ඇතැමුන් පාර හැදුවේ නැතැයි කියමින් හඬාවැටෙද්දී තරුණයින් මුදල් සොයාගෙන දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති කර ඇති බවත්, පාරවල් හදන්නේ නැතැයි හැමදාම කෑගහන රූපවාහිනී නාළිකා වසරේ දවස් තුන්සිය හැටපහෙන් එක දවසක් හෝ මෙම සංවර්ධන වැඩසටහන් පෙන්විය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

තරුණ සේවා සභාව පැවැත් වූ ව්‍යාපෘති 1500 යටතේ හොඳම ව්‍යාපෘතිය ලෙස තේරුණු දිල්කි මධුශානි ඇතුළු තරුණියන් තිදෙනකුගේ මැදිහත්වීමෙන් නිමකරන ලද නෙළුව හප්පිටිය මැණිකාවිට රිදීතරු පාලම නිරීක්ෂණය කිරීමෙන් පසුව පැවති රැස්වීම අමතා පසුගියදා (18) අගමැතිවරයා මේ බව කීවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.
රිදී තරු පාලමට හරිනම් රන්තරු පහක් දිය යුතුයි. අප මේ පාලම ඉදිකිරීමට රුපියල් 75000 ක් දුන්නා. ඒ මුදල ප්‍රයෝජනයට ගෙන රුපියල් ලක්ෂ 43 ක් වටිනා පාලමක් ඉදිකර තිබෙනවා.

මේ පාලම ඉදිකිරීමේ අදහස දුන් දිල්කි ඇතුළු තරුණ පිරිස ඉදිකර තිබෙන්නේ නිකම්ම පාලමක් නොවේ. මේ පාලම මුළු රටටම ආදර්ශයක් බව කිව යුතුයි. මෙය තරුණ තරුණියන්ට නායකත්වය ගෙන ගම දියුණු කළ හැකියැයි පෙන්වන වැඩසටහනක්.

මෙහි තිබූ ඒදණ්ඩෙන් වැටීම නිසා දිල්කිගේ පියාගේ ජීවිතය නැති වුණා. ඒ නිසා මේ පාලම ඉදිකිරීම සම්බන්ධයෙන් දිල්කිටත් සහෝදරියන් දෙදෙනාටත් පෞද්ගලික හේතුවක් තිබුණා. නමුත් එම අවශ්‍යතාව මුළු ගමටම ‍පොදු අවශ්‍යතාවක් වුණා.

මේ ගමේ යෞවන සමාජයට සහ මුදල් දුන් සියලුදෙනාටම ස්තුතිවන්ත විය යුතුයි. අප මේ මුදල් දෙන්නේ ගම්වල වැඩ කටයුතු කරන්නටයි. මේ කාර්යයන් සඳහා ලැබෙන රු. 75000 ක මුදල ප්‍රමාණවත් නැති බව මෙහිදී අදහස් පළ වුණා. එම නිසා ඊළඟ වාරයේ රුපියල් එක්ලක්ෂ පනස් දහසක් දෙන්නම්. එයින් ඔබ වැඩ ආරම්භ කරන්න. අප බලා‍පොරොත්තු වූයේ රුපියල් 75000 ක් දී ඒවගේ තුන් ගුණයක් වටිනාකම ඇති වැඩක් තරුණයින් විසින් සිදු කිරීමයි. එනම් දෙලක්ෂ විසිපන්දහසක් වටිනා කාර්යයක් කිරීමයි.

