ලංකාවේ ඉපදී අධ්‍යාපනය ලබා වෛද්‍යවරියක වූ මාලිකා ඇමෙරිකාවට ගොස් ඇයට භාරවුණ රෝහල මධ්‍යම අත්ලාන්තික් ප්‍රාන්තයේ අංක එකේ රෝහල බවට පත්කරන්නට සමත් වුණාය. එමෙන්ම එම රෝහල ඇමෙරිකාවේ ජනාධිපති කවයට අයත් රෝහල් පහ අතරින් එකක් බවටද පත්විය.

ශිරානි මාලිකා ජයසූරිය මධ්‍යම අත්ලාන්තික් ප්‍රාන්තයේ සුදු දොස්තර මහත්තුරුත් අබිබවා ඇගේ දස්කම් පෙන්වූයේ එලෙසිනි. ඇය අද හෙල්ත් සවුත් රොක්හිල් පුනරුත්ථාපන රෝහ‍ලේ වෛද්‍ය අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කරන්නීය. එමෙන්ම ඇය කායික පුනරුත්ථාපන හා විශේෂඥ වෛද්‍යවරියක්ද වන්නීය.

“මගෙ ගම බණ්ඩාරවෙල. මම ඉගෙන ගත්තේ මුලින්ම බණ්ඩාරවෙල විශාඛා විද්‍යාලයේ. ඊට පස්සේ දේවි බාලිකා විද්‍යාලයේ. පේරාදෙණිය විශ්වවිද්‍යා‍ලේ වෛද්‍ය පීඨයෙන් තමයි වෛද්‍ය උපාධිය ලබන්නේ. ගාල්ල කරාපිටිය රෝහලෙන් සීමාවාසික පුහුණුව සම්පූර්ණ කරලා මහනුවර මහ රෝහලෙත්, කොළඹ ජාතික රෝහලෙත් වැඩ කළා. ඔය අතරේ මනෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ පුහුණුවීම පටන් ගත්තා. ඒ කා‍ලේ තමයි මං මුලින්ම ඇමෙරිකාවට යන්නේ.”

ඒ 1992 බවට ඇගේ මතකයයි. එතැන් පටන් වසර විසිපහක් තිස්සේ ඇය ඇමෙරිකාවේ රෝහල් ගණනාවක සේවය කළාය.

“ඇමෙරිකාවේ විවිධ රෝහල් අතරේ කායික පුනරුත්ථාපනය සඳහා හෙල්ත් සවුත් කෝපරේෂන් එකේ කරන රෝහල් ජාලයක් තියෙනවා. ඒ රෝහල් ජාලයට රෝහල් 140ක් අයිතියි.

ඇමෙරිකාවේ ප්‍රාන්ත 50න් ප්‍රාන්ත 10 ගානේ අහුවෙන්න පළාත් පහක රෝහල් 28 ගානේ මේ රෝහල් 140 පිහිටුවලා තියෙනවා.

මේ රටේ අය විවිධ රෝගාබාධයන්ට රෝහල්ගතවෙලා සුවය ලැබුවත් සම්පූර්ණම සුවය ලබන තුරු ගෙවල්වලට අරන් යන්නේ නෑ. රෝහලින් පිටවන රෝගීන් ඉන්පසුව එන්නේ කායික පුනරුත්ථාපන රෝහල්වලට. එහිදී ඔවුන් හොඳින් බලා කියාගෙන සම්බාහනවලින් තවදුරටත් ප්‍රතිකාර ලබාදීලා රෝගියා සම්පූර්ණයෙන් සුව කරලා කායික නිරෝගීතාවයෙන් මෙන්ම මානසික සතුටෙනුත් යුතුව ගෙදර යවන එක තමයි මේ රෝහල්වල වගකීම.

2013 වසරෙදි මම ලාස් වේගාස් පුනරුත්ථාපන රෝහ‍ලේ වැඩ කළා. ඒ රෝහලට මම යනකොට රෝහ‍ලේ තත්ත්වය පහළටම වැටිලා තිබ්බේ. හැම දෙයක්ම නරක පැත්තට තිබුණේ. එතකොට පාලන අධිකාරිය වැඩ කරන්නේ නෑ. රෝගීන් එන්නෙ නෑ. ඉන්න රෝගීනුත් ගෙවල්වලට යවනවා සුවපත් වෙන්නේ නැති නිසා. ඔහොම වෙනකොට ඒ පළාතේ තියෙන අනෙක් රෝහල්වලටත් ඒ ලෙඩේ බෝවෙනවා.”

