ලෝකය පෙනෙන්නේ දෑසිනි. ඒ ලෝකයේ දෑ කියවන්නේත් දෑසිනි. ඒ නිසා දෑස නොපෙනෙන අයකුගේ සිතුවිලි දෑස පෙනෙන අයකුට නම් වචන කරන්නට බැරිය. ඒත් දෑස අහිමි වූවන්ට ලෝකය දකින්නට අසන්නට, ලෝකය හා පහසුවෙන් ගනුදෙනු කරන්නට හැකි ක්‍රමයක් කල්පනා කළ තරුණයකුත් අපේ රටේ සිටියේය. ඔහු ඉසුරු සම්පත් කාරියවසම්ය.

ඉසුරුගේ කල්පනාවේ ප්‍රතිඵලය සාර්ථක වුණේය. ඒ අනුව දෑස් අහිමි වූවන්ට දෑසක් වන් උපකරණයක් නිර්මාණය කරන්නට ඔහුට හැකි විය.

ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ ප්‍රවාහන සහ සැපයුම් කළමනාකරු ජයන්ත කාරියවසම්ගේත් මානව සම්පත් කළමනාකාරිනී ලතිකා පෙරේරාගේත් එකම පුතු වූ ඉසුරු විසිදෙහැවිරිදිය. කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ආදි සිසුවෙකි.

ඉසුරුටත් පාසල් වියේ සිහිනයක් තිබුණි. ඒ වෛද්‍යවරයකු වන්නටයි. ඒත් ඒ සිහිනය පසෙක තබා ඔහු මෘදුකාංග ඉංජිනේරු විද්‍යා උපාධිය හදාරන්නට ගත්තේය. ඒ ඉන්ෆොමැටික්ස් තාක්ෂණ ආයතනයෙනි. අද එහි දෙවන වසර සිසුවකු වන ඉසුරු ඉගෙන ගන්නා ගමන් අලුත් අලුත් නිර්මාණද අත්හදා බැලුවේය.

“ඉස්කෝලෙ යන කාලෙත් මගේම නිර්මාණ කරන්න තමයි වුවමනා වුණේ. ජීව විද්‍යා අංශයෙන්මයි. ඒත් ඒක පටන් ගන්න පුළුවන් වුණේ මම උසස් අධ්‍යාපනය හදාරන්න ගත්තට පස්සෙයි.

මගේ අලුත්ම නිපදවීම තමයි ඔරාසි උපාංගය ඇස් නොපෙනෙන අයගෙ එදිනෙදා ජීවිතේ කටයුතු ජංගම දුරකථනයට සම්බන්ධ කළ ඔරාසි උපාංගය මගින් ‍ලේසියෙන්ම කරගන්න පුළුවන්. මට ඕන වුණේ නව නිර්මාණයක් විතරක්ම නිර්මාණය කරන්න නෙවේ. මම ඉලක්ක කරපු අයට මේ නිර්මාණයෙන් සැබෑම ප්‍රයෝජනයක් ගන්න පුළුවන් විදිහටයි ඒක කරන්න ඕන වුණේ. ලංකාවෙත් ඕන තරම් නව නිර්මාණ බිහි වෙනවා. සමහර ඒවා හුඟක් ප්‍රයෝජනවත්. නමුත් මේවා අගය කිරීමකින් වුණත් පස්සේ ආකෘතියෙන් එහාට යන්නෙ නෑ. මට ඕන වුණේ එතැනින් එහාට ගිහිල්ලා ලෝකයේ ඉන්න අන්ධ අයට ඒ වගේම අඩු පෙනීමක් තියෙන අයගේ ප්‍රයෝජනයට මේ නිර්මාණය දෙන්න. ඇත්තටම මං මේ උපකරණය නිර්මාණය කරන්න මුල් වුණ හේතුවකුත් තිබුණා. ආරක්ෂක අමාත්‍යාංශයේ වැඩ කරපු මට වඩා අවුරුදු පහක් හයක් වැඩිමල් මගේ ඥාති සහෝදරයෙක් හිටියා සමන්ත කියලා. හදිසියේ රිය අනතුරක් වෙලා එයාගේ ඇස් දෙක පේන්නෙ නැතුව ගියා. එයා පරණ පුරුදු විදිහට සාමාන්‍ය දුරකථනයක් පාවිච්චි කරමින් ඇමතුම් ගන්න උත්සාහ කරන දිහා බලා ඉන්න කොට මට හිතුණා ඒ වගේ අයට ආයෙත් ලෝකය විවර කරගන්න ක්‍රමයක් හොයන්න.”

ඉසුරු තමන්ට ඔරාසි උපාංගය නිර්මාණය කිරීමට පසුබිම් වූ කතාව එයයි. ඔරාසි යනු ග්‍රීක බසින් ඇස් පෙනීමය යන්නයි. ඔරාසි උපකරණය පාවිච්චි කළ හැකි වන්නේ ජංගම දුරකථනයක් සමගිනි. ඒද ඊට් පහසුකම සපිරි ඇන්ඩේ‍රායිඩ් මෙහෙයුම් පද්ධතියෙන් යුත් ජංගම දුරකථනයක් වීමත් විශේෂත්වයකි.

සාමාන්‍යයෙන් ජංගම දුරකථනයක ඇමැතුම් ගැනීමේ සහ කෙටි පණිවුඩ පහසුව තියෙනවා. නමුත් දෑස් නොපෙනෙන කෙනෙක්ට කළ හැක්කේ ජංගම දුරකථන ඇමතුම් ගැනීම පමණයි.

