‘ආණ්ඩුව සල්ලි නැහැ කියනවා. නමුත් ඇමැතිවරුන්ට වාහන ගේන්න සෑම වර්ෂයකම මුදල් වෙන්කර ගන්නවා. ගිය වසරේ කෝටි 118ක් වෙන්කර ගත්තා. මේ අවුරුද්දේ කෝටි 54ක් වෙන්කර ගත්තා’ යැයි ජවිපෙ ප්‍රධාන ‍ලේකම් ටිල්වින් සිල්වා මහතා ගාල්ල, කළුවැල්‍ලේදී පැවසීය.

විකිණීම, ණයවීම හා රටේ අනාගතය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා පැවැති ජනහමුවේදී ටිල්වින් සිල්වා මහතා මේ බව සඳහන් කළේය. හෙතෙම මෙසේද කීවේය.
‘පරණ වාහනවල ඇමැතිවරුන්ට යන්න බැහැ. ලංකාව විශාල මුදල් අර්බුදයකට ලක්වෙලා. ආණ්ඩුවට සල්ලි නැහැ.

ආණ්ඩුවට අලුතෙන් වෛද්‍ය විද්‍යාලයක් හදන්න බැරිවෙලා තියෙනවා. වගා හානි දෙනවා කිව්වාට දුන්නේ නැහැ. රෝහල්වල බෙහෙත් නැහැ. ශල්‍යකර්මයක් කරගන්න ගිය විට සියල්ල ගෙනියන්න වෙලා. ආණ්ඩුව කියන්නේ සල්ලි නැහැ කියලා.

නමුත් අධ්‍යාපනයට, සෞඛ්‍යයට, පාර හදාගන්න, බෝක්කුව හදාගන්න සල්ලි නැහැ. නුවර අධිවේගී මාර්ගය නවත්වන්න තීන්දු කරලා සල්ලි නැති නිසා. අපේ රටට මුදල් උපයන ආදායම් මාර්ග නැහැ. සුද්දා හිටවපු තේ, රබර්වලින් තමයි තවමත් ඩොලර් ටිකක් හොයාගන්නේ. ආණ්ඩුව කරන්නේ බදු ගහන එකයි. රටේ සම්පත් ටික විකුණනවා. රාජ්‍ය ආයතන විකුණනවා. විකුණන එක බදු ගහන එක, දඩ ගහන එක තමයි ආණ්ඩුව කරන්නේ.

ඒ බදු සල්ලිවලින් වාහන ගේනවා. අමාරුවෙන් හොයාගන්න මුදල් ටිකත් නාස්ති කරනවා. නිෂ්පාදන ආර්ථිකයට මාරුවෙන්න ඕන. ආදායම් ලබන ආර්ථිකයක් හදන්න ඕන. උගතුන්, බුද්ධිමතුන්, රට හදන්න පුළුවන් මිනිස්සු හා ජවිපෙ එකතුවෙලා ජනතා බලයක් ගොඩනැගුවොත් රට හදන්න පුළුවන්. දැන්වත් කොළපාට, නිල්පාට මාරුවෙන් මොරුවට ගහපු කතිර සෙල්ලම නතර කරන්න ඕන. රට හදන්න පුළුවන් බලවේග එකතු කරලා ජනතා මධ්‍යස්ථානයක් ගොඩනගමු. 2020 ඡන්දය අපේ රටේ අනාගතය වෙනස් කිරීම සඳහා ජනතාවාදී අලුත් ආණ්ඩුවක් හදන්න පුළුවන්. ජනතා බලයක් ගොඩනැගීමට කටයුතු කරමු.

දැන් හොඳටම ඇති පරණ පාරේ ගියා. දැන් වෙනසක් කළ යුතු වෙනවා. දැන් කතා කරනවා මේ ආණ්ඩුව පෙරළන්න ඕන කියලා. අපිත් කියනවා පෙරළන්න ඕන. ඒත් පෙරළන්න කලින් හිතන්න ප්‍රශ්නයක් තියෙනවා. පෙරළන එක අමාරු නැහැ. ගේන්නේ මොකක්ද කියන එක තෝරාගන්න තමයි අමාරු. මේක පෙරළලා මේ වෙනුවට ගේන්නේ මොකක්ද කියලා තීන්දුවක් ගන්න ඕන. කලින් පෙරළපු කට්ටිය ගේන එකේ තේරුමක් නැහැ. රට හදන්න පුළුවන් අලුත් ආණ්ඩුවක් ගේන්න ඕන.

මේ ආණ්ඩුව ඡන්දවලට බය නිසා ඡන්දය කල් දමලා. පළාත් පාලන මැතිවරණය වසර දෙකක් තිස්සේ කල් දමමින් ඉන්නවා. මේ යන තාලෙට මේ අවුරුද්දේ තියන්නෙත් නැහැ. බිම් මට්ටමේ ජනතාවට තමන්ගේ නියෝජිතයා පත්කිරීමේ අවස්ථාව අහිමි කරලා. වැරදි ඡන්ද ක්‍රමයක් ගෙනැවිත් තියෙනවා. ඒ නිසා තමයි මේ සියලු ගැටලු ඇතිවෙලා තියෙන්නේ.

