ඔහු අප අමතන්නේ රූපය භාෂාව කරගනිමිනි. මිල්ලෙ සොයා, මාතා, නිම්නයක හුදෙකලාව, සිහින දේශයෙන් වැනි නිර්මාණ ඔහුගේ නිර්මාණ චාරිකාවේ අස්වනු වෙයි. සිනමාවට පෙම් බැඳි බූඩි කීර්තිසේනගේ හදවත නතාලියා නම් ඉතාලි තරුණිය දිනාගත්තේ නුදුරු අතීතයේ දවසකය.

* විවාහයත් එක්ක බූඩිගේ ජීවිතේ අලුත් වුණාද?
ජීවිතේ ලොකු වෙනසක් සිද්ධවෙලා ඇති. නමුත් මම ඒ තරම් ගැඹුරින් ඒ වෙනස භාරගන්නේ නෑ.

* ඇය විදේශික කාන්තාවක්. ඔබ දෙදෙනා එකතු කළේ සිනමාවද?
කොහෙත්ම නෑ. අපි දෙන්නාව එකතු කළ නිමිත්ත කොහෙත්ම සිනමාව නම් ‍නෙවෙයි. මම ඇයව යුරෝපයේදී හඳුනාගත්තේ බොහොම ළෙන්ගතු මිතුරියක් හැටියට. වෘත්තියෙන් ඇය විද්‍යා පර්යේෂිකාවක්.

* සිනමාවට සම්බන්ධ කෙනෙක්ව විවාහ කරගන්නේම නැහැ කියන මතයේ බූඩි හිටියද?
ඔව්. එදා ඉඳලාම කලාවට සම්බන්ධ කෙනෙක්ව ‘බිරිඳ’ කරගන්න මගේ කැමැත්තක් තිබුණේ නැහැ. මුළු ලෝකෙම මේ ෆීල්ඩ් එක එකම විදියයි. ඒක අපි කවුරුත් දන්න දෙයක්. මොකද නිතර විවිධ අයව ආශ්‍රය කරන්න හමුවෙනවා. ඒ හමුවීම් පුද්ගලික ගැටලු දක්වා දුරදිග යන වෙලාවල් ඕන තරම් තියෙනවා.

* විවාහය කලාකරුවාගේ අවසානයයි කියලා කියමනක් අහලා තියෙනවාද?
ඒක නම් දන්නෙ නෑ ඉතින්. මීට කලින් මම කසාද බැඳලා නැහැනේ.

* මේ බැඳීම නිසා හිතන්න තියෙන නිදහස සීමාවෙලා නැද්ද?
හැමදාම මම සිනමාවේ නියැළුණේ විවේකීවයි. වෘත්තිය හැටියට ඒක සලකලා මම වෙහෙසිලා නැහැ. ඒ වගේම සම්මාන ඉලක්ක කරලා වැඩ කරලත් නැහැ. මගේ වැඩවලට කිසියම් සීමාවක් තිබුණා නම් ඒ සීමාව තමයි මගේ තෘප්තිය. ඉදිරියටත් නිදහසේ හිතමින් නිදහසේ වැඩ කරනවා.

* මොන වගේ කලා කටයුතුවලද බූඩි මේ දවස්වල නිරතවෙලා ඉන්නේ?
ලංකාවේ පළමු ඩිජිටල් චිත්‍රපටය හැටියට මම ‘නිම්නයක හුදකලාව’ ෆිල්ම් එක කළා. ඒක මැයි හෝ අගෝස්තු අතර කාලයේ තිරගත වෙන්න නියමිතයි. මේ දවස්වල ඊට සූදානම් වෙමින් ඉන්නවා.

* ඩිජිටල් සිනමා තාක්ෂණය පිළිගන්න රටක් විදිහට අපි සූදානම්ද?
ඒක මෙහෙමයි. ලෝකය මේ යන විදිහට ඩිජිටල් තාක්ෂණය හැර අපට වෙන කරන්න තෝරාගැනීමක් නැහැ. පැයට කිලෝමීටර් 120 වේගයෙන් යන්න අධිවේගී මාර්ග හැදෙනකොට අපි 40ඬථනඩ වේගෙන් ගිහිල්ලා තේරුමක් නැහැ.

උදාහරණයක් විදිහට පරිගණකය ආපු කා‍ලේ සමහරු ඒකට බයවුණා. ඒත් එහෙමයි කියලා පරිගණක තාක්ෂණය පැතිරීමේ වේගය අඩු වුණාද? නැහැනේ.