මේ වැඩසටහනින් හොඳ ව්‍යාපෘති සඳහා එනම් පස් ගුණයක් වටිනාකම ලැබූ ව්‍යාපෘති කළ අයට කොන්ත්‍රාත් පැවරීමටත් අපි කටයුතු කරමු. අප මුළු රටටම මේ කතාව කිව යුතුයි. අප තරුණයන් සඳහා රුපියල් කෝටි 11 ක් දුන් පසුව තරුණයන් අපට නැවත කෝටි 43 ක් දුන්නා. අප දුන්නාට වඩා තුන් ගුණයකටත් වඩා ඔවුන් ලබා දී තිබෙනවා. මේ ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකාවෙන්ම ප්‍රථම ස්ථානයක් දුන්නාසේ දිස්ත්‍රික් මට්ටමින්ද හොඳම ව්‍යාපෘති තෝරා ත්‍යාග දෙමු.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ නුවරගම් පළාතේ අඩු ආදායම් ලාභීන්ට මැටි ඇතිරූ නිවාස වෙනුවට සිමෙන්ති ඇතිරූ නිවාස, මහනුවර තරුණ ගොවි‍පොළ, කොග්ගල දිස්ත්‍රික්කයේ දළුක විහාරස්ථානයේ සිට කන්දමුල්ල විදුහල දක්වා වන මාර්ගය ඉදිකිරීම, විල්ගමුව ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාසයේ මහජන පුස්තකාලය සහ ග්‍රාම නිලධාරී කාර්යාලය, නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ගල්කඩ පතන ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ ක්‍රීඩාපිටිය සංවර්ධනය කිරීම, ආදී සාර්ථක ව්‍යාපෘති රාශියක් තිබෙනවා. හැකි අයුරින් එම ස්ථානවලට ගොස් තරුණයන් සමග සාකච්ඡා කරන්න මා කල්පනා කළා.

ගමේ පාරවල් හදලා නැතැයි අප හැමදාම රූපවාහිනියෙන් දකිනවා. ඒක හදලා නැහැ. මේක හදලා නැහැ කියමින් සමහර රූපවාහිනී හැමදාම කෑගහන අයුරු අපට නිතරම පෙනෙනවා. වසරේ දවස් තුන්සිය හැටපහෙන් එක දවසක්වත් මේ සංවර්ධන ව්‍යාපෘති පෙන්වන්නැයි අපි ඔවුන්ට යෝජනා කරමු. ඇතැමුන් පාර හැදුවේ නැතැයි කියමින් අඬාවැටෙද්දී තරුණයින් මුදල් හොයාගෙන දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති කර තිබෙනවා. දැන් මේ ගම්මට්ටමේ සංවර්ධන ව්‍යාපෘති පෙන්වන්න ගියොත් වෙනම නාළිකාවක් දෙන්නට සිදුවේවි.

අපි ගමේ වැඩකරන අය පිළිගෙන ඔවුන් හඳුනාගනිමු. තරුණයන්ට අප දිය යුතු අනාගතය කුමක්ද? ගම ශක්තිමත් කිරීම සඳහා ග්‍රාම රාජ්‍ය සංකල්පය ගෙන ඒමට අප කටයුතු කරනවා.

අප තරුණ තරුණියන්ට රැකියා ආදායම් මාර්ග ලබා දෙන්නේ කෙසේද යන ප්‍රශ්නයට විසැඳුම් සොයාගත යුතුයි. යහපාලන රජයේ ප්‍රධාන බලා‍පොරොත්තුව ඒ ප්‍රශ්නයට විසඳුම් ලබා ගැනීමයි.

මෙරට ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම අපේ මූලික ඉලක්කයක් වුණා. දැන් එහි ප්‍රශ්නයක් නැහැ. ෆේස් බුක්, ඔන්ලයින් හැම තැනකම අපට දොස් කියන්න පවා දැන් නිදහස තිබෙනවා. බණින්නේ නැති දවසක් නැහැ. ඡන්දෙ කා‍ලේ එනකොට වස්දොස් යන්නත් එක්ක ඕනතරම් බණින්න ඉඩ දෙන්නැයි මා දන්වා තිබෙනවා.

අධ්‍යාපනය දියුණු කිරීම අපේ ඊළඟ අරමුණයි. වසර 13 ක අධ්‍යාපනය අනිවාර්ය කිරීමට අප කටයුතු කරමින් සිටිනවා. අ.‍පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව නර්තන, සංගීතය, ආදී විවිධ විෂය ක්‍ෂේත්‍රවල පුහුණුව දෙන්නම්.

