යහපාලන ආණ්ඩුවේ ගමන් මග ඇතුළු දේශපාලන කරුණු පිළිබඳ බස්නාහිර පළාත් සංවර්ධන හා මහ නගර සභා සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සමග කළ සාකච්ඡාවකි.

ප්‍ර: ආණ්ඩුවට මොකද වෙන්නේ? වැඩපිළිවෙළක් නැතුව ආණ්ඩුව ඉබාගාතේ යනවා කියලයි සමහරු කියන්නේ.
පි: යහපාලන ආණ්ඩුව පත්වීම එක්තරා ආකාරයක ප්‍රජාතාන්ත්‍රික අත්හදාබැලීමක්. ඒ ප්‍රජාතාන්ත්‍රික වෙනස සිදු නොවුණා නම් රටේ ඇතිවෙන්න තිබුණ තත්ත්වය ගැන තමයි හිතන්න ඕන. මහින්ද රාජපක්ෂ ත්‍රස්තවාදය පරාජය කරලා රටේ යටිතල පහසුකම් සංවර්ධනය කරන්න අතිවිශාල මුදලක් ආයෝජනය කළ එක ඇත්ත. නමුත් ත්‍රස්තවාදය පරාජය කළාට ඔහු කොටි සැකකරුවන් දොළොස්දාහක් පමණ නඩු විභාගයක් නැතුව එළියට දැම්මා. චෝදනාවට ලක්වෙච්ච ආරක්ෂක නිලධාරීන් ගැන පරීක්ෂණ පැවැත්වුවේ නෑ. මෙනිසා යුද ජයග්‍රහණය ජාත්‍යන්තර ජයග්‍රහණයක් කරගැනීමට ඔහු සමත්වුණේ නෑ. මේකෙන් වුණේ අපේ රට ජාත්‍යන්තර වශයෙන් වටලෑමකට ලක්වීමයි.

ඒ තත්ත්වය දිගටම තිබුණා නම් අද ලංකාව වෙනිසියුලාවක් බවට පත්වෙනවා. වෙනිසියුලාවට සම්පත් තිබුණත් දැන් කන්න ආහාර ටික පවා හිඟයි. ඒ ජාත්‍යන්තර සම්බාධක නිසා.

ප්‍ර: මේ තත්ත්වය වෙනස් වුණේ කොහොමද?
පි: මෛත්‍රීපාල සිරිසේන මහතා බහුතර ඡන්දයෙන් පත්වීමත් ප්‍රධාන පක්ෂ දෙක එකතුවෙලා සභාග සහජීවන ආණ්ඩුවක් ගොඩනැගීමත් නිසා මේ ජාත්‍යන්තර වටලෑමෙන් අපි නිදහස් වුණා. ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් පසු අපේ රටට වාසිසහගත තත්ත්වයක් අන්තර්ජාතික වශයෙන් නිර්මාණය වෙලා තියෙනවා.

ප්‍ර: නමුත් මානව හිමිකම් කොමිසම අපේ රටට මෙවරත් දැඩි පීඩනයක් එල්ල කරලා තියෙනවා. එහෙම තිබියදී ජාත්‍යන්තර වශයෙන් වාසිසහගත තත්ත්වයක් තිබෙනවා
කියන්නේ කොහොමද?
පි: මෙහෙමයි මානව හිමිකම් කොමිසමේ තවම ඉන්නේ ලිබරල් මානසිකත්වය තිබෙන අය. ඔවුන් ඇමෙරිකාවටත් ඔය වගේ බලපෑම් කරනවා. ප්‍රශ්නය තියෙන්නේ ඒ යෝජනා ක්‍රියාත්මක කරන්න ඇමෙරිකාව වගේ රටවල් සූදානම් ද කියන එකයි. අනික ඔය දෙමුහුන් අධිකරණය පත්කරන්න බෑ කියලා අපි පැහැදිලිව කියලා තියෙනවා. ආරක්ෂක අංශවලට එරෙහිව ඔය විදියට නඩු විභාග පවත්වනවානම් කිසිදු නඩුවිභාගයක් නැතිව නිදහස් කළ කොටි සැකකරුවන් දොළොස් දාහක් යළි අත්අඩංගුවට ගෙන නඩු විභාගයක් කළ යුතුයි. ආණ්ඩුව අපරාධවලට සම්බන්ධ කොටි සාමාජිකයන් සහ ආරක්ෂක අංශ සාමාජිකයන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා. කොටි සංවිධානයට සාමාන්‍යයෙන් සම්බන්ධව සිටි සාමාජිකයන්ට අර ජේවීපී පිරිස්වලට වගේ සමාජගතවෙන්න ආණ්ඩුව වැඩපිළිවෙළක් හදලා තියෙනවා. මේක වැරදි විදියට තේරුම් ගන්න කණ්ඩායම් දෙකක් ඉන්නවා. එකක් ජාතික ආරක්ෂාව අනතුරේ කියලා කෑ ගහන මහින්ද කණ්ඩායම අනෙක එල්ටීටී අවතාරවලට පණ දෙන්න හදන උතුරේ අන්තවාදීන්. ඒක ජාතික ආරක්ෂාවට තර්ජනයක්. අපි එවැනි උත්සාහයන් අනුකම්පා විරහිතව මර්දනය කරනවා.

