බංග්ලාදේශ ක්‍රිකට් පිලට ලබාදුන් ලකුණු 191 ක ජයග්‍රාහී ඉලක්කය ප්‍රමාණවත් යැයි සිතුවද ඔවුන් පස්වැනි දිනයේ දිවා භෝජනයෙන් පසුව ලකුණු අතරට යෑම නිසා තරගය ගිලිහී ගිය බව ශ්‍රී ලංකා නායක රංගන හේරත් පවසයි.

ඇත්තටම බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය වඩාත් අභියෝගයක් වනු ඇතැයි මම මුලදීම ප්‍රකාශ කළා. ඔවුන් දැන් සෑහෙන දුරට ප්‍රගතියක් ලබා සිටින කණ්ඩායමක්. මීට පෙර හොඳ පිතිකරු සබඳතාවයක් ඇතිවන විට බංග්ලාදේශ පිලට එම පීඩනය දරා ගැනීමට හැකියාව තිබුණෙ නැහැ. ඒත් දැන් ඔවුන් හොඳින් සැලසුම් කරමින් දක්ෂ ලෙස තරගයට අවතීර්ණ වන බව රංගන පැවසීය.

මට හිතෙන්නේ මෙම තරගයේ තීරණාත්මක සාධකය වුණේ ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ මැද පෙළ බිඳවැටීමයි. උපුල් තරංග දැවීයාමෙන් පසුව දිමුත් කරුණාරත්න හා කුසල් මෙන්ඩිස් හොඳින් දෙවැනි ඉනිම ගොඩනැගුවා. ඒත් මෙන්ඩිස් දැවීයාමෙන් පසුව කඩුලු 4ක් ඉක්මනින් බිඳීයාම තුළ පසුබැසීමක් ඇතිවුණා යැයි රංගන හේරත් පැවසීය.

විශේෂයෙන් ගාල්ලේ තරගයේදී අපි ප්‍රථම ඉනිමේ ලකුණු 500 සීමාවට ළඟාවීම නිසා ලොකු වාසියක් වුණා. මේ තරගයේදී එසේ වුණේ නැහැ. අනෙක් අතට පන්දු රැකීමේදී සිදුවන දුර්වලතාවය විශේෂයෙන් ප්‍රථම ඉනිමේ ශතකයක් ලැබූ සකීබ් අල් හසන් ලකුණු 11දී දුන් උඩපන්දුව තරංග අතින් ගිලිහී යාම ලොකු පාඩුවක් වුණා. කොහොම වුණත් මේක තමාට ලැබුණු ලොකුම අමිහිරි අත්දැකීම බව ද රංගන මතක් කළේය. මේ අතර රංගන හේරත් තරගයේ විනිසුරු තීරණ ගැන ඇසූවිට පැවසුවේ මීට වඩා තාක්ෂණයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට හැකි නම් එය වඩාත් හොඳ බවයි.

කෙසේ වුවත් සිදුවූ අඩුපාඩු නිවැරදි කොට තුන් ඉරියව් දක්ෂතා අතරට නැවතත් කණ්ඩායම අවතීරණ විය යුතු බවරංගන පැවසුවේය.

පස්වැනි දිනයේ ලකුණු හඹායෑම පහසු කාර්යයක් නොවුනද තමීම් ඉක්බාල් සහ සබිර් හසන් තෙවැනි කඩුල්ලට ලකුණු 109ක සබඳතාවක් තැබිම තුළ ඉලක්කය කරා යෑමට පහසු වූ බව බංග්ලාදේශ ක්‍රිකට් පි‍ලේ නායක මුෂ්ෆිකාර් රහීම් පැවසීය.

ඇත්තටම මේ තරගයේ වටිනාකම කුමක්ද කියා අපි හොඳින් හඳුනාගෙන සිටියෙ. අපි දැනගෙන හිටියෙ ‍පොඩියට සිදුවූ වැරදි තමයි කියා අවසානයේ තරගයට බලපෑමක් ඇති කරන්නේ. කොහොම වුණත් අපේ පිතිකරුවන් වගේම පන්දු යවන්නන්ද වඩාත් වගකීමෙන් ක්‍රීඩා කළ බව කිවයුතුයි. සකීබ් අල් හසන් ප්‍රථම ඉනිමේ ලකුණු 116 ක් ලැබුවා. ඒවගේම ශ්‍රී ලංකා දෙවනි ඉනිමේ මුස්ටෆිසූර් රහමන්ගේ පන්දු යැවීම තුළ මැදපෙළ පිතිකරුවන්ට ලොකු පීඩනයක් ලබාදීමෙන් කඩුලු ඉක්මනින් දැවී ගියා.

කොහොම වුණත් සියවැනි ටෙස්ට් තරගය ඓතිහාසික ජයග්‍රහණයකින් කෙළවර කිරීමට හැකිවීම සතුටක් බව රහීම් පැවසීය.

ධම්මික රත්නවීර
ඡයාරූප – ඉෂාර .එස්. කොඩිකාර – Cricinfo