එවන් තත්ත්වයක් යටතේ පැවැති ලාස් වේගාස් පුනරුත්ථාපන රෝහලට මාලිකා යහපත් තත්ත්වයක් ගෙන දුන්නාය. ඒ වසරේ ඇය ඒ ප්‍රාන්තයේ හොඳම වෛද්‍ය අධ්‍යක්ෂවරිය වූවාය. හෙල්ත් සවුත් පාලනාධිකාරියද ඈ ගැන සතුටට පත්වූයේ එම තත්ත්වය ප්‍රදේශයේම රෝහල්වලට බලපෑ නිසාය.

“මම ඊට පස්සේ 2014 ලංකාවට ආවා. අවුරුද්දක් ලංකාවේ හිටියා. ඒ ආවේ දිගටම ලංකාවේ ඉන්න හිතාගෙන. මම කලින් අවුරුදුවල වරින් වර ලංකාවට ආවා. ගොඩක් සමාජ සත්කාරක වැඩ කළා. ස්වේච්ඡා වෛද්‍යවරියක් ලෙස හමුදාවට වැඩ කළා. මම තමයි ස්වේච්ඡාවෙන් යුද්ධය තියෙන පැත්තේ වැඩ කරපු පළමුවැනි වෛද්‍යවරිය. ඒත් මම, මගේ සේවය අත්දැකීම් ලංකාවට දෙනවට සමහරු කැමැති වුණේ නෑ. ඔය අතරේ ලංකාවේ ඉන්නකොට මට හෙල්ත් සවුත් එකෙන් කතා කළා රොක්හිල් රෝහල භාරගන්න කියලා. ඒ වෙනකොට රොක්හිල් රෝහල් පහතටම වැටිලා තිබුණේ. ගණන් බැලුවා නම් රෝහල් 140න් 139 වැනියට වගේ ඉඳලා තියෙන්නේ. එහෙම වුණාම මුළු ප්‍රදේශයේම රෝහල්වලට ඒ නරක තත්ත්වේ බලපානවා. මම යන්නෙ නැතුව ඉඳලා 2015 දෙසැම්බර් 01දා ආයෙත් ඇමෙරිකාවට ආවා. ඒ ඇවිත් මධ්‍යම අත්ලාන්තික් ප්‍රාන්තයේ රොක්හිල් පුනරුත්ථාපන රෝහ‍ලේ වෛද්‍ය අධ්‍යක්ෂ විදිහට වැඩ භාරගත්තා.

එතකොට ඒක තිබ්බෙත් ලාස් වේගාස් රෝහල වගේ නරක අතට. එහෙම වුණාම ලෙඩ්ඩු දෙන්නේ නෑ. මෙහේ ඉස්පිරිතාලවල වෛද්‍යවරු කැමැති වෙන්න ඕනෑ රෝහල්වලට එවන්න. රෝහලට නමක් තියෙනවා නම් ඕනෑ තරම් ලෙඩ්ඩු එනවා.
රොක්හිල් රෝහ‍ලේ ඇඳන් 60ක් තියෙනවා. මම යනකොට රෝගීන් හිටියේ 29ක් තිහක් වගේ. ඒ ඉන්න අය සුවපත් වෙන්නෙත් නෑ, ඉක්මනට ගෙදර යවන්න.
මට ගොඩක් මහන්සි වෙන්න වුණා. මම රෝහ‍ලේ ඉහළ ඉන්න කෙනාගේ ඉඳලා පහළම ඉන්න කෙනාට යනකල් අවබෝධ කරලා දුන්නා සේවයේ වටිනාකම. ඒ අයව එකට බැඳීමකින් බැඳලා තියන්න උත්සාහ ගත්තා.

මම කියලා දුන්නා හැමදෙනාම සතුටෙන් සිටියොත් තමයි හැම දෙයක්ම ඵලදායී වෙන්නේ කියලා. මම රෝහ‍ලේ ඒ ඒ දෙපාර්තමේන්තුවලට කතා කළා. ඔවුන්ගේ ආතතිය නැති කළා. පරතරය නැති කළා. ඔවුන්ගේ සිත් සතුටු කරලා සියල්ල ඵලදායී තත්ත්වයට ගෙනාවා.”

මාලිකා ඒ වෙනස වාක්‍යයකින් දෙකකින් කීවාට ඇයට එය කරන්නට කාලයක් ගියේය. එමෙන්ම බොහෝ වෙහෙසක් දරන්නටත් සිදුවුණාය.

“මම ගොඩක් වෙලාවට අජාන් බ්‍රහ්මවංශ හාමුදුරුවන්ගේ බණ අහනවා. ඒ පිළිවෙත් මම මෙහේ අයට උගන්වනවා. අපිට ජීවිතයේ වැදගත්ම මොහොත මේ මොහොත. වැදගත්ම පුද්ගලයා වන්නේ මේ මොහොතේ මා සමග ඉන්න කෙනා. වැදගත්ම දේ මොකක්ද කිව්වොත් තමන් එක්ක ඉන්න කෙනාට දක්වන සැලකිල්ල. ඒවත් එක්ක මං කාර්ය මණ්ඩලයට කියන්නේ ගෙදර යනකොට මේ සියල්ල අමතක කරන්න. තමන්ගේ පෞද්ගලික ජීවිතේ ගත කරන්න. ලෙඩා එක්ක ඉන්කොට ඒ මොහොත වැදගත් කරගන්න කියලා.

