ශ්‍රී ලංකා කාන්තා රග්බි ක්‍රීඩාවේ ගමන්මග පැහැදිලි වෙනසකට ලක් කිරීමට සමත් වූ රන්දිකා කුමුදුමලීගේ නායකත්වයෙන් යුතුව මැ‍ලේසියාවේ පැවැති බෝනියෝ සෙවන්ස් රග්බි තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායම එහි ශූරතාව දිනා ගන්නට සමත් වූවාය.

මෙම තරගාවලියේදී අයේෂ් පෙරේරා, තනූජා වීරක්කොඩි, දසුනි සිල්වා, අනූෂා අත්තනායක හා නායිකා රන්දිකා කුමුදුමලී උත්සාහක දිනුම් වාර්තා කිරීමේදී ඉහළම දස්කම් දක්වනු ලැබිය.

ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායම පළමුවරට බෝනියෝ සෙවන්ස් රග්බි ශූරතාවට හිමිකම් කියන්නට සමත් වූවාය.

මීට පෙර ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායම ආසියානු කලාපීය සත් සාමාජික තරගාවලියේදී පරාජය කරන්නට අ‍පොහොසත් වූ තායිලන්ත පිල මෙවර මූලික වටයේදී හා අවසන් තරගයේදී වශයෙන් දෙවරක්ම පරාජය කරන්නට සමත් වීම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අත්පත් කරගෙන ඇති ප්‍රගතිය පැහැදිලි කිරීමක් ලෙස සඳහන් කළ හැකිය.
මෙම තරගාවලියේ අවසන් තරගයේදී ලකුණු 12-05ක් ලෙස තායිලන්තය පරාජය කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මූලික වටයේදී ද ලකුණු 26-05ක් ලෙස තායිලන්තය පරාජය කර තිබිණි.

මීට අමතරව ඔවුන් අවසන් පූර්ව තරගයේදී මැ‍ලේසියාව ලකුණු 29-05ක් ලෙසත්, මූලික වටයේ තවත් තරගයකදී සාබා ඊගල්ස් කණ්ඩායම ලකුණු 48-00ක් ලෙසත් පරාජය කොට අපරාජිතවම ශූරතාව දිනාගන්නට සමත් විය.

මෙම තරගාවලියට සහභාගි වූ කණ්ඩායම් අතර අඩු පහසුකම් සහිතව පුහුණු කටයුතුවල නියැළුණු ශ්‍රී ලංකා පි‍ලේ ක්‍රීඩිකාවන්ගේ කැපවීම කණ්ඩායමේ පුහුණුකරු සුදත් සම්පත් ඇගැයීමට ලක් කළේය.

‘ඇත්තෙන්ම දැන් අපේ ක්‍රීඩිකාවන්ගේ ශීඝ්‍ර වර්ධනයක් දකින්නට තියෙනවා. පෙරට වඩා ඔවුන්ගේ ක්‍රීඩා විලාසයන් වෙනස්වෙලා. ඔවුන්ගේ ආකල්පවලත් පැහැදිලි වෙනසක් දකින්නට ලැබෙනවා. මේ සාර්ථක ප්‍රතිඵලයට ඒ සියල්ලම බලපෑවා’ යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

මේ අතර මෙම තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම සත්කාරක මැ‍ලේසියාව 26-05ක් ලෙස පරාජය කර ඇතත් සෙසු තරගවලදී ජයග්‍රහණ අත්කර ගැනීමට අ‍පොහොසත් වී ඇත.

බෝනියෝ සෙවන්ස් කිරුළ දිනාගත් ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායම
රන්දිකා කුමුදුමලී-නායිකා, අනූෂා අත්තනායක, අයේෂා පෙරේරා, චරනි ලියනගේ, දසුනි ද සිල්වා, අයේෂා කලුආරච්චි, දුලානි පල්ලිකොඳගේ, නදීකා මුණසිංහ, තනූජා වීරක්කොඩි, සංජීවනී ද සිල්වා, වාසනා වීරක්කොඩි