දුෂ්කර ඉස්කෝලයක් කී සැණින් අදත් අපේ මනස ඉදිරියේ ඇඳෙන්නේ ඉලුක්, මානා හෙවිලි කළ වරිච්චි බිත්ති බැඳ කටුමැටි ගැසූ බිමට මැටි පිරිමැද ගොඩනැගිලිවලින් යුත්, ඉඩෝරයෙන් වතුර සිඳුණු මොනරාගල නැත්නම් මන්නාරම පැත්තේ ඉස්කෝලයකි. එහෙමත් නැත්නම් අධික සීතලෙන් බැටකන කැලෑවක් අද්දර වූ කඳුකර ගමක ඉස්කෝලයකි.

මේ කියන විදිහේ තැනක් ඉගෙන ගන්නට ළමයිනුත් නැති උගන්වන්නට ගුරුවරුනුත් නැති දුෂ්කර පාසලක් සොයා ගන්නට ඒසා දුරක් යායුතු නැත. කොළඹ කොටුව මධ්‍යම බස්නැවතුම්‍පොළ අසලින්ද කොළඹ අලුත්කඩේ උසාවි සංකීර්ණය අසල මිහිඳු පුරයෙන්ද, මෝදරින්ද, මට්ටක්කුලියෙන්ද, කොටහේනෙන්ද මතු නොව කොල්ලුපිටියෙන්ද, තිඹිරිගස්යායෙන්ද සොයා ගත හැක්කේය.

ඉහත කී මොනරාගල, මන්නාරම ආදී පළාත්හි මෙන් නොව මෙම පාසල්වලට යන්නට තාර දමා කාපට් කළ පාරවල් තිබේ. පාසල ළඟින්ම ගොස් බසින්නට බස් තිබේ. පාසල්වල ඕන තරම් ගොඩනැගිලි තිබේ. ඇතැම් පාසල්වලට විශාල ක්‍රීඩාංගණ ද තිබේ. ඒත් ඒවා දුෂ්කර පාසල්ය. ඒ නිසාම මේ පාසල්වලට එන්නට ගුරුවරුන්ද මැළිය. දරුවන් ඇතුළත් කිරීමට දෙමාපියන්ද මැළිය. ඒ නිසා මේවා දවසින් දවස වළපල්ලට යන ඉස්කෝලය.

දැන් මෙරට පාසල් විෂය මාලාවට ක්‍රීඩාව අනිවාර්ය කර ඇත. පාසල් දරුවකු අඩුම මට්ටමෙන් ක්‍රීඩා දෙකකට හෝ සහභාගි විය යුතුය යන්න නීතියකි. ඈත එපිට මොනරාගල, හම්බන්තොට, මන්නාරම, පස්සර, වියලුව දුෂ්කර පාසල්වල සිසුන් ක්‍රීඩා කරන්නට ආසා කරතත් ඔවුන්ට ක්‍රීඩා කරන්නට පිට්ටනි නැත. ඒත් මෝදර, මට්ටක්කුලිය, කොටහේන වැනි උතුරු කොළඹ බොහෝ පාසල්වල විශාල පිට්ටනි ඇතත් ක්‍රීඩා කරන්නට පාසල්වල දරුවන් නැත.

අද දවසේ කොළඹ නගරයේ නොව දුරබැහැර පළාත්වල සිසුන්ද පාසලට එන්නේ සුදු ඇඳ සපත්තු මේස් පයලාගෙනය. ඉහත කී කොළඹින් දුරබැහැර පාසල්වල ළමයින්ට සපත්තු මේස් නැත. ඔවුහු නිරුවත් දෙපයින් පාසල් එති. නැත්නම් පරණ රබර් සෙරෙප්පු කුට්ටමකින් සැනසෙති. ඔවුන්ගේ දෙමාපියෝ පාවහන්වලට වියදම් කරන්නට තරම් කාසි ඇත්තෝ නොවෙති. කොළඹ නගර සභා බල ප්‍රදේශයට යටත් තොටළඟ, මෝදර, කොටහේන, මට්ටක්කුලිය වැනි ප්‍රදේශවල දරුවෝද රබර් සෙරෙප්පු කුට්ටමකින් යන්තම් පය සනසාගෙන පාසල් එති. ඔවුන්ගේ දෙමාපියන්ටද ඇත්තේ අර ඈත එපිට ප්‍රදේශවල දෙමාපියන්ට ඇති මුදල් ප්‍රශ්නමය.

