණ්ඩ කැවුමක් හැදීමට හැකි වුවද වර්තමානයේ කැවුම් හැදීමට දත් කාන්තාවන් ඇත්තේ අල්ප වශයෙනි.

සිංහල අලුත් අවුරුද්ද හෙළයන් වන අප සැමරිය යුතු සැණකෙළියකි. එය අපේ සංස්කෘතික අනන්‍යතාවකි. අපගේ ආහාර රටාව, හත්මාළුව, හිස තෙල්ගෑම, විවිධ කැවිලි වර්ග හා වෙනත් චාරිත්‍ර හා වාරිත්‍ර ආදිය ඉදිරියටත් සංරක්ෂණය කර ගත යුතුය.

නමුත් වර්තමාන සමාජයට එය කෙසේ උකහා ගත යුතු දැයි අප විසින් කල්පනා කළ යුතු වේ. වර්තමානය වන විට අපගේ ආහාර මෙන්ම ජීවන රටාව ද වෙනස් වී ඇත. ඒ කෙසේ වෙතත් මෙම කාලයේ අප ගන්නා ආහාරවල සුවිශේෂි බව මෙන්ම ඒවායේ තෙල්, සීනි, පිටි ආදිය බහුල වීම හේතු කොට ගෙන ශරීරයේ හට ගන්නා විවිධ දෝෂයන් ඉවත් කිරීම අනිවාර්යයෙන් සිදු කළ යුතුය. ඒ සඳහා විරේක කර්මයක් කිරීම අතීතයේ සිටම අපගේ පැරැන්නන් විසින් කරනු ලැබුවකි. ආහාර වශයෙන් පමණක් නොව පාරිසරික හා දේශගුණික වශයෙන් පංචය වූ දොස් ඉවත් කිරීම මෙමගින් සිදු විය. එම නිසා පාසල් දරුවාගේ සිට රෝගීන් සහ මහලු අය නොවන සැම දෙනාම සුදුසු වෛද්‍ය උපදෙස් මත විරේක කර්මයක් සිදුකර ගැනීම ඉතා යහපත් වේ. මේ නිසා අලුත් අවුරුද්දේ ගන්නා ලද ආහාරවලින් ‍ලේ දොස් ඇති වීම වැළැක්වීම ද එමගින් සිදුවේ. ඒ නිසාම විවිධ රෝගාබාධයන් හට ගැනීම වළක්වා ගැනීම මෙන්ම මධුමේහය, අධිරුධිර පීඩනය, රුධිර ගත මේදය, වැනි රෝග උත්සන්න වීමේ අවදානමෙන් මිදිය හැකිවේ.
කථිකාචාර්ය පාලිත ශ්‍රී ගීගනආරච්චිගේ

pani nakath kawum

බෙලිමල් පානය
බෙලිමල් පානය