අධ්‍යාපනය දෙවැනි කොට උද්ඝෝෂණය පළමු කර්තව්‍යය බවට පත්කර ගැනීම නිසා විශ්වවිද්‍යාල සිසුන් කෙරෙහි දැන් දැන් සමාජය තුළ ඇත්තේ අපුලකි. එම තත්ත්වයට සමස්තය වගකිව යුතු නැති නමුත් විශ්වවිද්‍යාල සිසුන් ගැන කිසියම් හෝ අනුකම්පාවක් මේ රටේ ජනතාවට තිබුණා නම් එයටද කළු තීන්ත තලියක් උලා ගැනීමේ සිද්ධියක් පසුගියදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් අසන්නට ලැබිණ. එනම් අභිනවයෙන් ඉදිකළ සිසු නේවාසිකාගාරය ලලිත් ඇතුලත්මුදලි ශාලාව නමින් නම් කිරීමට එරෙහිව උද්ඝෝෂණය කරමින් එහි සමරු ඵලකය කඩා බිඳ දැමීමේ සිද්ධියයි. රුපියල් මිලියන 148ක වියදමින් කාමර සියයක් සහිතව මහල් හතරකින් යුත්, සිසුන් 400කට ඉඩ පහසුකම් ඇති, එය පසුගිය 12 වැනිදා සිසු අයිතියට පත්කිරීමට නියමිතව තිබිණි. ඒ අතරතුර මෙය ලලිත් ඇතුලත්මුදලි නමින් නම් කිරීමට විරෝධය පා මහා ශිෂ්‍ය සංගමය උප කුලපතිවරයාට ලිපියක් භාරදී තිබේ. ඒ අනුව ගොඩනැගිල්ල විවෘත කිරීම කල්දමා ඇතත් සිසුන් විසින් ලලිත් ඇතුලත්මුදලි නාමය සහිත සමරු ඵලකය කඩා බිඳ සුනුවිසුනු කර දමනු ලැබිම මෙරට විශ්වවිද්‍යාල පද්ධතියේ හදවතට එල්ල කළ මරු පහරක් වැන්න.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන පේරාදෙණිය ශාස්ත්‍ර පීඨාධිපතිවරයා පවසන්නේ ලලිත් ඇතුලත්මුදලි නමින් නේවාසිකාගාරයක් නොව, විශ්වවිද්‍යාලයක් නම් කළද වරදක් නොමැති බවය. එම සත්‍යය නූතන ශිෂ්‍ය පරම්පරාවේ අවධානයෙන් ගිලිහී ඔවුන් කිසියම් දේශපාලන, පක්ෂ, පාට කණ්ණාඩි තුළින් පුද්ගලයන් දෙස බැලීමේ පටු තැනක කොටුවී සිටීම මෙවැනි සිදුවීම්වල පසුබිම බවට සැකයක් නැත. එබැවින් ලලිත් ඇතුලත්මුදලි ඵලකයට පහර එල්ල කිරීම මුහුණත් එක්ක තරහ වී නහය කපා ගැනීම වැනි අනුවණ තැතකි. ලලිත් ඇතුලත්මුදලි යනු දේශපාලන වාදභේද තුළ සිර නොවී මේ රටේ දුගී දුප්පත් සරසවි ශිෂ්‍ය පරම්පරාවට අධ්‍යාපන අත්වැලක් වනු පිණිස මහ‍පොළ නමැති ශිෂ්‍යාධාර ක්‍රමය හඳුන්වා දුන් නිර්මාතෘවරයාය. මහ‍පොළ නොකඩවා අඩසියවසකට ආසන්න කාලයක් පුරා ලාංකීය විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුළත් වූ ජීවන දුෂ්කරතා සහිත පවුල්වල දූ දරුවන්ට අත්‍යන්තයෙන්ම පිහිට වූ බව කිසිවකුට නැතැයි කිව නොහැකිය.

