අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් උඩුවේ ධම්මාලෝක හිමියන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය ඊයේ (20) වරෙන්තු නිකුත් කළාය.

කිරුළපන ඇලන් මැතිනියාරාමයේ ශබ්ද විකාශන යන්ත්‍ර ක්‍රියාත්මක වීමේ දී තමන් ඇතුළු ප්‍රදේශවාසීන්ට හිරිහැර වන බව පවසමින් හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා ඇතුළු පිරිසක් පවරා තිබූ නඩුවක් ඊයේ (20) කැඳවූ අවස්ථාවේ අමරසිංහ මහත්මිය මෙම නියෝගය කළාය.

අධිකරණය හමුවෙහි පෙනී සිටින බව පසුගිය නඩු වාරයේ දී ‍පොරොන්දු වුව ද උඩුවේ ධම්මාලෝක හිමි ඊයේ දිනයේ අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් උන්වහන්සේ අත්අඩංගුවට ගන්නා ලෙස මහෙස්ත්‍රාත්වරිය නියෝග කර ඇත. උන්වහන්සේ අධිකරණයෙන් අවසරයකින් තොරව මේ වන විට විදෙස්ගත වී ඇති බව ද අනාවරණය වී තිබේ.