සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර ඇත්තේ වෙඩි තැබිමකින් නොව කිසියම් සුවිශේෂී වූ උල් ආයුධයකින් මොළයට ඇනීමකින් බව ඔහුගේ මෘතශරීරය යළි ගොඩගෙන අධිකරණ වෛද්‍ය නිලධාරීන් තිදෙනකු කළ පරීක්ෂණයේදී අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ නිලධාරීහු ගල්කිස්ස ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් නිහායීර් මහතා හමුවේ දන්වා සිටියහ.

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතන සිද්ධිය සම්බන්ධ නඩුව ගල්කිස්ස අධිකරණයේදී ඊයේ (20) පෙරවරුවේදී ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් නිහායීර් මහතා ඉදිරියේදී විභාගයට ගැනුණි.

2009 වසරේ ජනවාරි මස 08 වැනිදා මෝටර් රථයෙන් සිය නිවසේ සිට කාර්යාලයට යමින් සිටියදී අත්තිඩිය, බේකරිය හන්දිය අසලදී ප්‍රහාරයකට ලක්වූ ඒ මහතා බරපතළ තුවාල ලබා කොළඹ දකුණ කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගියේය.

අධිකරණය ඉදිරියේ කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වැඩි දුරටත් කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා රහස් ‍පොලිසියට පැමිණ ප්‍රකාශයක් ලබාදුන් බවය. ඒ අනුව එම ඝාතනය සිදුවූ කාලසීමාවේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ආරක්ෂාව සඳහා විශ්‍රාමික මේජර් ජනරාල් අජිත් පෙරේරා මහතා පත්ව සිටි බවත් බුද්ධි අංශ අධ්‍යක්ෂ ලෙසට කපිල හෙන්දාවිතාරණ නම් නිලධාරියකු පත්ව සිටි බවත්ය. මාධ්‍ය ආයතනවලට සහ මාධ්‍යවේදීන්ට පහරදීමට ඔහු යටතේ විශේෂ කණ්ඩායමක් සිටි බවත් හිටපු හමුදාපතිවරයා ප්‍රකාශ කළ බව රහස් ‍පොලිසිය අධිකරණයට ප්‍රකාශ කර සිටියේය.

ඒ සමගම ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතන සිද්ධියට අදාළ දුරකථන සිම්පත් පහක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයාගෙන තිබෙන බවත්, එම සිම්පත් පහ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයට, ද නේෂන් පුවත්පතේ හිටපු සම කර්තෘ කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීම, රිවිර පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට පහරදීම යන සිද්ධීන්වලට ද අදාළ බව අනාවරණය වී ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු අධිකරණයට දන්වා සිටියහ.

ලසන්ත වික්‍රමතුංග මහතාගේ මෘත ශරීරය ගොඩගෙන අධිකරණ වෛද්‍ය නිලධාරීන් තිදෙනකු යටතේ යළි පරීක්ෂණ කටයුතු පැවැත්වුණු බවත්, වික්‍රමතුංග මහතා ඝාතනය කර ඇත්තේ වෙඩි තැබිමෙන් නොව කිසියම් සුවිශේෂී වූ උල් ආයුධයකින් මොළයට සිදුකළ ඇනීමකින් බවත් එම වාර්තාවෙන් අනාවරණය වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු අධිකරණයට දන්වා සිටියහ.

ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇපමත මුදාහැර සිටින සැකකාර හමුදා බුද්ධි අංශ සාමාජිකයාට සෑම මාසයකම අවසන් ඉරිදා පෙරවරු 9.00 සිට දහවල් 12.00 දක්වා කාලය තුළදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසද ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් නිහායීර් මහතා නියෝග කළේය.

පී. ආරියරත්න – රත්මලාන