“මේ රටේ කෑගහන සිවිල් සංවිධානවල මහත්වරුන්ගේ බඩට තට්ටු කළොත් කෑගහන්නේ ඩොලර් ඩොලර්, යුරෝ යුරෝ්, කියලා” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පසුගිය දා බණ්ඩාරගම දී පැවසීය.

බණ්ඩාරගම ප්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමින් රෝහිත අබේගුණවර්ධන මහතා තවදුරටත් මෙසේ ද පැවසීය.

2015ට පෙර මේ සිවිල් සංවිධාන පිහිටුවා ගත්තේ රටට ආදරය ඇතිව ‍නෙවෙයි. මේ සිවිල් සංවිධාන මහත්තුරුන්ගේ නෝනලාගේ ඡන්දත් ලැබුණේ මහින්ද මහත්තයට.

පවුල්වල ඡන්දත් මහින්ද මහත්තයට. මෙයාලා කෑගහන්නෙ ඩොලර්වලට, යුරෝවලටයි. ඒවයින් දැන් බඩවල් පිරිලා. තව මදිවෙලා ව්‍යවස්ථාවට කෑගහනවා. හිරිකිත නැති මේ සිවිල් සංවිධාන හැදුණේ හංසයාව සහ යහපාලන ආණ්ඩුව ගේන්නයි.
නමුත් මෙයාලට මේවා වමාරන්න වෙන දවස ඉතා ළඟයි.

මේ ආණ්ඩුවේ කෝකටත් තෛලය ව්‍යවස්ථා සංශෝධනයයි. මහනායක හිමියෝ ළඟට ගියත්, කවුරු හරි ආවත් වෙන රටකට ගියත් කියන්නේ අපි මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න යනවා කියනවා. මේ තියෙන එකෙන් මොනවත් කරන්න බැරිලු. මේ ආණ්ඩුවට ව්‍යවස්ථාව නයයි මුගටියයි වගේ වෙලා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට අපි අහන්නේ ගේනවා කියන ව්‍යවස්ථාව පෙන්වන්න කියලයි. පළාත් ටික වෙන වෙනම කඩනවා. පළාත්වල අයට වෙන වෙනම ජීවත් වෙන්න ඉඩ දෙනවා. ස්වයං පාලනය දෙනවා, ඉඩම්, ‍පොලිස් ආදී සියලු බලතල දෙනවා කියලා මේක පෙන්වන්න. එහෙම පෙන්වන්නේ නැතුව වටේ යනවා.

මේ ළඟදි බළලා මල්ලෙන් එළියට පැන්නා. වික්‍රමසිංහ මහත්තයා කියනවා පළාත් සභා මන්ත්‍රීතුමාලා හැමදෙනාම බලය වැඩිපුර ඉල්ලනවා කියනවා. හැබැයි උතුරේ බෙදන්නේ වෙන හමක් දාගෙන ඉන්න කොටියටයි. ඒගොල්ල වෙනම පාලනයකට, රට බෙදන ව්‍යවස්ථාවක් මේ අය ගෙනල්ලා තියෙනවා. මේ ආණ්ඩුව හදන්නේ ලංකාව ෆෙඩරල් රාජ්‍යයක් කරන්නයි. එකට ජීවත් වූ ජනතාව බෙදලා වෙන් කරන්න උත්සාහ කරනවා. ආණ්ඩුව කැමැති මිනිස්සු ටික වෙන් කරලා බෙදලා තියන්නයි. ඡන්ද මල්ල ලැබෙන්නේ එහෙම තිබ්බමයි.

තව දින කීපයකින් උදාවෙන සිංහල අලුත් අවුරුද්දට අඩුවක් නැතුව අපමණ අගය ලැබිලා තියෙනවා. හංසයාට කතිරේ ගහපු අයට කුකුළු මස්, සීනි පාලන මිලක් නැති නිසා හොඳට කන්න පුළුවන්. මෙදා කන්න වෙන්නේ හාල් නමෛයි දෙයියන්ගේ හාල්. හාල් හොයාගන්න බැහැ. රුපියල් 5000කට ෂොපින් බෑග් එකකින් බාගයක බඩු ගන්න බැහැ. රටේ ආර්ථිකය කඩාවැටිලා. ව්‍යාපාරිකයෝ නන්නත්තාර වෙලා ගිහිල්ලා.

මේ මොනවා වුණත් කමක් නැහැ. ඇමැතිවරුන්ට රුපියල් කෝටි ගණන්වලින් වාහන ගේනවා. අපි රජය භාර දෙනකොට අමාත්‍යාංශවල වාහන තිබුණේ නැද්ද? ඒ වාහන දීලා ආවේ. ඇමැතිවරු ඒ වාහන ගෙදර අරගෙන ගියේ නැහැ. හැබැයි අධි සුඛෝපභෝගී වාහන හොයනවා. එක ඇමැති කෙනෙක් කියනවා එයාට ෆෝවීල් නැතුව යන්න බැහැ කියලා. හෙට අනිද්දා වෙනකොට මේ ආණ්ඩුවට යන්න වෙන්නේ ත්‍රීවීලර් එකෙනුයි. රට කාලා විනාශ කළ මේ ගෝලබාලයෝ නායකයෝ සමග ත්‍රීවීලර්වල යවන්න ඕනෑ.

ජිනීවාවල මානව හිමිකම් කවුන්සලය රැස්වෙනවා. ඡන්ද තියන්නේ නැති, ඒකාධිපති වියරුවට ගිය, ආර්ථිකය කඩා වැටුණු රටක් බවට පත්වෙලා තියෙනවා. අපි ජිනීවා යනවා. යුරෝපයේ ඉන්න සියලු ශ්‍රී ලාංකිකයෝ ජිනීවාවලට එකතු කරනවා. මේ රටේ සිදුවන අසාධාරණකම් ටික ඇහැ ඇරලා බලන්න කියලා ජිනීවාවලට රැස්වන නායකයින්ට කියන්න අපි ජිනීවාවලට යනවා.

අගමැති කියන්නේ ඉන්දියාවේ මෝදිගේ ක්‍රමය වගේ ඡන්ද තියන්නේ නැහැ කියලා. ඡන්ද තියන්න ඕනෑ පාලන කාලය අවසන් වන දිනයට. ඒක අගමැතිට අවශ්‍ය දවසක නමෛයි. මේගොල්ල හිට්ලර්ට එහා ගිහිල්ලා. කොහොම කිව්වත් මේ ආණ්ඩුව දියයට සඟවපු රබර් බෝලෙ වගෙයි. ආණ්ඩුව පුපුරන දවස මේ කවුරුත් දන්නේ නැහැ.
වයි. ආරියතිලක – බදුරලිය