දින ‍පොතක සටහන් තැබිම පෘතග්ජන පුද්ගලයින් අතීතයේ සිට කරෙන්නකි. එදා කඩදාසියේ තැබූසටහන් අද තැබෙන්නේ ඩිජිටල් ඩයරියේය. එබඳු දින‍පොතක මෙබඳු සටහන් තිබුණොත් කොහොමට හිටීද?

අද දින මිදු‍ලේ තිබූ පරණ යකඩ කෑල්ලක් ‍පොඩි පුතා මට පෙන්නුවා. ඒ ගැන සැක සිතී ‍පොලිසියට දැන්වූවිට හමුදා නිලධාරීන් පැමිණ එය අට් බෝම්බයක් ලෙස හඳුනාගෙන රැගෙන ගියා.

අද දින යාබද ඉඩමේ ගොඩනැගිල්‍ලේ මෝටාර් 2ක් නිෂ්ක්‍රීය කළා.
අද දින මාගේ නිවසට යාබද ළිඳ ළඟ තිබි පතරොම් මල්ලක් හමුවුණා.
අද දින මිදු‍ලේ තිබි සැකකටයුතු යකඩ කැබැල්ලක් හමුවුණා. කලින් හමුවූ යුද අවිය සම්බන්ධයෙන් ප්‍රමාණවත් පරීක්ෂණයක් නොවුණ බැවින් ‍පොලිස් මූලස්ථානයටම පැමිණිලි කළා. ඔවුන් පැමිණ මෙය ගුවන් යානා නාශක උණ්ඩයක් ලෙස හඳුනාගත්තා.

මේවා කොස්ගම යුද හමුදා කඳවුර යාබද නිවැසියකුගේ දින සටහන් යැයි ඔබ සිතනු නියතය. එහෙත් ඔබේ තීරණය වැරදිය. මේ සටහන් උපුටා ගැනුණේ කොටදෙණියාව කරබොටුවාවේ නිවැසියකුගේ දින සටහන් ‍පොතකිනි. අනුන්ගේ දින සටහන් කියැවීම හොඳ දෙයක් නොවුවත් දින ‍පොතේ හිමිකරුම සිය දින සටහන් අපට පෙන්වා තමන්ටත් ගම්වැසියන්ටත් සිදුවී ඇති අවනඩුව කියූ නිසා ඊට සමාජ වටිනාකමක් තිබෙන බව කිව යුතුය.

මේ කියන කොටදෙණියාව කරබොටුවාව ගමේ පවුල් 33ක් පදිංචිව ඇත. අක්කර 22ක් පුරා විහිදී ඇති පරණ යකඩ උණු කරන ෆැක්ටරිය ගම්වැසියන් කියන පරිදි ඉන්දියාවේ ‘චෙන්නායි’ ප්‍රදේශයේ කලින් පවත්වාගෙන යන ලද්දකි. එහි විවිධ පරිසර ප්‍රශ්න ඇතිවී ක්‍රමයෙන් ඒවා උග්‍ර වූ නිසා පරිසර සංවිධාන දිගින් දිගටම විරෝධතා දැක්වීමත් ඉන් නොනැවතී අධිකරණය මගින්ද තහනම් නියෝගයක් ලැබිමත් හේතුවෙන් අදාළ කර්මාන්තකරුවාට එය වසා දැමීමට සිදුව තිබේ. නමුත් ඒවනවිටත් කර්මාන්ත ශාලාව අවට ගම්වැසියන් සෙම්රෝග, හුස්ම ගැනීමේ අපහසුතා සහ හඳුනාගත නොහැකි රෝග මෙන්ම පිළිකා පූර්ව රෝගවලින් පීඩාවට පත්වී හමාරය. අදාළ ලෙඩ කම්හල සිය ගමට ගේන විට ගම්මුන් දැඩි විරෝධතාවක් පෑවේ ඉහත කී තත්ත්වය ඔවුන් දැන සිටි නිසාය.

නමුත් එවක පැවති දේශපාලන බලපරාක්‍රමයන්, උසස් තනතුරුවල සිටි පුද්ගලයින්ට විසිකෙරුණු ‘ඉන්දියන් රුපියල් සූට්කේස් කීපයක ආනුභාවයක් හේතුවෙන් කිසිදු අපල උපද්‍රවයක් නැතිව මෙය 2007 දී කරබොටුවාවේ ස්ථාපිත කෙරුණේ මහේශාඛ්‍ය ලීලාවෙනි.

