රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් මහතාගේ ආරාධනයක් අනුව ශ‍්‍රී ලංකා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (22* තෙදින නිල සංචාරයක් සඳහා රුසියාව බලා පිටත් වෙයි. ශ‍්‍රී ලංකා සෝවියට්-රුසියා සබඳතා සහ මෙම සංචාරයේ වැදගත්කම පිළිබඳ රුසියාවේ ශ‍්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා සමග පැවැත් වූ විශේෂ සාකච්ඡුාවකි.

ජාත්‍යන්තර දේශපාලනය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන, විදේශ සබඳතා පිළිබඳ ප්‍රවීණයෙක් ලෙස කොහොමද ඔබ ශ්‍රී ලංකා රුසියා විදේශ සබඳතාව විග්‍රහ කරන්නේ?
ශ්‍රී ලංකා සෝවියට් – රුසියානු විදේශ සබඳතාවලට මේ වන විට වසර 60 කට ආසන්න ඉතිහාසයක් තිබෙනවා. අප අතරේ නොබෙදුණු මිත්‍රත්වයක් මේ වසර 60 තුළ පැවතීම සුවිශේෂයි. වර්තමානය වන විට එම තත්ත්වය වඩාත් වාසිදායක හා ඵලදායී තත්ත්වයක පවතින බවයි මට හැඟෙන්නේ.

ශ්‍රී ලංකා සෝවියට් රුසියානු සබඳතා සම්බන්ධයෙන් වසර 30 ක අත්දැකීම් මා සතුයි. මම හොඳින් රුසියාවේ දේශපාලන හා ආර්ථික ක්‍රියාකාරිත්වය අධ්‍යයනය කර තිබෙනවා. ලෝක බලවතකු ලෙස රුසියාව අප වගේ රටකට දක්වන සැලකිල්ල ඉතා වැදගත් වෙනවා.

පැරණි සෝවියට් දේශය අපේ රටේ කර්මාන්ත ගොඩනැගීම සඳහා එනම්, වානේ, ටයර් කර්මාන්තශාලා හා වාරිමාර්ග යෝජනා ක්‍රමවලට මෙන්ම උසස් අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්ව ලබා දුන්නා. නොමිලයේ ලබාදුන් සාහිත්‍ය හා දේශපාලන ග්‍රන්ථ දහස් ගණනක්. නමුත් 1990 පෙරස්කේ‍රායිකාවත් සමග ඔවුන්ගේ දේශපාලන හා ආර්ථික ක්‍රියාවලිය වෙනසකට ලක් වුණා. ඒ වුණත් ඔවුන් කිසි විටෙකත් තමන් සමග එකට සිටි කුඩා රාජ්‍ය අමතක කළේ නැහැ. විශේෂයෙන් ශ්‍රී ලංකාවට මුහුණ පෑමට සිදු වූ ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රශ්නවල දී රුසියාව ජුවම ශ්‍රී ලංකාවට සහාය පළ කළා. සහාය පළ කළා පමණක් නොව ඔවුන් අපේ මතය වෙනුවෙන් දිගින් දිගටම එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ පෙනී සිටියා.

ඔබ දකින රුසියානු ජාත්‍යන්තරයේ සුවිශේෂත්වය කුමක්ද?
පළමු හා දෙවැනි ලෝක සංග්‍රාමවලින් තීව්‍ර වුණා ලෝක බලකඳවුරු දෙකක් පවතින බව. රුසියාව සමාජවාදී හා ප්‍රගතිශීලී රාජ්‍ය වෙනුවෙන් පෙනී සිටියා. 1990 න් පසු සෝවියට් ක්‍රමය බිඳ වැටුණත්, ඔවුන් අදත්, එදා යටත් විජිත ලෙස පැවති බොහෝ රාජ්‍යවල ස්වාධීනත්වය වෙනුවෙන් ලෝක බලවතකු ලෙස පෙනී සිටිනවා. එය ජාත්‍යන්තර දේශපාලනයේ ඔවුන්ගේ ප්‍රතිපත්තියක්. ඒක අපට වාසිදායක තත්ත්වයක්.

ඔබේ සේවා කාලය තුළ රටට මොන වගේ වාසිදායක තත්ත්වයන්ද ලබා ගැනීමට ක්‍රියා කර තිබෙන්නේ?
පවතින ගෝලීය ආර්ථික ක්‍රියාවලිය තුළ ඔබේ ප්‍රශ්නයට උත්තර දෙන්න වෙන්නේ ඉතා ගැඹුරින් හා විචාරශීලීව.