ඒ අතරේ මම ලෙඩ්ඩු රෝහලට ගත්තා. එයාලට හොඳට සැලකුවා. ඉක්මනින් සුවපත් කරලා ගෙදර යවන්න පුළුවන් වුණා. එතකොට ලෙඩාට ආණ්ඩුවෙන් ගෙවන ගාණ විධිමත් පාලනයකින් වියදම් කරලා රජයට මුදල් ඉතුරුත් කරලා දුන්නා. ඒකෙන් ලෙඩත් හොඳ වෙනවා. මුදලුත් ඉතුරු වෙනවා. රෝහල හැමෝටම ප්‍රසන්න තැනක් කළාම කවුරුත් වැඩ කරන්න කැමැතියි. ඒ නායකත්වය යටතේ. මම රොක්හිල් රෝහල උඩට අරන් ආවේ ඒ විදිහට..”

ඇගේ මහන්සියේ ප්‍රතිඵල පෙන්නුම් කළේ රෝගීන්ගෙන් සහ කාර්ය මණ්ඩලයෙනි. කාර්ය මණ්ඩලය සිනාවෙන් සතුටෙන් සිටීමත්, රෝහ‍ලේ ඇඳන් පිරෙන්නට රෝගීන් සිටීමත් ඇයටද සතුටක් විය. එමෙන්ම ඇගේ නමින්ම රෝගීන්ගේ හා රෝහ‍ලේ සියලු දෙනාගේ මනස සුවපත් කිරීමට අංශයක් හෙල්ත් සවුත් වෙතින්ම ඉදි කෙරුණේය.
“අවුරුද්දකට වතාවක් මේ රෝහල්වල ප්‍රමිතිය බලනවා. ඒ ප්‍රමිතිය බලන එකට කිසි කෙනකුට බලපෑම් කරන්න බෑ. වෙනමම සමාගම්වලින් කෙරෙන්නේ. මේ වසරේ මධ්‍යම අත්ලාන්තික් ප්‍රාන්තයේ හොඳම තත්ත්වයෙන් උසස් රෝහල රොක්හිල් පුනරුත්ථාපන රෝහල ලෙසටත්, හොඳම වෛද්‍ය අධ්‍යක්ෂ ලෙසට මමත් අංක එකට තේරෙන්නේ. ඒ අතරේ ඇමෙරිකාවේ ජනාධිපති කවයට තේරුණ රෝහල් පහ අතරේ මේ රෝහලත් එකක්.

මට ඉතින් ආඩම්බරයි. උත්සාහය, ආත්ම විශ්වාසය තියෙනවා නම් ලෝකේ කොතැනක ඉඳලා හරි අපිට දිනන්න පුළුවන්.”

නිහතමානී සතුට මාලිකා වචන කළේ එලෙසිනි. මාලිකාගේ ජීවිතය ඇත්තේ ඇමෙරිකාවේය. ඇගේ සැමියා ඉංජිනේරුවකු වූ අර්ල් පෙරේරාය. අද විශ්‍රාමිකය. එකම පුතා රවිඳු පෙරේරා ගුවන්යානා පියාසර නිලධාරියෙකි. විටින් විට වසරකට දෙතුන් වරක් ලංකාවට පැමිණ යන ඇය නිහඬවම සුබසාධන හා සමාජ සේවා වැඩ කටයුතුවලද යෙදෙන්නීය. එමෙන්ම ඇය ‍ලේඛිකාවක්ද වන්නීය. පුවත්පත් සඳහා මානසික රෝග සම්බන්ධ ලිපි රැසක් ලියා ඇති වෛද්‍ය මාලිකා ජයසූරිය ලියූ ‘සුදු අයියා’ නවකතාව අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිර්දේශ කළ පාසල් කියැවීම් ‍පොතකි.

බියංකා නානායක්කාර

doctor1 (5)
සිත සුවපත් කරන්නට ඉදිකළ අංශය
doctor1 (4)
රෝගියෙකු සමග වෛද්‍ය මාලිකා
doctor1 (3)
හොඳම වෛද්‍ය අධ්‍යක්ෂවරිය ලෙස සම්මාන ලබා රෝහ‍ලේ ප්‍රධාන විධායක නිලධාරිනිය සමග
doctor1 (2)
රවිඳු පුතා හා සැමියා සමග
doctor1 (1)
රොක්හිල් රෝහල