බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර මහතා අදහස් දක්වන අයුරු

අපි විසි දෙනකු හෝ එක්ව ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණේ ශාඛා කාර්යාල ආරම්භ කරනවා. පසුව එය දෙදහස දක්වා වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය වන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූපයක් පක්ෂ කාර්යාලය ඉදිරිපිට එල්ලා තබා එතැන මේසයක් මත ‍පොතක් සහ පෑනක් තබා යන එක පමණයි. එවිට පාරේ යන කවුරුත් මෙහි සාමාජිකත්වය ගන්නා තත්ත්වයට අද රට පත්ව තිබෙනවා” යැයි බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර මහතා පැවසීය.

පළාත් සභා මන්ත්‍රීවරයා එසේ ප්‍රකාශ කළේ මහරගම නගර මධ්‍යයෙහි එම පක්ෂ කාර්යාලයක් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙය පසුගියදා (19) සන්ධ්‍යාවේදී මහරගම සුපිරි වෙළෙඳ සංකීර්ණය අසලදී සිදු කෙරිණි.

එහිදී පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර මහතා තවදුරටත් මෙසේද පැවසීය.
එදා ජේ. ආර්. ජයවර්ධන පාලන යුගයේදී විජය කුමාරතුංග මහතාගේ ශ්‍රී ලංකා මහජන පක්ෂයට සාමාජිකයන් බැඳුණේ ‍පෝලිමේ ඇවිදින්. ඒ අයුරින්ම අද ජනතාව ‍පෝලිමේ පැමිණ මහින්ද රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ පක්ෂයට බැඳෙනවා. අපේ රටේ ජනතාව කෙළෙහි ගුණ දන්නා ජනතාවක් සිටින රටක්. සිංහල රාජ්‍ය භාෂාව කළ බණ්ඩාරනායක මහතාට, ගොවි ජනපද බිහිකළ ඩී. එස්. සේනානායක මහතාට, නොමි‍ලේ හාල් සේරුව දුන් ඩඩ්ලි සේනානායක මහතාට, ඉඩම් ජනසතු කළ බණ්ඩාරනායක මැතිනියට මෙන්ම ගෙවල් හැදූ ප්‍රේමදාස මහත්තයටත් මිනිසුන් අදත් කෙළෙහි ගුණ දක්වමින් පින් දෙනවා.

ඒ එතුමන්ලා මිය පරලොව ගොස් ඇති නිසයි. එවන් ජනතාවක් රට ත්‍රස්තවාදී යුද්ධය නිසා වසර තිහක් බැටකමින් සිටියදී එයින් රට මුදාගත් මහින්ද රාජපක්ෂ මහතාට කෙළෙහි ගුණ පළකරන්නේ පින් දීමෙන් පමණක්ම නොව යළි මේ රටේ පාලන බලය ඒ මහතාට ලබා දෙමින්. එහිදී බණ්ඩාරනායක පවු‍ලේම චන්ද්‍රිකා නෝනා රනිල් වික්‍රමසිංහගේ ලණුවක් ගිලලා. මෛත්‍රීපාල සිරිසේන අපේ ජනාධිපතිතුමා ද සමග අපේ පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂයට අනූනව අවුරුද්දකට බදු දී ඇති නිසා අපට ශ්‍රී ලංකා ‍පොදු ජන පෙරමුණ නමින් පක්ෂය පිහිටුවීමට සිදු වුණා.

මහින්ද රාජපක්ෂ මහතා බණ්ඩාරනායක මහතාට සහ මැතිනියට ඇති ගෞරවය නිසාම නව දේශපාලන පක්ෂයටත් ශ්‍රී ලංකා යන නාමය එක් කරගත්තා. එදා බණ්ඩාරනායක මහතා එක්සත් ජාතික පක්ෂ රජයෙන් ඉවත්ව යන විට එතුමා පසුපසින් ගමන් කළ ඩී. ඒ. රාජපක්ෂ මහතාගේ පුත් මහින්ද රාජපක්ෂ මහතා එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනතාව අතරට ගෙන ගිය ආකාරයෙන්ම නව පක්ෂය ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ පක්ෂයද ජනතාව අතරට ගෙන ගොස් එළැඹෙන මහ මැතිවරණය කොට්ඨාස මට්ටමින් පැවැත්වෙන නිසා එහිදී එක්සත් ජාතික පක්ෂය යළිත් ආසන අට දක්වා පසු බස්සනවා. පනස් හයේදී බණ්ඩාරනායක මහතා කළ පරිදිම එළැඹෙන මහ මැතිවරණයේදී ප්‍රධාන පක්ෂ දෙකම අප ආසන අට දක්වා පහතට බස්සනවා.

ඒ අනුව ලබන මහ මැතිවරණයේදී නෙළුම් ‍පොහොට්ටුව ඡන්ද ලකුණ ඉදිරියේ කතිරය ගසන බැවින් අලියා සහ බුලත් කොළය ඉදිරියේ කතිරය ගසන කෙනෙකු සොයාගැනීමට බැරි වේවී.

මෙහිදී මහරගම නගර සභාවේ හිටපු සභාපති කාන්ති කොඩිකාර මහත්මිය ද අදහස් පළ කළාය. මෙම නව පක්ෂ ශාඛා කාර්යාලය විවෘත කිරීම මහරගම වෙළෙඳ ව්‍යාපාරික කේ. ජී. සුගතපාල මහතා සංවිධානය කර තිබූ අතර එහි ජංගම වෙළෙඳ ව්‍යාපාරික සිරිසේන පෙරේරා ඇතුළු නව පක්ෂයේ සාමාජිකයන් කිහිප දෙනක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ගාමිණී සරත් ගුණවර්ධන – මහරගම