එදා සිට අද දක්වා මේ කර්මාන්තශාලාවට එරෙහිව ගම්වැසියන්ගේ විරෝධතා මෙරට ගුවන්විදුලි, රූපවාහිනි, පුවත්පත් ආදී ජන සන්නිවේදන මාධ්‍යයන්ට නම් ප්‍රවෘත්තියක් නොවීය. ගියවර ඉරිදා රිවිර පුවත්පතේ ගම්පහ ළිංවල වතුර හිඳීමට ප්‍රධාන හේතුවක් බවට නළ ළිං මගින් භූගත ජලය ඇදීම දක්වා තිබිණි. මෙම කර්මාන්තශාලාවේදී කෙරෙන්නේ පරණ යකඩ උණුකර දඟරවානේ සෑදීමයි. එම යකඩ නිවාදැමීමට ඇල්වතුර අවශ්‍යය. මුලින් මුලින් මේ කර්මාන්ත ශාලාව ප්‍රාදේශීය සභාවෙන් බවුසර මගින් ජලය ලබාගත්තත් පසුව තම භූමියේම දැවැන්ත නළ ළිඳක් නිමවා භූගත ජලය ඇදගත් ප්‍රමාණය සුළුපටු නොවේ. උණුකළ යකඩ නිවූමේ අප ජලය කිසිදු පිරිසිදු කිරීමකින් තොරව කරබොටුවාව කානු දිගේ ගලා යනු අපටද දැකගත හැකිවිය. මල මිශ්‍ර මේ අපිරිසිදු ජලය කරබොටුවාවේ සශ්‍රික භූමියට කිඳා බසින්නේ ප්‍රදේශයේ ඉතිරිවී ඇති කුඩා ජල මූලාශ්‍රයන් ද විනාශ කරමිනි.

ගම්වැසියන් මේ කර්මාන්ත ශාලාවට විරුද්ධ වෙද්දී එය පිහිටා ඇති ප්‍රදේශයේත් උපරිම සේවක පිරිසකට රැකියා අවස්ථා දීමට එකඟ වී තිබේ. නමුත් කර්මාන්ත ශාලාවේ සේවයට මුළු ගමෙන්ම තෝරාගෙන ඇත්තේ ගම්වැසියන් 7 දෙනකු පමණි. ඉන්දියන් කම්කරුවන් 275ක් මෙම කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතු අතර විටින් විට වීසා නොමැති වීමෙන් 20කට අධික පිරිසක් අත්අඩංගුවට පත්වී ඇත. මෙම යකඩ උණු කිරීමේදී නිකුත්වන මලකඩ කුඩු සහිත දුම ආග්‍රාහනය වීමෙන් රෝගී තත්ත්වයට පත්වූ බොහෝ දෙනකුට එක දිගට මාස ගණනාවක් සේවයේ යෙදීම අපහසු වී ඇත. දිගින් දිගට එල්ලවූ ගම්වැසියන්ගේ විරෝධතා හමුවේ කර්මාන්ත ශාලාව කළේ ගම්වැසියන්ගේ නිවෙස්වලටම ‘කේක්’ ගෙනවිත් දීමය. එහෙව් දැහැමි ගම්වැසියෝ ඒවා ප්‍රතික්ෂේප කළහ. නව අවුරුද්දට කැලැන්ඩර් මිටි පිටින් ගම්වැසියන්ගේ නිවෙස්වලට ලබා දෙන්නට වූයේ ද ඔවුන් යාළුකර ගැනීමටය.

අවසානයේ මේ කර්මාන්ත ශාලාවෙන් පීඩාවට පත් පිරිස් පරිසර සංවිධානයක් ගොඩනගාගෙන තම විරෝධය එල්ල කරන්නට වූහ. ඉන්දියන් රුපියල් ලක්ෂ ගණන් බලධාරීන්ට සහ දේශපාලකයින්ට විසිකරමින් ගඩොල් ‍පෝරණු වරිපනම් බදු ගෙවමින් තම බලපරාක්‍රමය පෙන්වන මේ ෆැක්ටරියට අවසානයේ දණගසන්නට සිදුවූයේය. ඒ අනුව කර්මාන්ත හිමියා පලාතේ පරිසර සංවිධානය සමග ගිමිසුමකට එළැඹියේය. ඊට අයත් කාරණා මෙසේය.

