ලාංකිකයන් 08 දෙනකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සහිතව යාත්‍රා කළ ‘ඒරිස්-13’ නමැති ඉන්ධන ප්‍රවාහන නෞකාව මීට දින කිහිපයකට පෙර සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් පැහැර ගනු ලැබිණ. ඔවුන් මෙසේ වාණිජ නැවක් පැහැරගත්තේ වසර පහක විරාමයකින් පසුවය. එහි සිටි ශ්‍රී ලාංකිකයන් බේරා ගැනීම සඳහා කොල්ලකරුවෝ ඩොලර් ලක්ෂ 50ක කප්පමක් ඉල්ලූහ. මේ සිදුවීම් මැද සෝමාලියානු කොල්ලකරුවන් යටතේ තිබූ නැව බේරා ගැනීම සඳහා එම ඉසව්වට ගිය ගැලවීමේ හමුදා හා කොල්ලකරුවන් අතර වෙඩි හුවමාරුවක්ද සිදුවිය. එම අවස්ථාවේ නැවේ සිටි එක් ශ්‍රී ලාංකිකයකු ලංකාවේ තම ඥාතීන් අමතා කියා ඇත්තේ වහාම වෙඩි තැබිම් නතර කරවීමට ශ්‍රී ලංකා රජය මැදිහත් කිරීමට කටයුතු කරන ලෙසය. නැතිනම් ප්‍රාණ ඇපයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත අනතුරේ බවද ඔහු පවසා ඇත.

එහෙත් පසුගිය 16 වැනිදා සවස් භාගයේ කොල්ලකරුවන් හදිසියේම නැව කොන්දේසි විරහිතව මුදාහළ බව මාධ්‍ය වාර්තාවල පළවිය. මෙහි දැක්වෙන්නේ සෝමාලියානු කොල්ලකරුවන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ විවරණයකි.

අවුරුද්දක් පාසා ඩොලර් මිලියන ගණනක් ඉපැයෙන, වෙළෙඳ ගනුදෙනු සිදු කෙරෙන සෝමාලියාව අවට මුහුදු කලාපය ‘කොල්ලකරුවන්ගේ අණසකට’ යටත් වී දැන් දශකයකට ආසන්නය. ලෝකයේ වටිනාම සේම වැදගත්ම මුහුදු මාර්ගයක් බව කියැවෙන සෝමාලියාව අවට මුහුදු මාර්ගය මාස කිහිපයක් තිස්සේ කොල්ලකරුවන්ගෙන් නිදහස් වූ බවක් පෙනෙන්නට තිබිණ.

නේටෝ සංවිධානය උදම් අනමින් කියා සිටියේ තමන්ගේ උපාය මාර්ගික විසඳුම් නිසා සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් පසුබැසි බවයි.

කෙසේ වුවද යළිත් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් ලෝකයේ මාතෘකාවක් බවට පත්වී ඇත්තේය.

ඌන සංවර්ධිත සෝමාලියාවට අගහිඟකම්වලින් අඩුවක් නැත. සෝමාලියානු සිවිල් යුද්ධයද සෝමාලියාව තවදුරටත් අස්ථාවර කරවූවකි. ‍පොහොසත් සමුදුරු කලාපයකට හිමිකම් කියන සෝමාලියාවට ඉහළ ආදායම ලැබිය හැකි වූයේද එකී ‍පොහොසත් සමුදුරෙන්මය.

1980 ගණන්වල සිවිල් යුද්ධය ඇරඹීමට කලකට පෙර සිටම සිය ‍පොහොසත් මුහුදු සම්පත මාර්ගයෙන් විදෙස් ආයෝජන සෝමාලියාව තුළට ගෙන්වා ගැනීමේ සැලසුම් එවකට රජය විසින් සකස් කරනු ලැබ තිබුණේය. විදෙස් ධීවරයන්ටද සෝමාලි රජයේ අනුමත බලපත්‍රයක් ඇතිව සෝමාලියානු මුහුදු කලාපයේ මසුන් මැරීමේ අවසරය ලැබිණි. කෙටි කලකට පමණක් සීමා වී තිබුණු ‘මහ මුහුදෙන් ඉපැයීමේ’ සෝමාලියා වෑයම එවකට පැවැති රජයේ බිඳ වැටීමත් සමග කඩා වැටුණේ සෝමාලියාවට අයත් මුහුදු තීරය අරාජික කරවමිනි.

