හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු තිදෙනකුට හිමිකමක් නොමැති බවට පැවසීමෙන් අනතුරුව ලබන 29 වැනි දාට ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට පූගොඩ අධිකරණය තීන්දු කර තිබූ මල්වානේ පිහිටි අක්කර 16 ඉඩම සහිත දේ‍පොළ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීම තාවකාලිකව අත්හිටුවන ලෙසට පූගොඩ මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය ඊයේ (20) නියෝග කළාය.

‍පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක ආර්.ඒ.සී. රණසිංහ, සැරයන් ගුණසේකර යන නිලධාරීන් මෙම නඩුව කැඳවන ලෙසට මෝසමක් මගින් ඊයේ (20) පූගොඩ අධිකරණයෙන් ඉල්ලා තිබුණි. රුපියල් විසිකෝටි අසූලක්ෂයක් ලෙස රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව එකී දේ‍පොළ තක්සේරු කර ඇති අතර එම ඉඩම සහ දේ‍පොළ රජයට පවරාගෙන මහජනතාවගේ සුබසිද්ධිය උදෙසා පරිහරණය කිරීමට කැබිනට් මණ්ඩලය කටයුතු කරමින් සිටින බවට නීතිපතිවරයා ‍පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට දැනුම් දී ඇති බවට අධිකරණයේ දී සඳහන් විය. ඒ අනුව එම ඉඩම සහ දේ‍පොළ ප්‍රසිද්ධියේ විකිණීම තාවකාලිකව අත්හිටුවූ මහෙස්ත්‍රාත්වරිය ඉඩම සහ දේ‍පොළ සම්බන්ධව ගන්නා තීන්දුව ලබන 23 වැනිදාට ප්‍රකාශයට පත් කිරීමට තීන්දු කළාය.

අක්කර 16 රූඩ් 1 පර්චස් 08කින් සමන්විත මල්වාන, ගඟබඩ පාරේ අංක 111/03 දරන ස්ථානයේ පිහිටි ඉඩම 2010 වර්ෂයේ නොවැම්බර් 25 දා හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ඥාතියකු වන තිරුකුමාර් නඩේසන් යන අය රුපියල් ලක්ෂ 640කට මිලට ගෙන 2013 වර්ෂයේ පෙබරවාරි මස 11 දා නිවසක් ඉදිකිරීමට මුල්ගල තබා නවීන පන්නයේ නිවසක් ද ඉදිකර ඇති බවට පූගොඩ අධිකරණයේ දී අනාවරණය වී තිබේ.

එම ඉඩම මිලට ගෙන නිවසක් ඉදිකිරීම සඳහා මුදල් උපයා ගත් ආකරය හෙළි කිරීමට අ‍පොහොසත් වීම හේතුවෙන් ‍පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ව්‍යාපාරික තිරුකුමාර් නඩේසන් සැකකරුවන් ලෙස නම් කරමින් පූගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇපමත මුදාහැර තිබුණි.
එම දේ‍පොළෙහි අවසන් හිමිකරු මුදිත ජයකොඩි නමැත්තකු වූ අතර එම මුදිත ජයකොඩි, තිරුකුමාරන් නඩේසන් සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරු එම ඉඩම ඇතුළු දේ‍පොළවලට හිමිකම් නොකියන බවට අධිකරණයට කළ දැනුම්දීම මත එම දේ‍පොළ ලබන 29 වැනිදාට ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට පූගොඩ අධිකරණය තීන්දු කර තිබුණි.

ආසිරි කරුණානායක – මිනුවන්ගොඩ