වෛද්‍ය සමන් වීරසිංහ
වෛද්‍ය සමන් වීරසිංහ

ලෝකයේ කුමන රටක්වත් ජුව මහා පරිමාණයේ ආධාර ලබාදෙන, ආයෝජනය කරන තත්ත්වයක් අද දක්නට ලැබෙන්නේ නැහැ. ඒ වුණත් අපේ රටේ ආර්ථිකයට රුසියානු සමූහාණ්ඩුවේ සහාය, ආධාර හා සහභාගිත්වය විශාල වශයෙන් ලබා ගැනීමට අපට හැකි වී තිබෙනවා.

අපේ රටේ තේවලට සිටින ප්‍රධාන පෙළේ ගැනුම්කරුවා තමයි රුසියාව. අපේ අපනයන වෙළෙඳාමේ ස්ථාවරත්වය රැක ගැනීමට අප විශාල කාර්යභාරයක් කරමින් සිටිනවා. ඒ අනුව තේ ප්‍රධාන කොට කෝපි ඇතුළු සුළු අපනයන භෝග, ස්වර්ණාභරණ, මැණික් ඒ වගේම ධීවර ක්‍ෂේත්‍රයේ මත්ස්‍ය අපනයනය සඳහා ශ්‍රී ලංකාවට රුසියාවේ විශාල වෙළෙඳ‍පොළක් නිර්මාණය කිරීමට අපට හැකි වී තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය සඳහා නොසිතූ ආකාරයෙන් රුසියානු සංචාරකයන්ගේ ආකර්ෂණය ලබා ගැනීමට හැකි වී තිබෙනවා. මේ සඳහා ශ්‍රී ලංකා රුසියානු වාණිජ සංගම් හා ව්‍යාපාර එකමුතු සම්බන්ධ කරමින් රුසියාවේ ප්‍රධාන නගර කීපයකම වෙළෙඳ ප්‍රදර්ශන හා ප්‍රචාරාත්මක වැඩසටහන් පැවැත්වීමට මෙන්ම වෙළෙඳ දූත කණ්ඩායම් දෙරට අතරම සංචාරය කරවීමට අප ක්‍රියාකර තිබෙනවා.

රුසියාව ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගැනුම්කරුවන් දස දෙනා අතර සිටින රටක්. ශ්‍රී ලංකාවේ සම්පූර්ණ අපනයන ආදායමෙන් 2 ක්, 3 ත් අතර ප්‍රමාණයක් අපට ලැබෙන්නේ රුසියානු සමූහාණ්ඩුවෙන්. මෙහිදී ශ්‍රී ලංකාවේ තේ සඳහා ඇත්තේ විශාල වෙළෙඳ‍පොළක්. ඛිඥරතධද ඊඥච යන නාමය රුසියාවේ අව්‍යාජ සහ පාරිභෝගිකයන් අතර ඉතා ප්‍රචලිත නාමයක්.

ශ්‍රී ලංකාවේ සිට රුසියාවට අපනයනය කරන්නා වූ මුළු අපනයනවලින් 65 කට වැඩි ප්‍රමාණයක් සංයුක්ත වන්නේ තේවලිනි. 2016 ශ්‍රී ලංකාව කිලෝ මිලියන 34 ක් වූ තේ ප්‍රමාණයක් රුසියාවට අපනයනය කර තියෙනවා.

කෙසේ නමුත් රුසියාවේ තේ වෙළෙඳ‍පොළ වර්තමාන තත්ත්වය අපට එතරම් වාසි දායක නැහැ. 2014 වසරෙහි ආරම්භ වූ ආරක්ෂක අවපාත තත්ත්වයත් සමග අපේ තේ සඳහා වූ ඉල්ලුම පහළ යාමේ අවදානමකට අපි මුහුණ දෙනවා. විශේෂයෙන්ම අපගේ තේ ඒකකයක මිල සංසන්දනාත්මකව බැලූ කල ඉහළයි. මෙය මෙකල සාමාන්‍ය පාරිභෝගිකයන්ගේ ආර්ථික තත්ත්වයට දරාගත නොහැකි මට්ටමක පවතින අතර ඔවුන් අඩුමිල හා තත්ත්වයෙන් එතරම් උසස් නොවූ තේ සඳහා යොමුවී පවතිනවා. මේ තත්ත්වය යටතේ අනෙකුත් රටවලට නිෂ්පාදිත තේ අපගේ අපනයන වාර්තා බිඳ හෙළමින් ඉදිරියෙන් සිටිනවා.