හවුල් ආණ්ඩුව ඇවිත් වසර දෙකක් ගතවෙලා. නමුත් රටේ ජනතාව ඉන්නේ අසන්තෝසයෙන්. ආර්ථික, සමාජීය, දේශපාලන අර්බුදයක් තියෙනවා. පාර්ලිමේන්තුව පවත්වාගෙන යන්න බැහැ. එතැන කෑගහනවා. එතැන රණ්ඩු කරගන්නවා. පාර්ලිමේන්තුව කල් දමනවා. තහනම් කරනවා. එතැන අර්බුදයක් තියෙනවා.

බඩු මිල වැඩිවෙලා. හාල් සේරුව රුපියල් 100ට නැගලා. ‍පොල් ගෙඩිය හැට පැනලා. ප්‍රශ්න ගොඩක් තියෙනවා. රට පාලනය කරපු අය හා කරන අය කියනවා රටේ අර්බුදයක් තියෙනවා කියලා. අගමැතිතුමාත් කියනවා අර්බුදයක් තියෙනවා කියලා. පසුගිය කාලයේ පාර්ලිමේන්තුවේදී අගමැතිතුමා කීවා ආර්ථික අර්බුදයක් තියෙනවා කියලා. තිත්ත කසාය බිලා වගේ තමයි ඉන්න වෙන්නේ කියලා. හිටපු ජනාධිපති මහින්ද මහත්තයා හා වර්තමාන ජනාධිපතිතුමාත් කියනවා අපේ රටේ අර්බුදයක් තියෙනවා කියලා.

මහින්ද මහත්තයාගේ කාලයේ ණය ගත්තු එක තමයි අර්බුදය කියලා රනිල් මහත්තයා කියනවා. මහින්ද මහත්තයා කියනවා මේ අර්බුදයට හේතුව මේ අලුත් ආණ්ඩුවට රනිල්-මෛත්‍රී ආණ්ඩුවට වැඩ බැහැ කියලා. පරිපාලනය බැහැ, තේරෙන්නේ නැහැ කියලා කියනවා. රනිල් මහත්තයාට අනුව අර්බුදය අවුරුදු නවයයි. මහින්ද මහත්තයාට අනුව අපේ රටේ අර්බුදය අවුරුදු දෙකයි. නමුත් ජනතාව ගතහොත් අපේ ජීවිත කාලයේ ඉඳලා මේ අර්බුදය තියෙනවා.

දැන් සමහරු හිතනවා මේ අර්බුදයෙන් බේරෙන්න නම් මහින්ද මහත්තයා බලයට ගේන්න ඕන කියලා. ඔහුගේ පාලන කාලයේ අර්බුදයක් නොතිබුණා නම් මහින්ද මහත්තයා පරාජය වෙන්නේ නැහැ. තවත් සමහරු හිතන් ඉන්නවා මේ ආණ්ඩුවට හොඳ නරක කියා දීලා, ආණ්ඩුව හදාගන්න පුළුවන්ද කියලා. අපි නම් හිතන්නේ නැහැ එහෙම කරන්න පුළුවන් කියලා.

අපි මේ මුහුණ දී සිටින සකල අර්බුදවලට හේතුව තමයි මහින්ද මහත්තයා, රනිල් මහත්තයා, චන්ද්‍රිකා මහත්මිය, ජයවර්ධන මහත්මයා ආදී නායකයන් අපේ රටේ පාලනය කරගෙන ආපු ආර්ථික ප්‍රතිපත්තියක් තියෙනවා. පාලන ක්‍රමයක් තියෙනවා. ඔය පාලන ක්‍රමයේ තමයි වැරැද්ද තියෙන්නේ. ඒ පාලන ක්‍රමය වෙනස් කරන්නේ නැතිව කුමක් කළත් අපට ගොඩඒමක් නැහැ. අවුරුදු 68ක් තිස්සේ අපි කතිර ගහලා, ගහලා ලොකු වළක් කපාගෙන තියෙනවා.

දැන් ඉන්නේ ඒ වළේ. දැන් ජනතාව හිතන්න ඕන අපි තවදුරටත් කතිර ගහලා ඒ වළ පුළුල් කරගන්නවාද? නැතිනම් ඒ වළෙන් ගොඩ එන්න ක්‍රමයක් හදනවාද කියලා. ආපසු මහින්ද මහත්තයාට කතිර ගහනවා කියන්නේ මේ වළ ‍පොඩ්ඩක් ගැඹුරු කරගන්න එක. නැත්නම් වළෙන් ගොඩ එනවාද, මේ දෙක හොයන්න වෙලා තියෙනවා’ යැයිද ටිල්වින් සිල්වා මහතා පැවසීය.

දකුණු පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ මහතාද මෙහිදී කතා කළේය.

ලලිත් කංකානම්ගේ-ගිංතොට
සමන් කුමාර-බූස්ස