අප ආයතනයේ සේවය කරන සේවකයින් පිළිබඳ සම්පූර්ණ විස්තරයක් කොටදෙණියාව ප්‍රදේශය භාර නියෝජ්‍ය ‍පොලිස්පතිතුමාට භාරදෙන අතර එම සේවකයන්ගෙන් එම ප්‍රදේශයට කිසිදු හිරිහැරයක් සිදු නොවන බවට ‍පොරොන්දු වෙමු.

අප ආයතනයේ ප්‍රවේශ දොරටුව අසල පිහිටුවා ඇති වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ප්‍රදේශවාසීන්ට නොමි‍ලේ ප්‍රතිකාර ලබා ගත හැකිය.

ආයතනය දක්වා දිවෙන මාර්ගය අපි විසින් නඩත්තු කෙරේ.

සැලකියයුතු මුදලක් ග්‍රාම සංවර්ධනය හෝ ක්‍රීඩා වැඩසටහන් සඳහා අප ආයතනය මගින් වාර්ෂිකව ලබාදීමට කටයුතු කර ඇත. මේ පිළිබඳව පූර්ව දැනුවත් කිරීමක් සිදුකෙරෙන අතර පරිසර සංවිධානයේ අදහස්වලට ප්‍රමුඛත්වය ලැබෙනු ඇත.
අනාගතයේදී කර්මාන්තශාලාව පවත්වාගෙන යාමේදී යම් ගැටලුවක් මතු වුවහොත් එම අවස්ථාවේදී පරිසරය සුරැකීමේ සංවිධානය සමග සුහදශීලීව සාකච්ඡා කිරීමට එකඟතාව පළ කරමු.

යකඩ ලෝහය හැර වෙනත් කිසිම ලෝහ වර්ගයක් (තඹ, ඇලුමීනියම්, ඊයම් වැනි) උණු කිරීමට කටයුතු නොකරන බවට සහතික වෙමු.

නමුත් අවසානයේ සිදුවූයේ කුමක්ද? හොඳට එළියවැටී තිබුණු දහවල කර්මාන්ත ශාලාවේ වැඩ මන්දගාමී වුවද අඳුර වැටෙද්දී යකඩ උණු කරන මැෂින් ක්‍රියාත්මක වූයේ කන් බිහිරිකරමිනි. ඉන් නිකුත් වූ දුමාරයෙන් පළාතම වනසාගෙන හමාගියත් අඳුර නිසා එය හඳුනාගැනීමට නොහැකි විය. අඩි සියයක් පමණ දිග චිමිනි කොනින් බුර බුරා නගන ගිනි දළු දුටු ගම්වැසියන් මවිතයට පත්වූයේ තමන්ගේ දුක්ගැනවිල්ල ගැන නිසි පරීක්ෂණයක් කිරීමට පරිසරයට අදාළ රාජ්‍ය ආයතනත්, නීති අංශත් සක්‍රීය ලෙස දායක නොවීම නිසාය. උදෑසන අවදිවන ගම්වැසියන්ට දැක ගත හැකිවූයේ තම වත්තේ ඇති ගස්වල කොළ මත පතිත වී ඇති මළකඩ කුඩුය. ඔවුන්ගේ ළිං ජලය මත ඒ මළකඩ කුඩු පතිත වී තිබිණි. එහෙයින් බිමට ජලය සොයා ඈත ගම්මාන කරා යෑමට ඔවුනට සිදුවිය. නමුත් අවසානයේ ගමේ ළිංවල වතුර සිඳීගියේ මේ යකඩ උණුකරන ෆැක්ටරියේ නළ ළිඳෙන් දැවැන්ත ලෙස භූගත ජලය ඇද ගන්නා නිසාය.

ප්‍රදේශයේ පරිසර සංවිධාන සමග වූ ගිවිසුමේ පැහැදිලිව සඳහන්ව ඇත්තේ යකඩ පමණක් උණුකරන බවය. නමුත් අවිආයුධ පවා අඹරණ ලෝකයේ එකම ෆැක්ටරිය මෙය විය යුතුයි. කර්මාන්තශාලාවේ විටින් විට සිදුවන පිපිරීම් ගැන රටේ නීති අංශ මගින් කිසිදු සොයා බැලීමක් කර නැත. ‍ලේ පෙරාගෙන සිටින තුවාල ලත් සේවකයන් වෑන් රථවලින් රෝහල් කරා ගෙන යනු ගම්වැසියනට පෙනෙයි.