* අධ්‍යක්ෂවරයෙක් හැටියට අවුරුදු ගාණක් තිස්සේ බූඩි කියපු දේවල් මිනිස්සුන්ට තේරුණාද?
ඕක උත්තර දෙන්න හරිම අමාරු ප්‍රශ්නයක්. මට හිතෙන්නේ බොහෝම ටික දෙනයි මම කියන දේ අල්ලගන්නේ.

ඒ අතරේ සමහරු තේරුණත් නොතේරුණා වගේ ඉන්නවා. අපේ සමහර අය තව කෙනකුට අත්පුඩි ගහන්න හරිම අකැමැතියි. මට නම් ඉතින් අත්පුඩි නැති එක ප්‍රශ්නයකුත් ‍නෙවෙයි.

* අඩු තරමින් සම්මාන දෙන විනිශ්චය මණ්ඩලවලටවත් බූඩිගේ ප්‍රකාශනය තේරිලා නැද්ද?
මම කවමදාකවත් සම්මාන ඉලක්ක කරලා වැඩ කරන්නේ නැහැ. හැබැයි සම්මානයක් දුන්නත් එපැයි කියන්නෙත් නැහැ. මොකද සම්මානයක් කියන්නේ හැමවිටම ධෛර්යයක්. ඒක හරි ෂෝක්. නමුත් මොන සම්මානය අහිමි වුණත් මම වැඩ කරන්නේ මට ප්‍රියජනක ක්ෂේත්‍රවල විතරයි.

මට දේශපාලන චිත්‍රපටයක් කරලා ‍පොර වෙන්න ඕන නෑ. මම දේශපාලකයෙක් ‍නෙවෙයි. ඒ නිසා ආණ්ඩු පෙරළන්න හෝ ආණ්ඩු ගේන්න චිත්‍රපට කරන්න මට අවශ්‍යතාවක් ඇතිවෙලා නැහැ.

* ඒත් කලාවට දේශපාලනයෙන් ගැලවෙන්න බැහැ?
කලාව තුළ දේශපාලනය තිබුණාදෙන්. ඒකට ප්‍රශ්නයක් නෑ. ඒත් ඒ දේශපාලනය ආණ්ඩුවට සම්බන්ධ නෑ.

* ඔබ කළ මාතා චිත්‍රපටයට දේශපාලන අරමුණක් තිබුණේ නැද්ද?
මාතා තුළ තිබුණේ දහම. අවිගත්තෝ අවියෙන් නසිති කියන ධර්මය. දහම කියන්නේ සිල් ගැනීම ම ‍නෙවෙයි.

* ඔබට අනුව මේ රටේ මහා සිනමාකරුවන් කවුද?
මම දන්නා පරිදි ලංකාවේ තරුණම සිනමාකරුවා ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා. නිධානයට කිට්ටු වෙන්නවත් චිත්‍රපටයක් හදාගන්න මාත් ඇතුළුව මේ රටේ කිසිම අධ්‍යක්ෂවරයකුට තවම බැරිවුණානේ. ඔහු හැරුණු කොට වසන්ත ඔබේසේකර, ධර්මසේන පතිරාජ එක යුගයකදී ධර්මසිරි බණ්ඩාරනායක, ලෙනින් මොරායස් සහ තවත් බොහෝදෙනකුගෙන් මමත් බොහෝ දේවල් ඉගෙන ගෙන තියෙනවා.

* ඔබේ ඩිජිටල් සිනමාපටය ප්‍රදර්ශනය ආරම්භ කළාම අපට කතා කරන්න බොහෝ දේවල් තියේවි?
ඔව්. කවුරුහරි අකැමැති වුණත් අපට තෝරාගන්න ඉතිරිවුණු එකම ක්‍රමය ඒක. මම ඩිජිටල්වලට ගියේ මට ෆිල්ම් ගන්න සල්ලි නැති නිසා. ‍පොරක් වීමේ අවශ්‍යතාව නිසා ‍නෙවෙයි. ඒ අලුත් තාක්ෂණය ගැන මේ කාලයේ බලා‍පොරොත්තු ගොන්නක් හිතේ තියාගෙන මම ඉන්නේ.

 

සාවිත්‍රි විතානගේ
ඡායාරූප : යසිත් ඩයස් / අශේන් රවිදු

boodi 1 (1) boodi 1 (2) boodi 1 (3) boodi 1 (4) boodi 1 (5) boodi 1 (6) boodi 1 (7) boodi 1 (8)