ජාතික ගුරු සංගමයේ සභාපති  ජෝෂප් ස්ටාලින්
ජාතික ගුරු සංගමයේ සභාපති
ජෝෂප් ස්ටාලින්

ජාතික ගුරු සංගමයේ සභාපති ජෝෂප් ස්ටාලින් මහතා කියන පරිදි බස්නාහිර පළාතේ අධ්‍යාපන කලාප එකොළහ අතරින් ගම්පහ සහ හෝමාගම කලාපවල ඇත්තේ ගුරු අතිරික්තයකි. බස්නාහිර පළාතේ ගුරු සිසු අනුපාතය (1:18) එකට දහඅටකි.

එනම් එක ගුරුවරයකුට සිසුන් දහ අටකි. ඒත් රටේ අගනුවර යැයි කියන කොළඹ කලාපයේ ගුරු හිඟය දෙසීය ඉක්මවා ඇත. ආනන්ද, නාලන්ද, ඩී. එස්., රාජකීය, දේවි බාලිකා, විශාකා වැනි පාසල්වල ගුරු අතිරික්තයක් පවතිද්දී උතුරු කොළඹ, හා මැද කොළඹ කොට්ඨාසයට අයත් පාසල්වල ඇත්තේ ගුරු හිඟයකි. මෙකී පාසල්වල වසර දහය ඉක්මවා සේවය කරන ගුරුවරුන් ඇතත් ඔවුන්ට මාරුවීමක් ලබාගැන්මට බැරිය. හේතුව අනුප්‍රාප්තිකයන් නොමැතිකමය.

කොළඹ රාජකීය ආනන්ද, නාලන්දා, විශාඛා වැනි පාසල්වලට පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කර ගැනීමට මාපියෝ නොවිඳනා දුක් විඳිති. විවිධ උපක්‍රම යොදති. විවිධ අන්දමේ බලවතුන්ට විවිධ අන්දමේ අල්ලස් පුදති. එසේ දුෂ්කර ක්‍රියාවකින් පසුව සුපිරි පාසලකට තම දරුවා ඇතුළු කර ගනිද්දී කොටහේන ජනාධිපති විද්‍යාලයේ ගුරු මණ්ඩලයද පසුගිය ජනවාරියේදී බොහොම අමාරුවෙන් දරුවන් හය දෙනකු තම පාස‍ලේ පළමු ශ්‍රේණියට කැඳවා ගත්හ. ඒ දෙමාපියන්ගේ දෙපතුල ළඟට ගොස් ඉල්ලීම් කරමිනි.

කොටහේන ජනාධිපති විද්‍යාලය පමණක් නොව ගුණසිංහපුර බස් නැවතුම අසල ඒ. ඊ. ගුණසිංහ විද්‍යාලයේද තත්ත්වය එසේය. ඒ පාසලටද ජනවාරියේ පළමු ශ්‍රේණියට ළමයින් බඳවා ගන්නට ලැබුණු අයැදුම්පත් ප්‍රමාණය අතේ ඇඟිලි ගණනට මඳක් වැඩි ගණනකි.

පාස‍ලේ ගුරු මණ්ඩලය අසල පාසල්වලට ගෝස් මේ පාසල්වලින් ප්‍රතික්ෂේප වූ දරුවන්ගේ දෙමාපියන් හමුවී යන්තම් ළමයින් තිස් පස්දෙනකු පළමු ශ්‍රේණියට සොයා ගෙන ඇත්තේය. මිහිඳුපුර මිහිඳු විද්‍යාලයේ තත්ත්වයද එයමය. ජනවාරියේ එම පාසලට ඇතුළත්වූ සිසුන් ගණන ද හයකි. කොල්ලුපිටියේ ශාන්ත අන්තෝනි පාසලට ජනවාරියේ පළමු ශ්‍රේණියට ඇතුළත් වූ සිසුන් ගණන දොළහකි.