1990 මුලදී රජයේ බිඳ වැටීමත් සමගම මුහුදු තීරයේ රැකවල් ලා සිටි සෝමාලියානු නාවුක හමුදාවද සිය බලය අහිමිව විසිර ගියේය. සෝමාලියාවට අයත් මුහුදු තීරයේ ආරක්ෂාව තහවුරු වී නොතිබුණෙන් විදෙස් රටවල ධීවරයෝ සෝමාලියානු මුහුදු කලාපයට හිතුමතේ ඇතුළු වන්නටත්, සෝමාලියාව සතු මත්ස්‍ය සම්පත ‘කොල්ලකා’ ගන්නටත් පටන් ගත්හ. කබලෙන් ළිපට වැටුණු සෝමාලියානු ධීවරයෝ තමන්ට අයිති මත්ස්‍ය සම්පත වෙනුවෙන් හෝ සටන් කරන්නට ශක්තිවන්තයෝ නොවූහ. දුප්පත්කමෙන් තරමක් හෝ අත්මිදීමට තිබුණු එකම මග කමෛන් කමෛන් සෝමාලියානු ධීවරයන්ගෙන් ඈත්ව යන්නට පටන්ගෙන තිබුණේය.

රැකවරණයකින් තොර වී තිබුණු සෝමාලියානු මුහුදු කලාපය සුප්‍රසිද්ධ නැව් සමාගම්වල පවා නැව්වලින් පිටවන විෂ සහිත අපද්‍රව්‍ය මුදාහැරෙන කලාපයක් බවට පත්වූයේය. විෂ සහිත අපද්‍රව්‍ය සෝමාලියානු මුහුදු කලාපයට මුදා හැරීමට එරෙහිව පියවර ගන්නට කිසිදු සෝමාලියානු බලධරයෙක් සිටියේ නැත. මත්ස්‍ය සම්පත තවදුරටත් තර්ජනයට ලක් කරවූ මේ විෂ අපද්‍රව්‍ය මුදා හැරීම දුප්පත් සෝමාලියානු ධීවරයන්ගේ අගහිඟකම් තවදුරටත් තර කරන්නක් විය.

තමන්ගේ රටට අයිතිව ඇති වටිනාකම්වලින් පිරුණු මුහුදු කලාපය රැකගන්නට සෝමාලියානු ධීවරයන් රොද බැඳෙන්නට වූයෙන් ලෝකයේ කිසිවකුත් ඔවුන්ගේ මුහුදු තීරය රැක දෙන්නට පෙරට නොපැමිණි පසුබිමක සිටයි. සෝමාලියාව සිවිල් යුද්ධයකින් බැටකමින් සිටියත් රටක් ලෙස සෝමාලියාව රැක ගැනීමේ වුවමනාවක් ඇති පිරිසක්ද එරට තුළ වූහ. මේ පිරිස අතර බහුතරය වූයේ හිටපු හමුදා නිලධාරීන්ය. තම රට සතු වටිනාම සම්පතක් වන මුහුදු තීරය රැක ගන්නට රොද බැඳෙන ධීවරයන් සන්නද්ධ කරන්නට මුල් අඩිතාලම දැමූයේද හිටපු හමුදා නිලධරයන්ය. මුහුදේ රැකවල් ලන්නට සෝමාලියානු වෙරළේ රැකවලුන්ට ආයුධ සැපයූ හිටපු හමුදා නිලධරයෝ දුප්පත් ධීවරයන් සන්නද්ධ අරගලකාරයන් බවට පත් කළහ.