මෙතරම් කාලයක් තිස්සේ මේ යකඩ උණුකරන කර්මාන්ත ශාලාවට ව්‍යාපාරික බලපත්‍රයක් හෝ මධ්‍යම පරිසර අධිකාරියේ අනුමැතියක් නොඑසේනම් ශබ්ද මට්ටම් වාර්තාවක් හෝ වායු විශ්‍ලේෂණ වාර්තාවක් සහිතව පරිසර ආරක්ෂණ බලපත්‍රයක් තිබේදැයි ඔබටද ප්‍රශ්නයක් පැණනැගෙනු ඇත. මේ බලපත්‍ර ගැන මොනවා කීවද 2015 වනතුරු මෙම කර්මාන්තශාලාව පවත්වාගෙන ගොස් ඇත. අග්‍රාමාත්‍ය කාර්යාලයට ලැබුණු පැමිණිල්ලක් මත 2016.03.08 දින මගේ අංක ර් 10/06/8718 යටතේ අග්‍රාමාත්‍ය කාර්යාලය මධ්‍යම පරිසර අධිකාරියට නිකුත්කර ඇති ලියවිල්ලක සඳහන් වී ඇත්තේ මෙම කම්හල 2015 වසරේ සිට බලපත්‍ර නොමැතිව ක්‍රියාකර 2016 වසරට බලපත්‍ර ලබාගැනීමට ඉල්ලුම්කොට ඇති බැවින් ඒ ගැන අවධානය යොමුකරන ලෙසය.

එමෙන්ම මේගැන ජනාධිපති කර්යාලය 2015 ජූලි මස 09 වැනි දින
ඛිඉ/1/04/02/51449 දරන නිවේදනය නිකුත් කොට ඇත්තේ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ගරු ‍ලේකම්වරයා වෙතය. උක්ත යකඩ උණුකරන කම්හල නිසා සිදුවන පරිසර දූෂණය සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයට ලැබි ඇති පැමිණිල්ලක් ගැන ඉන් කියවෙයි. ඒ ගැන පරීක්ෂා කොට බලා පවත්නා නීති හා විධිවිධානයන්ට අනුකූලව ගැටලුව විසඳීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම ලිපියෙන් දන්වා ඇත.
අවසානයේ අපට දැනගැනීමට අවශ්‍ය වූයේ මධ්‍යම පරිසර අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයෙන් මෙම කර්මාන්ත ශාලාවට පාරිසරික ආරක්ෂක බලපත්‍රයක් ලබාදී තිබේද යන්නයි. 2016.01.16 සහ 2016.03.24 යන දිනවල මධ්‍යම පරිසර අධිකාරිය මගින් මෙම කර්මාන්ත ශාලාවට බලපත්‍ර දෙකක් නිකුත්කර ඇති බවට වූ ඔත්තුවක් පසුපස හඹායෑම අපේ අරමුණ විය. මෙයින් මුල් බලපත්‍රය දඟර වානේ නිෂ්පාදනය සඳහා ද දවෛනි බලපත්‍රය යකඩ උණුකිරීම සඳහා ද වේ. මධ්‍යම පරිසර අධිකාරියෙන් බලපත්‍රයක් නිකුත් කෙරෙන්නේ සාමාන්‍ය වසරක් සඳහාය. මෙයින් මුල් බලපත්‍රය දැන් අවසන්වී ඇත. දෙවැනි බලපත්‍රය අවලංගුවීමට ඇත්තේද දින කීපයකි. අපි අංක 033 223201 දරන දුරකථන අංකයෙන් ගම්පහ පිහිටි මධ්‍යම පරිසර අධිකාරියෙන් ද මේ ගැන කරුණු විමසුවෙමු. ඇමතුමට පිළිතුරු දුන් පුද්ගලයා තමන් මාධ්‍යයට කරුණු ලබා නොදෙන බවත් උක්ත දුරකථනයේ අවසන් අංකයට 2 යොදා අධ්‍යක්ෂවරිය අමතන ලෙසත් කීවේය. නමුත් අප ඒ අංකයට දින දෙකක් පුරා ඇමතුවත් එම අංකය කාර්ය්‍ය බහුලව තිබිණ. පළමු බලපත්‍රය අවලංගුව තිබියදීත් දඟරවානේ තවමත් හදන මේ ෆැක්ටරිය කිසිදු බාධාවකින් තොරව තවමත්් ක්‍රියාත්මක වන නිසා ඒ ගැන විමසීමට උත්සාහ කළ පරිසර අධිකාරියේ දුරකථනය දිගටම කාර්ය බහුල වී තිබිණි. අපට අවශ්‍ය වූයේ අනෙක් බලපත්‍රය කල් ඉකුත් වූ පසු නැවත බලපත්‍රයක් නිකුත් කරන්නේ නැත්නම් මෙවැනි බලපත්‍ර 2 ක් නිකුත්කර නැද්ද යන ප්‍රශ්නය. නමුත් පරිසර අධිකාරියේ දුරකථනය කාර්ය බහුල වී තිබිණ. අවසානයේ අපට ඒ අංකයේ ‘මැඩ්ම්’ට ඇමතිය හැකිවිය. ඇය පවසා සිටියේ අප අගින් කී අංකයට අමතා තොරතුරු ලබාගන්නා ලෙසය. දුරකථන අංක දෙක ඇත්තේ පාර දෙපැත්තේ බවද දිවුලපිටියට අයත් මෙම කර්මාන්ත ශාලාවට වගකිවයුතු නිලධාරීන් සිටින්නේ එහි බව ‘මැඩම්’ අපට දැනුම් දුන්නාය. අප නැවතත් එම අංකයට කතා කළවිට ලැබුණේ පෙර කී පිළිතුරමය.
අවසානයේ අපට පෙනීගියේ මේ කර්මාන්ත ශාලාවට පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක් දුන්නාදැයි නිසැකවම කීමට මධ්‍යම පරිසර අධිකාරියේ බලධාරීන් නිර්භීත නොවන බවය.