මිහිඳු විදුහල ඇත්තේ කොළඹ නගරයේ හදවත බඳු පිටකොටුවේ ගුණසිංහපුර අසලය. 1952 දී ආරම්භ කළ එම විදුහ‍ලේ භූමි ප්‍රමාණය අක්කර එකහමාරකි. දෙමහල් ගොඩනැගිලිය. ගුරු නිවාසය. කලක් නවසියයක් පමණ වූ සිසු සිසුවියන්ට ආඩම්බරයෙන් සෙවණ දුන් පාසල අද සිසුන් එකසිය හැත්තෑවකට කෙට්ටු වී ඇත්තේය.

පිටකොටුවේම ගුණසිංහපුර බස් නැවතුම්‍පොළ අසල ඒ. ඊ. ගුණසිංහ විදුහ‍ලේ ඇති ඉඩකඩ අනුව දරුවන් දහසකට පමණ අධ්‍යාපනය ලද හැක්කේය. ඒත් අද එහි සිසු සංඛ්‍යාව එකසිය හතළිස් තුනකි. කොළඹ පුරා මෙවැනි පාසල් විසිපහකට මඳක් වැඩිය.
කොළඹ නගරයේ සුපිරි පාසල්වල පිහිනුම් තටාක ඇත්තේය. ක්‍රිකට්, රගර්, හොකී, බාස්කට් බෝල් වැනි ක්‍රීඩා ඇත්තේය. ඒත් කොළඹ නගරයේම ඇති අපි කියන ජාතියේ ඉස්කෝලවලට මේ කිසිම දෙයක් නැත්තේය.

මේ ඇතැම් සිසුවෙක් පිහිනුම් තටාකයක් පියවි ඇසින් නම් දැක නැත්තේය.
මෙම පාසල්වල සිසු සංඛ්‍යාව මේ තරම් පහළ බසින්නට හේතු වී ඇත්තේ දෙමාපියන් ජනප්‍රිය පාසල් හඹා යෑමම නොවේ. දෙමාපියන්ගේ ඇති නූගත්කම හා දුප්පත්කම ජුවම ඒ කෙරෙහි වූ පළමු සාධකය වී ඇත්තේය.

මේ ඉස්කෝලවල ඉන්න හුඟක් ළමයි බිඳුණු පවුල්වල දරුවන්. එක්කෝ ඒ අයගේ අම්ම නැහැ. නැත්නම් තාත්තා නැහැ. එක්කෝ මේ දෙන්නගෙන් එක්කෙනෙක් හිරේ නැත්නම් දාල ගිහිල්ලා. එක කාන්තාවට තාත්තලා දෙන්න තුන්දෙනාගෙ ළමයි ඉන්නවා. හුඟක් ළමයි හැදෙන්නේ ආච්චිලා ළඟ. ආච්චිලා කිව්වට ඒ ආච්චිලත් වයස තිස්පහේ හතළිහේ ආච්චිලා. සමහර තැන්වල පුතයි, මාමයි, බෑනයි ඒ කිව්වේ පුතයි.

අම්මගෙ මල්ලියි එකම පන්තියෙත් ඉන්නවා යැයි එක්තරා පාසලක ගුරුමහතෙක් අප සමග පැවසීය.

තත්ත්වය මෙසේ වුවත් මේ පාසල්වල දරුවන්ටද ආත්ම ගෞරවයක් ඇත්තේය.
තාත්තා හිරේ විලංගුවේ වැටුණ දරුවෙකුගෙන් තාත්තා කෝ යැයි ඇසුවහොත් ‘දුර පළාතක රස්සාවට ගියා’ යැයි කියයි. අම්මා තාත්තා වෙන් වුණ දරුවෙකුගෙන් ඇසුවහොත් පිළිතුර ‘රට ගියා’ යන්නයි.