ප්‍ර: අපරාධවලට සම්බන්ධ කොටි සාමාජිකයන් කෙසේ වෙතත් සමහරවිට කිසිදු පදනමක් නැතිව බුද්ධි අංශ සාමාජිකයන් නම් අත්අඩංගුවට ගන්නවා. මේ ගැන ඔබේ අදහස කුමක්ද?
පි: මේක හරියට කටුඅත්තක පැටළිච්ච රෙද්දක් ඉවතට ගන්නවා වගේ වැඩක් බොහොම පරිස්සමින් කරන්න ඕන දෙයක්. රාජපක්ෂ ආණ්ඩුව ජාතික ආරක්ෂාව සඳහා කටයුතු කළ දක්ෂ බුද්ධි අංශ සාමාජිකයන් දේශපාලන අපරාධවලටත් යොදා ගත්තා.

ඒක තමයි ඇත්ත. රාජපක්ෂ යුගයේ පාතාලයක් තිබුණේ නෑ කියලා සමහරු කියනවා, නැහැ පාතාලයක් තිබුණා. ඒක රාජපක්ෂලාට හිතවත් එකක්. කුඩු ජාවාරම් කළේ ඒ පාතාල හයියෙන්. හමුදා සාමාජිකයන් ලවා අනෙක් පාතාල කණ්ඩායම් විනාශ කරලා දැම්මා. මාධ්‍යවේදීන් ඝාතනය කිරීමට යොදා ගත්තා. සමහරු දරුවන් පැහැරගෙන කප්පම් ගත්තා. ඉතින් මෙවැනි අයට දඬුවම් කළ යුතුයි.

ප්‍ර: ජනාධිපති හා අගමැති අතර රට පාලනය කිරීම සම්බන්ධයෙන් ‍පොදු එකඟතාවයක් නැහැ නොවේද? බැඳුම්කර සිද්ධියෙන් ඒක පැහැදිලි වෙනවා.
පි: ඉකුත් ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී විශාල මධ්‍යම පාන්තික ඡන්ද ප්‍රමාණයක් ආණ්ඩුවට ලැබුණේ රාජපක්ෂ පවු‍ලේ වැරදි කරපු අයට එරෙහිව නඩු දාවි කියන අපේක්ෂාවෙන්. එහෙම නඩු පවරලා ඔවුන් වංචනිකව අත්පත්කරගත් දේපළ යළි රටට ලබාගනීවි කියලා ජනතාව හිතුවා. නමුත් කුඩා සිද්ධි දෙක තුනක් හැරෙන්නට ඒ කාර්යය කිරීමට රජයේ විමර්ෂණ අංශ අසමත්වෙලා තියෙනවා.

ප්‍ර: ඇයි එහෙම වෙලා තියෙන්නේ?
පි: ඊට හේතු තුනක් තියෙනවා. ඒත් අපේ විමර්ශන නිලධාරීන්ට මේ සූක්ෂම වංචා හෙළිකරගන්න හැකියාවක් නැහැ. තාක්ෂණික වශයෙන් සැලසුම් කරලා කරපු වංචා හෙළිකර ගත හැකි දැනුම නැහැ. මං හොඳට දන්නවා ගිය ආණ්ඩුව කා‍ලේ හිටපු බලශක්ති ‍ලේකම්වරයා සහ මහින්ද රාජපක්ෂගේ ගුණ කියන දේශපාලනඥයන් ඔස්ට්‍රේලියාවේ විශාල ධනයක් හැංගුවා.

ප්‍ර: ඇයි ඒවා නැවත ලංකාවට ගේන්න බැරි?
පි: ඔස්ට්‍රේලියාව යම් කෙනෙක් තමන්ට ආයෝජනයක් ගෙනාවාම ඔහුට පුරවැසිකම පවා දෙනවා. ඩුබායි රටත් එහෙමයි. ආයෝජන ගෙනාවට පස්සේ ඔවුන් ඒවා හොයන්නේ නැහැ. මොකද එහෙම හෙව්වොත් මිනිස්සු ඒ රටවලට අරන් එන්නේ නැහැනේ. ඒ නිසා මේ රටවල්වල නීතිරීති තත්ත්වය ගැන අවබෝධයක් ඇතිව අපේ විමර්ශන නිලධාරීන් කටයුතු කළ යුතුය. ඒක දෙවැනි කරුණ. තුන්වෙනි කරුණ තමයි සමහරු මේකේ දේශපාලනය කරන්න හදනවා. මහින්ද රාජපක්ෂලා ශ්‍රීලනිපය දෙකඩ කර එජාපයට වාසියක් ගන්න පුළුවන් කියලා ඒ අය හිතනවා. ඔය අසූව දශකයේ දී ජේ.ආර්. ජයවර්ධනලා පාවිච්චි කරපු න්‍යාය අදට වලංගු නැහැ.