අදත් විටින් විට ශිෂ්‍යයෝ ‘වෙලාවට මහ‍පොළ දියව්’ හෝ ‘මහ‍පොළ වැඩි කරව්’ යනාදී වශයෙන් උද්ඝෝෂණය කරන්නේ එහි ඇති උපයෝගිතාව අදටත් බිඳක්වත් අඩුවී නොමැති නිසාය. ලලිත් ඇතුලත්මුදලි මහ‍පොළ ආරම්භ කළේ ඒ පිළිබඳ සුළු හෝ ඉල්ලීමක් පවා ශිෂ්‍යයන්ගෙන් මතුවී නොතිබූ වකවානුවකය. තමාම එහි අවශ්‍යතාව හඳුනාගෙන එය අනාගතයේ කිසියම් දිනක නවතා දැමිය නොහැකි පරිදි භාරකාර අරමුදලක් ලෙස නීතිගත කරමින් ඉතා සැලසුම් සහගතවය. කවදත් ඇතැම් දේශපාලකයන් ආවාට ගියාට ඇපෙන් බේරෙන්නට කරන තාවකාලික පැලැස්තර වැඩ මෙන් නොව ඇතුලත්මුදලි මහ‍පොළ නමින් කළ ඒ මහා විස්කම, පින්කම විශ්වවිද්‍යාලයට ඇතුළු වන විටම සිසුන්ට කියා දියයුතු තරම් අගනා පාඩමකි. අනෙක ලලිත් ඇතුලත්මුදලි විශ්වවිද්‍යාල සිසුන්ට මෙම සේවය ඉටුකළේ ඔහු ආණ්ඩුවේ අධ්‍යාපන ඇමැතිවරයා වශයෙන් හෝ නොවන බවද අමතක නොකළ යුතු කාරණාවකි. මහ‍පොළ නමැති වෙළෙඳ ප්‍රදර්ශනය තුළින් ඔහු මෙම ශිෂ්‍යත්ව අරමුදල ගොඩනැගුවේ වෙළෙඳ ඇමැතිවරයා වශයෙන් කටයුතු කරමින් වීම විශේෂය. රටේ දුප්පත්කම දුරැලීමට එකම පිහිට දුවා දරුවන්ගේ අධ්‍යාපනය බව ඔහු අත්දැකීමෙන්ම දැන සිටි බැවිනි.

ඔහු එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ නීති විද්‍යාව හදාරමින් සිටියදී සිය පියා මියගියෙන් තම වියදම් පියවා ගත නොහැකිව අධ්‍යාපනය හැරදා ලංකාවට ආපසු ඒමට සූදානමින් සිටියේය. එය දැනගත් බණ්ඩාරනායක රජය යම් යම් විරෝධතා මධ්‍යයේ වුවත් පාර්ලිමේන්තුවේ විශේෂ පනතක් සම්මත කරමින් ලලිත්ගේ එරට අධ්‍යාපනයේ පිරිවැය දැරීමට භාර ගත්තේය. ඒ ඔහු එහිදී තම රටේ නම ඔසවා තබමින් ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමයේ සභාපති ධුරයට පත්වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා පමණක් නොව, ප්‍රථම ආසියාතිකයාද වී පැහැදිලි අනාගත පෙරනිමිති පළකිරීම වෙනුවෙනි. මහ‍පොළ ක්‍රමය, එම කෘතගුණය වෙනුවෙන් ලලිත් ඇතුලත්මුදලි රටට හඳුන්වා දුන් අනගි දායාදයයි. නූතන සරසවි සිසුන් මෙවැනි පිදිය යුත්තන් පිදීම වෙනුවට ඔවුන්ගේ නාමයට තඩිබෑම කිසිසේත් සමාව දිය හැකි වරදක් නොවේ. ඇතැම් විට හෙට අනිද්දාට පේරාදෙණිය ලොව ඉස්තරම්ම විශ්වවිද්‍යාලයක් ලෙස නිර්මාණය කළ සර් අයිවර් ජෙනිංග්ස්ගේ නාමයටද මෙවැනි ප්‍රහාර එල්ල නොවනු ඇතැයි විශ්වාස කළ හැකිද? ඉතින් අපි විශ්වවිද්‍යාල ‘ශිෂ්‍යයා’ නමින් නඩත්තු කරන්නේ මෙවැනි කළගුණ කෙලෙසන පරපුරක් නම් රටට දෙවියන්ගේම පිහිටය