නිල නොලත් ලෙස උදව් ලබමින් සෝමාලියානු මුහුදේ රැකවලුන් බවට පත්වුණු සෝමාලියානු ධීවරයෝ සෝමාලියානු මුහුදු තීරයට අනවසරයෙන් ඇතුළු වන ධීවර බෝට්ටු සිය අණසකට ගන්නටත්, ඇතැම් විට පලවා හරින්නටත් තරම් ධෛර්ය සම්පන්න වී සිටියහ. ඔවුන් අනවසරයෙන් ආ ධීවර බෝට්ටුවල මත්ස්‍ය අස්වැන්න බලහත්කාරයෙන් තමන්ගේ අයිතියට පවරා ගත්තේ තමන්ගේ මුහුදු තීරයේ සම්පත් ලබාගැනීමට හිලව් වශයෙනි.

ඔවුහු කමෛන් කමෛන් ධීවර බෝට්ටුවල ධීවරයන් රඳවා ගනිමින් කප්පම් ඉල්ලමින්, කප්පම්කාරයන් බවට පත්වූහ. කාලයත් සමග ඔවුන්ගේ කප්පම් ගැනිල්ල ධීවර බෝට්ටුවලින් පමණක් නතර වූයේ නැත. සෝමාලියානු මුහුදු තීරය ඔස්සේ වැටී ඇති වාණිජ නැව් ගමන් මාර්ගයේ වටිනාකම හඳුනාගත් මොවුන් වාණිජ නැව්, මගී නැව් අවහිර කරමින්ද ඒවායේ පාලනය තමන් වෙත නතුකර ගනිමින් කප්පම් ලබාගැනීමට උත්සුක වූයේ තම රටේ මුහුදු තීරය විනාශ කරන්නන්ගෙන් තමන් නිසි වන්දිය ගන්නා බව පවසමිනි.

කොල්ලකරුවන්ගේ තර්ජන නාවුක ක්ෂේත්‍රයේ බරපතළ ගැටලුවක් ලෙස හඳුනාගත් ලෝක බලවත්තු ඔවුන්ගේ සැලසුම් අධ්‍යයනය කරමින් සෝමාලියානු කලාපයේ ඇති තර්ජනය ඉවත් කරන්නට උත්සුක වූහ.

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් යටත් කරගන්නට, ඔවුන්ගේ සැලසුම සහ ක්‍රියාකාරකම් ව්‍යර්ථ කරන්නට කිසිදු බලවතෙක් සමත් නොවීය. එසේ නමුදු කොල්ලකරුවන්ගේ චර්යා රටාවත් යම් තරමක් දුරට හඳුනා ගන්නට මේ සොයා බැලීම් ඉවහල් වූයේය. ඔවුන්ගේ ප්‍රහාරය නැවට එල්ල වන මොහොත නිවැරදි ලෙසම හඳුනාගන්නට නොහැකි වන මුත් දහවල් කාලයේදී, එයිනුත් දවසේ මුල් පැය කිහිපයේදී කොල්ලකරුවන් වඩා ක්‍රියාකාරීව නැව්වලට පහරදෙන බවත් හඳුනාගෙන ඇත. එසේම පැයට නාවුක සැතපුම් 25ක වේගය පවත්වාගත යුතු කලාපය නැව් කොල්ලකරුවන්ගේ ප්‍රහාරවලට ලක්වන කලාපය බවද කියැවේ. ආර්.පී.ජී. තුවක්කු සහ සැහැල්ලු ආයුධ භාවිත කරමින් නැව් තම අණසකට ගැනීම සෝමාලියානු කොල්ලකරුවන්ට හුරුපුරුදු ක්‍රමවේදය බව ද අනාවරණය කර දී තිබේ.

ලෝකයේ කිසිදු බලවතෙකුට නතු නොවූවත් සෝමාලියානු මුහුදු කොල්ලකරුවෝ සැඟවුණු ජීවිත ගත කරනා පිරිසක්ද නොවෙති. වරින් වර ඔවුන් හමුවීමට මාධ්‍යවේදීන්ට ලබාදුන් අවස්ථා ගැන පවා කියැවේ. එසේ වුවත් තමන්ගේ අණසකට නතුකර ගන්නා නැව් සඟවා තබාගැනීමට ඔවුන් යොදාගන්නා උපක්‍රම තවමත් නියතව අනාවරණය වී නොමැත.

නෙලූෂා සිල්වා