මේ පාසල්වලට ඇතැම් දරුවන් එවන්නේ ඔවුන්ට උගන්වන්නට අවැසි නිසාම නොවේ. ගෙදර තියාගන්නට බැරිකම නිසාය. වරුවක් හෝ ඔවුන්ගෙන් මිදෙන්නට හොඳම ක්‍රමය පාසල නිසාය.

වැස්සකටවත් ඉස්කෝලෙ නොගිය එකා යැයි අපි ඇතැමුන්ට අපහාස කළත් මෝදර, මට්ටක්කුලිය පැත්තේ කිසිම දරුවෙකුටවත් එසේ අපහාස කිරීමට කාටවත් නොහැකිය. මක් නිසාද ඒ දරුවන් අනික් දවස්වලට කෙසේ වෙතත් වැස්ස දවස්වලට නම් අනිවාර්යයෙන්ම පාසල් එන නිසාය. සුළු වර්ෂාවකදී පවා ගෙවල් දොරවල් යටවෙන නිසා ඔවුහු වැසි අධික කාලයට නම් අනිවාර්යයෙන්ම පාසල් එන්නේය.

නිදහස් අධ්‍යාපනය කියලා කිව්වට මේ ඉස්කෝලවල දරුවන්ට කොළඹ ඔය අනිත් ඉස්කෝලවල දරුවන්ට වගේ සම අවස්ථාවක්, සම අයිතීන්වත් ලැබෙන්නේ නැහැ. එක් පාසලක විදුහල්පතිවරයෙක් අප සමග පැවසීය.

මේ ඉස්කෝලවල ළමයින්ට ඉදිරි අපේක්ෂාවක් නැහැ. හේතුව අපේක්ෂණ මට්ටමක් නැතිකම තවත් පාසලක විදුහල්පතිවරයෙක් මේ පාසල්වල දරුවන්ගේ තත්ත්වය පැහැදිලි කළේ එසේය.

මම උදාහරණයක් කියන්නම්. අපේ ඉස්කෝලෙට පාඨශාලා පරීක්ෂකවරියක් ආවා. එතුමිය හතේ පන්තියෙ එක දරුවෙකුගෙන් ඇහුවා ලොකුවෙලා මොනවද කරන්නෙ කියලා. ඒ දරුවා එකපාරටම කිව්වා මම තට්ටුවක් දානවා කියලා. අර නිලධාරිනියට මේ කතාවේ තේරුම මොකක්ද කියලා හිතාගන්නවත් බැරිවුණා. ඒ ළමයගෙ වටපිටාවේ අය කරන්නේ පේව්මන්ට් බිස්නස්. ඒ ළමයි කිව්වේ ලොකු වුණාම පේව්මන්ට එකේ බිස්නස් කරනවා කියන එකයි. ඒ ළමයින්ගේ අපේක්ෂණ මට්ටම (අනාගත බලා‍පොරොත්තුව) එතැනයි.

කොළඹ මතු නොව ගම්බද විදුහල්වලට පවා අද පරිගණක විද්‍යාගාර තිබේ. ඒත් මේ පාසල්වලට ඒ පහසුකම් නැත.

කොළඹ මිහිඳු විද්‍යාලයට එක්තරා පෞද්ගලික සමාගමකින් අංගසම්පූර්ණ පරිගණක කට්ටල් හයක් ලැබි දැනට මාස හයකටත් වැඩිය. දරුවෝ පරිගණක ඉගෙන ගැනීමට ආසාවෙන් බලා සිටිති. ඒ සඳහා ගුරුවරයෙකු ලබා දෙන්නැයි අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා සිටියත් අද වෙනතුරුත් ඒ ඉල්ලීම ඉටු වී නැත. මේ දරුවන්ට සම අවස්ථාව ලැබි ඇත්තේ එසේය. ඔවුන්ට හැමදාමත් කුඩම්මාගේ සැලකිලිය.