මේ ගමේම ඇත්තන් නිවසක මිදුලට වැටුණු ගුවන් නාශක අවියක් ගැන පළාතේ ‍පොලිසියට දැනුම් නොදී කොළඹ ‍පොලිස් මූලස්ථානයට දැනුම් දීමෙන්ම ප්‍රදේශයේ රාජ්‍ය යාන්ත්‍රණය කෙරෙහි ප්‍රදේශවාසීන් අතර ඇති අවිශ්වාසය තහවුරු වෙයි. පීඩාවට පත් මේ ජනතාවට දැන් ඇති එකම පිළිසරණ නීතිමය අස්වැසිල්ල පමණි.

වජිර ලියනගේ

rpg

SHARE

4 COMMENTS

  1. Owa ahanna eka palakayek wath naha. Mokada un okkoma indian salli gilala sadda nathuwa inne. Thawa tika kalekin oya gamwala minissu leda wela marenakota oya desha palakayo parlimenthuwe sakachcha karala sahana milata mini petti labadenna kiyala cabinet eken anumarhiyak devi. Mewa kage waradida? Ape rate mee harak minissungema wardi neda. Rata karawanna ballo path karaganne nathuwa eelaga mathiwaranedi Janatha vimukthi peramunata rata bhara dunnoth witharai minissune ubalata oya rate jeevath wenna puluwan wenne.

  2. mewage saparadee deval karanna puluwan lokaye ekama rata lankawa bawa oya indian cheennu dannawa rata nidahas karagaththa kiyala kegahana maha eka salliwalata nokarapu deyak neha mu yuda jayagrahana walata muwa wela , rate bahutharayak hithan inne muu thama niyama nayakaya kiyala buddiyen nobala janathawak inna rataka tv eke kiyana onama deyak ismudunin piliganna un inna rataka bathkana harak nisa mulu mahath ratakma itha barapathala kedawachaka gananawakata rata eda gena yanawa mun degollama karanne ekama charithaya muhunu vitharai venas me krama vedaya venas nokara monawa kalath hariyanne neha ,

LEAVE A REPLY

Previous articleපිටසක්වළ යානාවලින් පොළොවට පාත්වන හෙණ එළි
Next articleමහනුවරට ආයුෂ අඩු වෙයිද?