‘පසුගිය කාලය පුරාම මම ආණ්ඩු පෙරළීම සහ හැදීම සිදුකළා. ඒ නිසා ආණ්ඩු පෙරළීම සහ ආණ්ඩු හදන හැටි ටිකක් දන්නවා’ යැයි සෞඛ්‍ය, ‍පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පසුගිය 19දා මතුගමදී කීවේය.

නව ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳ දැනුවත් කිරීම සඳහා මතුගම ශ්‍රවණාගාරයේ පැවැති රැස්වීමක් අමතා රාජිත සේනාරත්න මහතා මෙසේද කීවේය.

‘පසුගිය ජනවාරි 08 වැනිදා මිනිස්සු ඡන්දය දුන්නේ මේ රටේ සෑම අංශයකම වෙනසක් අපේක්ෂාවෙනුයි. ඒ වෙනස සඳහා මූලිකවම ව්‍යවස්ථාව වෙනස් විය යුතුයි. සමහරු හිතයි ව්‍යවස්ථාව මොකටද? ව්‍යවස්ථාව හැදුවම බඩ පිරෙනවාද කියලා. ඒකත් හරියට කේක් වගේ තමයි. කේක් හරි රසයි. පාන් වගේ ‍නෙවෙයි. හැබැයි කේක්වලට බඩ පිරෙන්නේ නැහැ. අන්න ඒ වගේ අපි පිටතින් පේන දේට වඩා ඇතුළතින් හිතන්න අවශ්‍යයි. තම තමන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු හොයාගෙන පමණක් මේ වෙනස කරන්න බැහැ.

පසුගිය කාලයේ යුද්ධයෙන් රට නිදහස් කරගත්තත් රට ඇතුළතින් භීෂණයෙන්, දූෂණයෙන්, වංචාවෙන්, හොරකමෙන් රට විනාශ වෙලයි තිබුණේ. ඒ නිසා අපේ තරුණ පරපුර වබේඅඩවි හරහා ජන මතය සොයලා මේ වෙනසකට මුල පිරුවා. අපි ඒ සඳහා මූලික වී ගමත් රටේ ජනතාවත් පෙරට ආවා. මොකද මෛත්‍රීපාල සිරිසේන මහතා දිගු කාලයක් ජනාධිපතිවරණය සඳහා සූදානම් වුණේ නැහැ. නමුත් මහින්ද රාජපක්ෂ දිගු කාලයක ඉඳලා විශාල පිරිසක් සමග මේ සඳහා කටයුතු කළා. අපි අන්තිම තීරණය ගන්නාතුරු කට්ටිය මොනවත් දැනගෙන හිටියේ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයත් ඒක දැනගෙන හිටියෙ නැහැ. ඒ නිසා මහින්ද රාජපක්ෂ උදේ පාන්දර මට කතා කරලා ඇහුවේ අනේ රාජිත මෙහෙම දෙයක් ආරංචිද? රාජිත යනවද? කියලා. මම කිව්වේ කොහේ යන්නද? ගෙදර නිදි කියලයි කිව්වේ. නමුත් රටේ ජනතාව ඒ වෙනසට සූදානම් වෙලා හිටියා.

අද අපි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන්නේ රටේ ජනතාව ඉල්ලපු වෙනස ඇති කිරීම සඳහායි. මේ රට වෙනස් කළ හැකි පළමු ආයුධය ව්‍යවස්ථාවයි. ඒ නිසා මූලිකවම ව්‍යවස්ථාවේ වෙනසක් අවශ්‍යයි. එක් අයකුට සියලු බලය කේන්ද්‍රව තිබෙන මේ ඒකාධිපති ව්‍යවස්ථාව වෙනස් කළ යුතුයි. අපි එහි මුල් පියවර ගත්තා. එදා මහින්ද රාජපක්ෂ පාලන කාලයේ අධිකරණයේ නඩුකාරවරු පත්කළේ කවුද ජනාධිපති. අපි ඒක වෙනස් කළා. ‍පොලිසියට, අධිකරණයට, රාජ්‍ය සේවයට අද අපි දේශපාලන නායකයින්, මැති ඇමැතිවරු නොවන ස්වේච්ඡා සිවිල් ආයතන නියෝජිතයෝ පත්කර තිබෙනවා. අද ඒ ආයතනවල අයට ඉතා නිදහස්ව, ස්වාධීනව කටයුතු කළ හැකියි.

අනෙත් එක මැතිවරණ ක්‍රමය. අපි ඒක මේ ව්‍යවස්ථාවෙන් වෙනස් කරනවා. ඉස්සර ආසනයට ජනතා නියෝජිතයකු සිටියා. එයාට ලොකු මුදලක් ඡන්දයට අවශ්‍ය නැහැ.