කොළඹ බෞද්ධ බාලිකා විද්‍යාලයේ ගුරුවරුන් සිසුවියන් සමග පිරිසක් වරක් මිහිඳු විද්‍යාලයට පැමිණියහ. ඒ අවස්ථාවේදී මිහිඳු විදුහ‍ලේ ශිෂ්‍යයෙක් ගීතයක් ගායනා කළේය. ඒ ගැන පැහැදුණු බෞද්ධ බාලිකාවෝ එම සිසුවාට සංගීතය පිළිබඳ විශාරද උපාධිය දක්වා ඉගෙන ගැනීමට සියලු පහසුකම් සපයා දීමට ඉදිරිපත් වූවෝය. ඒත් ඒ සිසුවා එතැන් සිට මාස දෙක්ක ගියතැන පාසල් ගමන අත්හැර දැමුවේය.

ඕක මේ ළමයින්ගෙ හැටි. ළමයින්ට විතරක් ‍නෙවෙයි දෙමාපියන්ටත් ළමයින්ව ඉස්කෝල එවන්න වුවමනාවක් නැහැ. මේ ඉස්කෝලවල ළමයි අඩුවෙන්න, ඉස්කෝල වැහෙන්න ඒකත් හේතුවක්. මේ පාසල් පිළිබඳව විග්‍රහයක යෙදෙන ජෝෂප් ස්ටාලින් මහතා පවසන්නේය.

කොළඹ නගරයට නා නා රටවල රාජ්‍ය නායකයෝ එති යති ප්‍රභූවරුද එති යති, ප්‍රකට ක්‍රීඩකයොත් කලාකරුවෝත් යති එති. ඔවුන් වෙනුවෙන් උත්සව පවත්වති. ඒත් ඒ එකම උත්සවයක කොඩියක් ඔසවන්නට මේ දුප්පත් පාසල්වල ළමයින්ට අවස්ථාවක් ලැබෙන්නේ නැතැයි කොළඹ උතුර කොට්ඨාසයේ පාසලකදී අපට හමුවූ ගුරුමහතෙක් පැවසුවේය.

මෙකී පාසල්වල පාසල් සංවර්ධන සමිතිද බොහෝ විට ඇත්තේ අක්‍රිය මට්ටමකය. දරුවකු පාසලට ඇතුළත් කළ පසු එම දරුවා පාසලෙන් ඉවත්වනතුරු යළිත් එකම වතාවක් වත් පාසලට නොපැමිණි දෙමාපියේ ඕන තරම් සිටිති. අඩුම තරමින් තම දරුවා පාසලට ඇතුළත් කරන්නටවත් නොපැමිණි දෙමාපියෝද මේ හැම පාසලකින්ම අඩුම තරමින් එකෙකු හෝ සොයාගත හැක්කේය. එසේ නොයෙන්නට හේතු කීපයකි. එකක් දරුවන්ගේ මොනයම්ම හෝ කටයුත්තකට මුදල් දෙන්නට සිදුවුවහොත් ඒ දෙන්නේ කෙසේද යන දෙහිඩියාවයි. අනික නම් මේ බහුතරයක් දෙමාපියන්ට දරුවන්ගේ අධ්‍යාපනයෙන් වැඩක් නැති වීමයි. පෙර කීවාක්සේ ඔවුන්ගේ ඉහළම අපේක්ෂාව ‘තට්ටුවක්’ දැමීම වීමයි.

මෙසේ දරුවන්ගේ වුවමනාවකටවත් පාසලට නාවත් රාත්‍රී කාලයේදී නම් මේ පාසල්වලට අයිතිකාරයෝ බොහෝය. මේ අයිතිකාරයෝ කුඩුකාරයෝය. ගණිකාවෝය. පාදඩයෝය.

කොටහේනේ එක්තරා විදුහලක සිටි විදුහල්පතිවරයෙක් රාත්‍රී කාලයේදී ලොරි නැවැත්වීම සඳහා විද්‍යාල භූමිය මුදලට ලබා දුන්නේය. එදා සිට ඒ පාස‍ලේ ගුරු මණ්ඩලයට උදේ ඉගැන්වීම ආරම්භ කිරීමට පෙර කරන්නට අමතර රාජකාරියක් විය. ඒ උදේ පාන්දරින්ම පැමිණ දරුවන් දකින්නට ප්‍රථම කුඩු කාරයන්, ගණිකාවන්, පාදඩයන් පාස‍ලේ පන්තිකාමරවල දමා ගිය රොඩුබොඩු ඉවත් කිරීමයි.