අපගේ ප්‍රචාරණ කටයුතු නිසි ලෙස පසුගිය වසර දෙක තුළ ක්‍රියාත්මක කර තිබෙනවා. අන්තර්ජාතික වෙළෙඳ ප්‍රදර්ශන සඳහා සහභාගි වීම මේ අතර කැපී පෙනෙනවා. ඒ අතරම ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් මෑතකදී දියත් කළ “තේ ලෝක ප්‍රචාරණ වැඩසටහන” හෙවත් ට්තධඡචත ඊඥච ඛිචථනචඪඨද පළමු වරට රුසියාවේ දී දියත් කළා. ඒ සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක, ඇමැතිතුමාගේ සහභාගිත්වයෙන් රුසියාවේ තේ ගැනුම්කරුවන් හා කර්මාන්තය ආශ්‍රිත පුද්ගලයන් හමුවක් සාර්ථකව පැවැත් වූවා.

නිමි ඇඳුම්, දිසිදි ‍පොල් (ච්ඪඵඪජජචබඥඵ ඛිධජධදභබ) කොහු තන්තු ආශ්‍රිත නිපැයුම්, මුහුදු මත්ස්‍ය ආශ්‍රිත ආහාර සහ කුළුබඩු අනෙකුත් අපනයන ද්‍රව්‍යයන් අතර කැපී පෙනෙනවා. මේ ද්‍රව්‍යයන් සඳහා හොඳ වෙළෙඳ‍පොළ තත්ත්වයක් රුසියාවේ දැකිය හැකි අතර හොඳම උදාහරණය වන්නේ පසුගිය වසර දෙක තුළ අප ලබා ගත් මත්ස්‍ය අපනයනයේ ප්‍රගතියයි. අපි ඉතිහාසයේ ප්‍රථම වතාවට රුසියාවේ මැණික් වෙළෙඳ‍පොළ පිළිබඳ හැදෑරීමක් සහ වැඩමුළුවක් සංවිධානය කළා. ප්‍රධාන පෙළේ අපනයනකරුවන් අට දෙනකුගේ සහභාගිත්වයෙන්, රුසියාවේ මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත සංවිධාන සමග එකතුව රුසියානු ගැනුම්කරුවන් හා ශ්‍රී ලාංකික අපනයනකරුවන් අතර තනි තනි වෙළෙඳ හමු හා සබඳතා වර්ධනය කිරීමේ හමුවක් තානාපති කාර්යාලය ඉතා උසස් මට්ටමින් සංවිධානය කළා. ඒ සඳහාත් අපට ඉතා හොඳ ප්‍රතිචාර හැම අංශයකින්ම වාගේ ලැබිලා තිබුණා.

තානාපති කාර්යාලය මගින් නිතිපතා කරනු ලබන සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් අඛණ්ඩව කරගෙන යනු ලබන අතර මොස්කව් නුවර සංචාර හා සම්බන්ධ වෙළෙඳ ප්‍රදර්ශන මේ අතරින් සුවිශේෂ ස්ථානයක් ගනී. 2016 පෙබරවාරි මාසය තුළ දී අප විසින් ජෝන් අමරතුංග සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබූ ප්‍රවර්ධක වැඩසටහන වැදගත් අවස්ථාවක්. මෙහිදී රුසියානු රජයේ සංචාරක කටයුතු පිළිබඳ ආයතනය සමග විශේෂ සාකච්ඡා පැවැත් වූ අතර මොස්කව් ප්‍රාදේශීය පාර්ලිමේන්තුව මගින් සංවිධානය කරන ලද වට මේස සාකච්ඡාවකටද ඇමැතිතුමා සහභාගි විය. මෙහිදී සංචාරක කර්මාන්තය පිළිබඳ සුවිශේෂී ප්‍රචාරක ඉදිරිපත් කිරීමක් සිදු කළා.

රාජ්‍ය ප්‍රතිපත්ති සලකා බැලීමේ දී පසුගිය වසර දෙක තුළ සිදු වූ අනෙක් සුවිශේෂී කාර්යය වන්නේ පළමු රුසියන් ශ්‍රී ලංකා අන්තර් රාජ්‍ය ආර්ථික වෙළෙඳ තාක්ෂණ හා විද්‍යාත්මක සහයෝගිතා ඒකාබද්ධ සමුළුව 2016 පෙබරවාරි මාසයේ දී මොස්කව් නුවර පැවැත්වීමයි.

