ශ්‍රී ලංකාවට පැමිණ සිටින චීන ආරක්ෂක අමාත්‍ය සහ රාජ්‍ය උපදේශක ජනරාල් චෑන්ග් වන්ක්වාන් (ඛිඩචදඨ එචදඳභචද) මහතා ඊයේ (20) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය.

ශ්‍රී ලංකාව සහ චීනය අතර පවත්නා දීර්ඝකාලීන සබඳතාව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයට සහ ජාතික ආරක්ෂාවට චීනයෙන් ලැබෙන සහාය අගය කළේය.

දීර්ඝ කාලයක සිට ශ්‍රී ලාංකික ආරක්ෂක හමුදාවන් සඳහා චීන රජයෙන් ලබාදෙන පුහුණු අවස්ථා පිළිබඳව ජනාධිපතිවරයා ස්තූතිය පළ කළ අතර මෙරට යුද්ධය පැවති තීරණාත්මක අවස්ථාවේදී චීනය ලබාදුන් සහයෝගය ද ඇගයීමට ලක් කෙරිණි.
එමෙන්ම මෙරට ආරක්ෂක හමුදාවන් සඳහා අවශ්‍ය පුහුණවීම් අඛණ්ඩව චීන රජයෙන් ලබාදෙනු ඇතැයි ද ජනාධිපතිවරයා තම විශ්වාසය පළ කළේය.

දෙරට අතර පවත්නා මිත්‍රශීලී සබඳතා හේතුවෙන් ගිවිසුම් රැසකට එළැඹෙන බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා එම සියලු ගිවිසුම් ශ්‍රී ලංකාවේ අභිමානයට ස්වාධීනත්වයට සහ ජාතික ආරක්ෂාවට හානියක් නොවන පරිද්දෙන් සිදු කෙරෙන බව ද සඳහන් කෙරිණි.

මෙහිදී අදහස් දක්වමින් චීනයේ ආරක්ෂක අමාත්‍ය ජනරාල් චෑන්ග් වන්ක්වාන් (ඛිඩචදඨ එචදඳභචද) මහතා සඳහන් කළේ වත්මන් ජනාධිපතිවරයා යටතේ ශ්‍රී ලංකාවේ ආර්ථික, සමාජීය සහ ජනතා සුබසිද්ධිය සඳහා ශක්තිමත් පදනමක් වැටී ඇති බවයි.

එය චීන රජයේ සතුටට කරුණක් බව ප්‍රකාශ කළ චීන ආරක්ෂක අමාත්‍යවරයා චීන ජනාධිපතිවරයාගේ සුබපැතුම් ද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිරිනැමීය.

චීනය සහ ශ්‍රී ලංකාව අතර තානාපති සබඳතා අරඹා වසර 60ක් වැනි දීර්ඝ කාලයක් බවත් එම සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම තම රටේ අරමුණ බවත් චීන ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.