ප්‍ර: මේ දිනවල රටේ තියෙන ව්‍යවස්ථා ඝෝෂාව ගැන මොකද ඔබ හිතන්නේ?
පි: අපේ රටේ මිත්‍යාවක් තියෙනවා ව්‍යවස්ථාව වෙනස් කිරීමෙන් සියල්ලටම විසඳුමක් තියෙනවා කියලා. ඒක එහෙම නැහැ. සමහරු මහින්ද රාජපක්ෂට එල්ලවෙලා තියෙන දූෂණ චෝදනා වහන්න ව්‍යවස්ථා කතාව අල්ලගෙන තියෙනවා. කොහොමත් ජනමත විචාරණයක් නැතුව ව්‍යවස්ථාවක් සම්මත කරගන්න ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට තුනෙන් දෙකේ බලයක් ලැබි නැහැ. අපි කියන්නේ ව්‍යවස්ථාව සම්මත කළ යුත්තේ මහා සම්මතයෙන්. සියලු දේශපාලන කණ්ඩායම්වල අදහස් විමසිය යුතුය.

ප්‍ර: සමහරු විධායක ජනාධිපති ධුරය සම්පූර්ණයෙන් අහෝසි කළ යුතු බව කියනවා මේ ගැන ඔබේ ස්ථාවරය කුමක්ද?
පි: ඇත්තටම විධායක ජනාධිපති ධුරයේ සියලුම අත්තනෝමතික බලතල ඉවත්කරලා ඉවරයි. තවත් ඉවත් කරන්න දෙයක් නැහැ. මේ රටේ තියෙන්නේ මිශ්‍ර පාර්ලිමේන්තු ක්‍රමයේ හා ජනාධිපති ක්‍රමයේ මිශ්‍රණයක් නෙ. ඒ නිසා විධායක ජනාධිපති ක්‍රමයක් ගැන කතා කිරීම තේරුමක් නෑ. විධායක ජනාධිපති ධුරය නොතිබුණා නම් මේ පාර්ලිමේන්තුවට වෙන්නේ මොකක්ද කියලා හිතාගන්නවත් බෑ. රට සංවර්ධනය කරන්න නම් ආණ්ඩුව ස්ථාවර වෙන්න ඕන. මා හමුවෙන්න ආපු විදෙස් ආයෝජන කණ්ඩායමක් සඳහන් කළේ ඉන්දියාවේ ආයෝජනය කිරීම ඔවුන්ට එපා වෙලා කියලා. ඊට හේතුව පංචායත් සභාවලින් පටන්ගත්තාම තිබෙන ආයතනවලින් එන බාධා ඔවුන් කිව්වේ වියට්නාමය, ලංකාව වැනි රටවල ආයෝජනය කිරීමට තමන් කැමති බවයි.

ප්‍ර: මංතීරු වැඩේ අවුල් වුණා නේද?
පි: පළමු දවසේ ගිහිල්ලා සමහර මාධ්‍යවලින් අපට චෝදනා කළා. නමුත් දෙවැනි දවසේ අඩුපාඩු සපුරාගෙන අපි සාර්ථක වුණා. මේ වැඩේට අපට එක රුපියලක්වත් වැය වුණේ නෑ. මේක අල්ලගෙන මාලඹේ මාර්ග තදබදය ගැන ප්‍රශ්න කරන අයගෙන් මං අහන්නේ එක ප්‍රශ්නයයි. අප සිතිය යුත්තේ දිනපතා බස් රථ එකසිය විස්සකින් කොළඹට පැමිණෙන නව දාහක් පමණ ජනතාව ගැනද එහෙමත් නැත්නම් පෞද්ගලික වාහන හාරදහස් පන්සීයකින් කොළඹට එන හයදාහ ගැන ද? මේවයි මතුකළ යුතු ප්‍රශ්න.

ප්‍ර: ඔබ දැන් ඉන්නේ මහින්ද රාජපක්ෂගේ අසල්වැසි නිවසේ, දෙන්නා අතර දේශපාලන කතාබහක් එහෙම වෙන්නැද්ද?
පි: මහින්ද රාජපක්ෂ මහතා ගැන මට පෞද්ගලික ප්‍රශ්නයක් නැහැ. අපිට තිබුණේ ඔහුගේ පවුල් දේශපාලනය ගැන ගැටලු විතරයි.

සාකච්ඡා කළේ –
වරුණ අබේසේකර