අපේ අනෙක් මූලික ඉලක්කය වී ඇත්තේ ආර්ථිකය නැංවීමයි. විශාල ඉදිරි දියුණුවක් ඇති කිරීමයි. අප දැන් දකුණෙන් එහි ආරම්භය තබා තිබෙනවා.

වැලිගම ප්‍රදේශය කේන්ද්‍රකර ගනිමින් චාලිමවුන්ට් වත්තේ තවත් කර්මාන්ත කලාපයක් ආරම්භ කරනවා. එහි අක්කර 800 ක් පමණ තිබෙනවා. තවත් සංචාරක කලාප කිහිපයක්ම ඇරැඹීමට අප සැලසුම් කර තිබෙනවා.

කොළඹට මහනුවරට වගේම මේ ප්‍රදේශවලටත් ශීඝ්‍ර ආර්ථික දියුණුවක් ලැබෙනවා. ඒ දියුණුවට තරුණයන් සම්බන්ධ කර ගන්නේ කෙසේදැයි අප කල්පනා කළ යුතුයි. තමන්ට කළමනාකාරිත්වය ඉගෙනගත යුතුනම්, ඒ සඳහා මුදල් නැතිනම් උපාධියක් හදාරන්නේ කෙසේද? අප ඔවුන්ට ඒ අවස්ථාව ලබාදිය යුතුයි. එලෙස සියලුම දෙනාට දියුණුවෙන්න, ඉදිරියට යන්න අවස්ථාව ලබාදිය යුතුයි.

රැකියා පුහුණුව, යෞවන සමාජ සහ ආණ්ඩුව, පෞද්ගලික අංශය එකතු වී මේ ඉලක්ක සපුරා ගන්නේ කෙසේදැයි සැලසුම් කළ යුතුයි. තරුණ කණ්ඩායම් පුහුණු කරනවා නම් අප මුදල් ලබා දෙන්නම් යැයි හෝටල්වලට පවසන්නම්, සංචාරක ව්‍යාපාරයේ විශාල වැඩසටහනක් කිරීමට පෞද්ගලික අංශය දැනටමත් ඉදිරිපත් වී තිබෙනවා.

තරුණයන් ලෙස ඔබත් ඒ නායකත්වය අරගන්න. ඉදිරියට යන්න. පාලම්, වැව්, ක්‍රීඩාංගණ, ගොවි‍පොළ හදන්න ශක්තිය තිබෙනවා නම් ගමේ ආර්ථිකයෙන් රැකියා බිහි කරන්නේ කෙසේදැයි මට කියන්න.

මේ වැඩසටහන් ඉදිරියට ගෙන යාම සඳහා තරුණයන් යොවුන් පුරයේදීත් සාකච්ඡා කර අපට කියන්න. අපට එකට එක්වී අවශ්‍ය ආධාර උපකාර ලබාදී ඒ වැඩකටයුතු කරගෙන යන්නම්.

එක් අයකු ගමේ කුඩා ව්‍යාපාරයක් පටන් ගත්තොත් තවත් වසර දෙකකින් ගමේ තවත් අයකුට රැකියාවක් ලබා දෙන්න ඔහුට ශක්තිය ලැබෙනවා.

අපි අපේ රට ඉදිරියට ගෙනයාම සඳහා එකතු වෙමු. ඔබ බලා‍පොරොත්තු වන රැකියා ඇති කරමු. හොඳ ස්ථීර ආදායම් මාර්ග ඇති කිරීම සඳහා ඔබේ අදහස් අපට ලබාදී අප සියලුදෙනාම එකතුවී ක්‍රියා කරමු. මට අද අවශ්‍ය වූයේ ඔබේ අදහස් ලබා ගැනීමයි. ඒ අදහස් ලබා ගැනීමට හැකි වුණා.

මෙම අවස්ථාවට ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන, ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි, හිනිදුම එජාප සංවිධායක, පළාත් සභා මන්ත්‍රී සුනිල් සේනානායක, පළාත් සභා මන්ත්‍රී සංජීව කරුණාතිලක සහ ජාතික තරුණ සේවා සභාවේ සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

හිරු සඳුන් ලියනගේ – හිනිදුම

ranil-1

ranil2