ඒ සඳහා ශ්‍රී ලංකා රජයෙන් ලැබෙන පිටුවහල ප්‍රමාණවත්ද?
ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශ්‍ය හා ඊට අනුබද්ධ ප්‍රවර්ධන අංශ, සංචාරක අමාත්‍යාංශය, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය, සෞඛ්‍යය හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයේ ද සහාය අපට නිරන්තරව ලැබෙනවා. මේ වන විටත් අදාළ අමාත්‍යාංශවල කැබිනට් අමාත්‍යවරු රැසක් සිය ධූත මණ්ඩල සමග රුසියාවට පැමිණ තිබෙනවා.

ඔබ මෙහිදී වෙළෙඳ අංශ හැරුණු කොට සෞඛ්‍යය, අධ්‍යාපන හා ආරක්ෂක අමාත්‍යාංශ සහභාගිත්වය විශේෂයෙන් සඳහන් කරන්නට යෙදුණා. රුසියානු සමූහාණ්ඩුව මෙම අංශ සම්බන්ධයෙන් දක්වන්නේ කවර සහයෝගයක්ද?
සෞඛ්‍ය ක්‍ෂේත්‍රය ගත්තොත් ස්වේච්ඡා වෛද්‍යවරුන්ගේ සේවය ලබා ගැනීම මෙන්ම අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග ආනයනය කිරීම පහසු කරවීමත්, රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශය මැදිහත්ව ඇඳන් 500 ක රෝහලක් මෙරට ගොඩනැගීමට අවශ්‍ය සාකච්ඡාත් දැනට ඵලදරා තිබෙනවා.

අධ්‍යාපනය පැත්තෙන් ගත්තොත් වසර 60 ක පමණ සිට සෝවියට් රුසියානු ශිෂ්‍යත්ව තුළින් ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් සමග උපාධිධාරීන් 10000 ක් පමණ බිහිකර තිබෙනවා. එපමණකින් නොනැවතී වාර්ෂිකව ශ්‍රී ලංකා රජයට ලබාදෙන උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රමාණය අඛණ්ඩව ඉදිරියටත් ලබා දීමට එකඟතාව පළ කර තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යාංශය පැත්තෙන් ගත් කළ පසුගිය තිස් වසරක යුද සමය තුළ රුසියානු සමූහාණ්ඩුවෙන් ලද යුද ආධාර අපට අමතක කළ නොහැකි තරම්. ඒ වගේම ඉදිරියේදීත් අවශ්‍ය ආධාර, උපකාර මෙන්ම තාක්ෂණික ආධාර ලබා දීමේ වැඩසටහන් සඳහා යුද හමුදාපතිවරුන් මෙන්ම ආරක්ෂක නිලධාරින් කීප දෙනෙක්ම රුසියාවේ සංචාරය කරමින් අදාළ අංශ සමග එකඟතාවට එළැඹ තිබෙනවා.

මේ වන විට ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රුසියාවේ සංචාරයක නිරතවනවා. මෙමගින් අපට කවර ආකාරයේ ප්‍රතිලාභ ලබේවිද?
ඇත්ත වශයෙන්ම මෙය සුවිශේෂී අවස්ථාවක්. මේ වසර 12 ක කාලයක් රුසියාවේ ජනාධිපතිව සිටින ව්ලැද්මීර් පුටින් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයෙක් මුණගැසෙන පළමු අවස්ථාවයි. එපමණක් නොව එම ආරාධනාව කර තිබෙන්නේ ජනාධිපති පුටින් විසින්මයි. මෙය පැහැදිලි ලෙසින්ම රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක්. ඒ නිසාම අපට විශේෂ වාසි රැසක් අත්කර දෙනවාට සැක නැහැ.

මෙහිදී සංචාරක හා වෙළෙඳ ක්‍ෂේත්‍රයේ වගේම සෞඛ්‍ය, අධ්‍යාපන හා ආරක්ෂක අංශයන්හි අවබෝධතා ගිවිසුම් කීපයකටම එළැඹීමට නියමිතයි. දෙරට අතර වසර 60 කට වැඩි විදේශ සබඳතා තවදුරටත් තහවුරු කරන මෙම සංචාරය ඉතා සාර්ථක එකක් කර ගැනීමට අවශ්‍ය පසුබිම අප විසින් දැනට සකස් කරගෙන යමින් සිටිනවා.

සාකච්ඡා කළේ : වසන්ත අලකේෂ්වර

dfgh