නමුත් දැන් දිස්ත්‍රික්කය පුරා ප්‍රචාරක කටයුතු සඳහා දැවැන්ත මුදලක් වැය කරන්න සිදුවෙලා තියෙනවා. එහෙම වුණාම ධනපති මුදලාලිලාට දේශපාලනඥයා යටවෙනවා.

එහෙම බලයට පත්වුණාම දිස්ත්‍රික්කය පුරාම මිනිස්සුන්ගේ මඟුල් ගෙවල්වල, දුවගෙ වැඩිවිය පැමිණි විට, මේ හැමදේටම යන්න ඕන. එතකොට වෙන දෙයක් කරන්න කාලයක් නැහැ. මේ ඡන්ද ක්‍රමය නිසා සමහරු කැලෑ වදිනවා. මේකට මුහුණ දෙන්න බැහැ. ජනප්‍රිය අයට මේකෙ යම් වාසියක් තියෙන්න පුළුවන්. නමුත් සාමාන්‍ය මිනිසෙකුට ඉදිරිපත් වෙන්න බැහැ. මේක කාලකණ්ණි ඡන්ද ක්‍රමයක්. ඒ නිසා මේක වෙනස් කරලා පැරණි ක්‍රමයට අපි යා යුතුයි. පෞද්ගලිකව මේ ක්‍රමය තුළ මට හොඳ වුණත් රටට හානියක්.

ඉස්සර අධිකරණයේ සියල්ල කළේ රජගෙදර අණ අනුවයි. සියලු පත්කිරීම් ජනාධිපති. ඒ නිසා එතැනින් පත්වීම් ගත්ත අය තීන්දු තීරණවලදී බලපෑම්වලට යටවුණා. වර්තමාන ජනාධිපති සෞඛ්‍ය ඇමැතිව සිටියදී සිගරැට් පැකැට්ටුවේ රූපමය අවවාදය සියයට අසූව කරන්න ගිහිල්ලා මේ තත්ත්වයට පත්වුණා. හිටපු ජනාධිපතිට අවශ්‍ය විදිහට අධිකරණ තීන්දුව ආවා. එහෙම නම් බුලත් මල්ලට හෙණ ගැහුවම හුනු කිල්ලෝටේට මොනවා වෙයිද කියන්න ඕන නැහැ.

කිසිම දෙයක් අවේලාවේ හරියන්නෙ නැහැ. වෙලාව එනතුරු ඉන්න ඕන. වෙලාව එනතුරු අපි සිටියා. දැන් ඒ කාලය ඇවිත් තියෙනවා. මැතිවරණ ක්‍රමය වෙනස් කළාට, අධිකරණය, ‍පොලිසිය, රාජ්‍ය සේවය ස්වාධීන කළාට බඩ පිරෙන්නෙ නැතිවුණාට මේවා දියුණු රටක් ලෙස ලෝකයට ගෙන යන හැරවුම් ලක්ෂ්‍යය මෙතැනයි.

1948 ව්‍යවස්ථාව හැදුවේ සුද්දට අවශ්‍ය විදිහට, එංගලන්තයේ මහ රැජිනට අවශ්‍ය විදිහට මේ රට පාලනය කරන්නයි. 1972දී මේ රටේ නායකත්වය හැදුවේ බලතල ටික දේශපාලන අධිකාරියට නතුකර ගැනීම සඳහායි. අවසාන තීරණය දේශපාලනඥයාට යන ආකාරයට මේ ව්‍යවස්ථාව එකල හිටපු නායකයෝ හැදුවා. 1978 ව්‍යවස්ථාව ජේ.ආර්. ජයවර්ධන හැදුවේ සියලු බලතල තමන්ට තියා ගැනීම සඳහායි. ඒකෙන් කරන්න බැරි දෙයක් නැහැ කියලා එයාම කිව්වා. ඒක රටට ආදරේට හදපු එකක් ‍නෙවෙයි.

මේ නිසා අපි නව ව්‍යවස්ථාවක් හැදීම ආරම්භ කළා පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරු ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය බවට පත්කර තිබෙනවා. රටේ ජනතාවගෙන් ඒ ගැන අදහස් යෝජනා අහලා සංශෝධන යෝජනා ගේන්න පුළුවන් වෙනවා. සංවාද කරලා ජනතා අදහස් අනුව ව්‍යවස්ථාව හදනවා. මේක ජනතාවට අවශ්‍ය විදිහට හදන ව්‍යවස්ථාවක්. මේකෙ වටිනාකම තේරෙන්නෙ තව අවුරුදු සියයක් ගියාට පසුයි. ලංකාව දියුණු ලෝකයට හැරවුම් ලක්ෂ්‍යය වෙන්නෙ මෙන්න මේ නිදහස්, ස්වාධීන ව්‍යවස්ථාවක ආරම්භය බව ඉතිහාසයේ ලියැවෙනවා.’

වයි. ආරියතිලක-බදුරලිය