අවුරුදු කාලේ හැමෝම යනවා ෂොපින්. අලූත් ඇඳුම් විතරක් නෙමෙයි, ගෙදරට එන අමුත්තන්ට සංග‍්‍රහ කරන්න කෑම බීම, බඩු මුට්ටු ගොඩක් ගන්න වෙන කාලයක් මේ. හැබැයි කොහෙන් කොහොම බඩු ගත්තත් හොඳ අරපිරිමැස්මෙන් ඒ වගේම ආර්ථික වාසියක් සැලසෙන විදිහට ෂොපිං කරන්නේ කොහොමද කියන එක ගැන පුංචි පුංචි ඉ`ගි කීපයක් දෙන්නයි අපි මේ හදන්නේ. මතක තියා ගන්න අපි මේ උගන්වන්න හදන්නේ ලෝභයෙක් වෙන හැටි ගැන නම් නෙවෙයි.

බඩු ලැයිස්තුවක් ලියාගන්න
හැමවිටම පාහේ ඔබට අවශ්‍ය දෑ ලැයිස්තුවක් පිළියෙල කරන්න. නැවත වරක් කියවා තවදුරටත් කපා හැරිය හැකි දෑ ඉවත් කරන්න. හරි.. දැන් ඔබට පුළුවන් ලේසියට වාසියට ෂොපිං කරන්න. හැබැයි මතක තියා ගන්න ලැයිස්තුව අතේ තිබුණට මදි ලැයිස්තුවේ හැටියට බඩු ගන්නත් ඕන.

දැනටමත් නිවසේ ඇති දෑ පරීක්ෂාකර බලන්න
අලූත් අලූත් කෑම වට්ටෝරු අත්හදා බලන්න ඔබත් කැමැති ඇති. හැබැයි ගෙඩි පිටින් වට්ටෝරුව අරන් සුපර් මාකට් එකට දුවන්න කලින් පොඞ්ඩක් ගෙදර වට්ටෝරුවෙන් කීයක් ජාති ගෙදර තියනවාද කියලා බලන්න. නැත්තං තියෙන ජාතිම ආපහු උස්සන් ඇවිත් නරක් වෙලා අපතේ දාන්න වෙන එකේ පාඩුව විඳගන්න වෙන්නේත් ඔබටමයි.

වෙළෙඳ දැන්වීම්වල පෙන්වන්නේ හොඳම නිෂ්පාදනය නොවෙන්න පුළුවනි
වෙළෙඳපොළේ බොහෝමයක් සන්නාම, වෙළෙඳ දැන්වීම් අතරේ ඔබත් අතරමං වී ඇතුවා විය හැක. සමහර නිෂ්පාදන ජනප‍්‍රිය සන්නාම හේතුවෙන්ම ඉතා ඉහළ මිලකින් යුක්ත වෙනවා. නමුත් ඇතැම් විට එකම වර්ගයේ නිෂ්පාදනයන්හි සන්නාමය වෙනස් වූ පමණින්ම රසයෙහි හෝ ගුණාත්මක භාවයෙහි විශේෂ වෙනසක් නොමැති තරම්. ඉතිං ඔබටත් පුළුවන් පහසු මිලට වෙනත් නිෂ්පාදනයක් භාවිත කර බලන්නට. ඔබටම වැටහේවි ගිනි ගණන් ගෙවා මිලට ගත් නිෂ්පාදනයටම ලාභදායි බොහෝ ආදේශක ඇති බව.

ලාබෙට දුන්නත් අනවශ්‍ය නම් ගන්න එපා
අවුරුදු කාලේ හැමෝම සේල් සේල් කියලා බොර්ඞ් සේල් දානවා. ඒත් පරිස්සමින් සුළු මූල්‍යමය වාසියකට වහ වැටිලා පැනපු ගමන් ගන්න කලින් පොඞ්ඩක් නිෂ්පාදිත දිනය, කල්ඉකුත් වීමේ දිනය කියවලා බලන එකයි වටින්නේ. මොකද අච්චරයි මෙච්චරයි කියලා අඩුවට දෙන බොහෝමයක් වට්ටම්වලට හේතුව එම භාණ්ඩවල ගබඩා කර තබාගත හැකි කාලය අහවර වෙන්න ආසන්නව තිබීම. ඉතින් පුදන කොටම කාපි යකා කියලා කාර්ට් එකට පුරෝ ගන්න කලින් චුට්ටක් හිතලා බලන්න නිකං දුන්නත් ඇත්තටම ඕනිද කියලා. නැත්තන් සල්ලි අපරාදේ.

බිල්පත එතනදීම පරීක්ෂා කරන්න
ඇත්තටම ගත්තු බඩුම බිල් වෙලාද, කිරුම් මිනුම්, එකතුව හරියටම හරිද කියලා සහතික කරගන්න එකත් පුරුද්දක් කර ගන්න. සියල්ලම සිදු වන්නේ යාන්ත‍්‍රික උනත් යන්ත‍්‍රවලටත් වරදින අවස්ථා ඕන තරම්. ඒ වගේම වැරදි කේත අංක ඇතුළත් කිරීම් නිසා නොගත්තු බඩුවලටත් ගෙවන්න වෙන අවස්ථා ඕන තරම්. මෙන්න මේ වගේ පුංචි පුංචි නාස්තිවීම් අවම කර ගැනීම පුරුද්දක් කරගත්තොත් ඔබට නොදැනීම අවුරුද්දම සාර්ථක වේවි.

සඳමාලි වර්ණසූරිය