අත්තම්මාගේ මරණය සැකසහිත බව කියමින් මුණුබුරන් අතර ඇති වුණු ගැටුමකින් පුද්ගලයන් නව දෙනෙකුට තුවාල සිදුවීමේ පුවතක් මඩකළපුව, කාන්තාන්කුඩි පොලිස් වසමේ ආරයම්පදි කර්බලා ගම්මානයෙන් වාර්තා වේ.

ආරයම්පදි කර්බලා ගම්මානයේ, කාලි කෝවිල් විදියේ පදිංචිව සිටි කන්දසාමි සල්වමණි නැමැති 74 හැවිරිදි කාන්තාව පසුගිය සෙනසුරාදා මරණයට පත්වී ඇති අතර ඇයගේ මරණය සැක සහිත බව කියමින් මුණුබුරන් කණ්ඩායම් දෙක අතර ඊයේ (19) ගැටුම ඇති වී තිබේ.

මෙම ගැටුමේ පිහි පහරවලට ලක් වීමෙන් පුද්ගලයන් නව දෙනෙකු තුවාල ලැබූ අතර ඔවුන් සියළුම දෙනා ප‍්‍රතිකාර පිණිස ආරයම්පදි මූලික රෝහලට, මඩකළපුව ශික්ෂණ රෝහලට සහ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

තුවාල ලැබූ පිරිස අතර ගර්භණී කාන්තාවක්ද සිටින අතර ඇය ආරයම්පදි මුලික රෝහලට සහ අනෙක් පිරිස මඩකළපුව රෝහලටද ඇතුළත් කර තිබේ.

එයින් අසාධ්‍ය තත්වයේ සිටින තුවාලකරුවෙකු කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇත.

මියගිය කාන්තාවගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කරන ලෙස හදිසි මරණ පරීක්ෂකවරයා විසින් නියෝග කිරීමෙන් පසුව දේහය මඩකළපුව රෝහලට ගෙන ගොස් තිබේ.

කාන්තන්කුඩි පොලීසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරයි.

ජවුෆර්කාන්- මඩකළපුව

m2m3m4m5m6m7