ඈත එයට දුරබැහැර පළාතක ඉගැන්වූ තරුණ ගුරුවරයෙකුට කොළඹට ස්ථාන මාරුවක් ලැබිණි. ඔහුට ලැබුණේ තොටළඟ එක්තරා පාසලකි. මේ තරුණ ගුරුවරයා පාස‍ලේ ගුරු නිවාසයේ නවාතැන් ගත්තේය. සවස කළුවරත් සමග පාසලට එන ‘අයිතිකාරයෝ’ ගුරු නිවාසයෙන් ඉවත්වන්නැයි මේ ගුරුවරයාට කීවෝය. ප්‍රතිචාරයක් නොමැති තැන තර්ජනය ගර්ජනය කළෝය. ඒත් මේ ගුරුවරයා ගුරු නිවාසය අත් නොහළේය. එක් දිනක් උදේ දරුවන් පාසලට එනවිට මේ තරුණ ගුරුවරයා ගුරුනිවාසය ළඟ මරා දමා තිබුණි. මේ පාසල්වලට ගුරුවරුන් එන්නට අකමැති ඒ නිසාය. ආවත් ආ පයින්ම යන්නේද ඒ නිසාය.

පාසල් වාරයක් නිමාකර තවත් පාසල් වාරයක් ආරම්භ කළ වහාම සෙසු පාසල්වල අධ්‍යාපන කටයුතු ආරම්භ කළත් තොටළඟ, මෝදර, මට්ටක්කුලිය මෙන්ම පිටකොටුවේ මිහිඳු විදුහල වැනි විද්‍යාලවල කටයුතු පටන් ගන්නේ තවත් සතියක් ගතවූ පසුවය. හේතුව ළමයින් නැවත පාසලට එන්නේ පාසල පටන්ගෙන සතියක් හමාරක් ගතවූ පසුව වීමයි.

මේ පාසල්වලින් සාමාන්‍ය පෙළ සමත් වී කොළඹ නගරයේම සුපිරි පාසල්වලට ගොස් උසස් පෙළ සමත්ව සමාජයේ ඉහළම තලයට ගිය ආදි ශිෂ්‍යයන් සිටියත් ඔවුන්ද තමන්ට මුල් අකුර කියාදුන් පාසල දෙස බලන්නේවත් නැත. ඔවුහු තමන්ගේ සාඩම්බර අයිතිය දෙවනුවට ගිය සුපිරි පාසලට සරිකර දෙන්නේය.

පාසලට යන එන ආදි ශිෂ්‍යයන් කිහිප දෙනෙක් ද වෙති. ඒ පාසලෙන් අකුරු ඉගෙනගත්තත් නැතත් මොන විදියකින් හෝ ප්‍රාදේශීය දේශපාලනයට එකතු වී මහජන නියෝජිතයන් වූ කීපදෙනෙකි. ඔවුන් පාසලට ගොඩනැගිලි, ඩෙස්ක්, පුටු ලබා දෙන්නට උනන්දු වෙති. ඔවුන්ගේ අරමුණ එදා යමක් පාසලෙන් ලබාගන්නට බැරිවුණත් ඊට හරියන්නට වර්තමානයේදීවත් පාසලෙන් යමක් ලබා ගැනීමයි.

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ද කුඩම්මාගේ සැලකිලි ලබන වගකිව යුත්තෙක් බලධාරියකු ඇහැක්වත් ඇර නොබලන මේ රොඩු බොඩු පාසල්වල දරුවන්ට රටේ අනික් සුපිරි පාසල්වල දරුවන්ට සමානව ලැබෙන එකම එක දෙයක් තිබේ. ඒ සාමාන්‍ය පෙළ උසස් පෙළ විෂය නිර්දේශයයි. වසර අවසානයේදී පැවැත්වෙන විභාගයේ ප්‍රශ්න පත්‍රයයි.

හර්ෂ එස්. ජයවීර
ඡායාරූප – ටෙරාන් නානායක්කාර