මේ උපාංගයෙන් එක ජංගම දුරකථනයකට සම්බන්ධ වුණාට පස්සේ දෑස් නොපෙනෙන අයට ඇමතුම්, කෙටි පණිවුඩ පහසුකම් වගේම ‍පොතක පතක ඇති දෙයක් ඡායාරූපයකට ගැනීම මගින් ක්ෂණිකව කියවා ගැනීමට හැකිවීම, ඒ වගේම පුද්ගල හෝ රූප ඡායාරූප හඳුනා ගැනීමේ පහසුව සහ විස්තර කිරීම, මුද්‍රිත ‍ලේඛන අවශ්‍ය භාෂාවකට පරිවර්තනය කර කියවීමේ හැකියාව වැනි ක්‍රියාකාරීත්ව 18ක පහසුව අත්විඳින්න පුළුවන්.

මේ දේවල් එයාට දැනෙන්නෙ ශබ්ද මගින්. ඒ වගේම හැම පණිවුඩයක් ලැබෙද්දීම ශබ්දයක් ඇසෙනවා. මේ සියල්ල වන්නේ දුරකථනයකට සම්බන්ධ කළ ඔරාසි උපාංගයේ යොදා ඇති මෘදුකාංගයක් මගිනුයි.

මේ උපාංගය හා හැමවිටකම බැඳුණු ජංගම දුරකථනයකට එක්වරක් මේ මෘදුකාංගය ස්ථාපනය කළාට පස්සේ එතැනින් එහාට උපාංගය දුරකථනයට දිගටම සම්බන්ධයි.
පාවිච්චි කරන වෙලාවට  USB-OTG  ‍පෝට් (port) එක හරහා දුරකථනයයි උපාංගයයි සම්බන්ධ කරන්න විතරයි තියෙන්නේ.”

ඔරාසිි උපාංගයේ අකුරු ඇත්තේ ජාත්‍යන්තර බේ්‍රල් ක්‍රමයටය. එමෙන්ම මෙහි සියලුම සැකසුම් සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකින්ම යුක්තය.

මේ අයුරින් ක්‍රියාත්මක කළ හැකි ඔරාසි උපාංගය මගින් බේ්‍රල් අකුරු භාවිතයෙන් පණිවුඩ ලබා දෙන සහ ලබා ගන්නා අයගේ පෞද්ගලිකත්වයට හානියක් නොවන බව ඉසුරු කියන්නේ ඒවා වෙනත් අයකුට නොඇසෙන නිසාය.

එමෙන්ම වෙනත් ජංගම දුරකථනවල මෙහෙයුම් පද්ධතිවල ඇති සිරි, කෝටානා සහ ගූගල් ඇසිස්ටන් වැනි පෞද්ගලික සහකරුවන් තුළින් දෑස් නොපෙනෙන අයට කෙටි පණිවුඩ සහ ඇමැතුම් පහසුකම පමණක් ලබාගත හැකි මුත් එවිට පණිවුඩය වචනවලින් ශබ්ද නගා දිය යුතු නිසා ඔවුන්ගේ පෞද්ගලිකත්වයට හානියක් වන බවද ඉසුරු කියයි.
“ඔරාසි උපාංගය ඔරාසි ව් සහ ඔරාසි 2.0 ලෙසින් අවස්ථා දෙකකදී හැදුවා. ඔරාසි ව් තමයි මුලින්ම හැදුවේ. මාස තුනක් වගේ කෙටි කාලයකින් හැදුව ඔරාසිි ව් උපාංගයට ජනක් අමරසේන සහ රවීන් සචින්ත අතපත්තු මට සහයෝගය දුන්නා. ඊට පස්සේ ඒක වැඩි දියුණු කරලයි ඔරාසි 2.0 ඩිවයිස් එක හැදුණේ.

ඔරාසි ව් ඩිවයිස් එකට ජයග්‍රහණ කීපයකුත් ලැබුණා. ඩිස්ට්‍රස්ට් 2.0 ෆියුචර් ඔ තරගයේ (Distrust 2’0 future  අවසාන නිර්මාණ 12ටත් එස්.එස්. 12 ඒෂියා (SS12Asia) 2016 තරගයේ අවසන් නිර්මාණ පහටත් තේරුණා.

තවදුරටත් දියුණු කළ ඔරාසි 2.0 නිර්මාණය 2017 අයි.අයි.ටී. හැක් (IIT Hack)තරගයෙන් ප්‍රථම ස්ථානයත් ගෝලීය ශිෂ්‍ය ව්‍යවසායකත්ව සම්මාන තරගයෙන්  (GSEA) දෙවැනි ස්ථානයත් දිනා ගත්තා. ඒ අයුරින් තම නව නිර්මාණය වෙනුවෙන් ජයග්‍රහණ අත්කර ගෙන ඇති ඉසුරු මින් පෙර දූතයා නමින් පද්ධතියක් ද නිමවා තිබේ. ‘දූතයා’ මගින් වාහනයක් අනතුරට ලක්වූ ක්ෂණිකවම වාහනේ ඇතුළෙ හිටියෙ කවුද? අවසාන වේගය, හරියටම අනතුර සිදුවූ තැන කලින් ඇතුළත් කරන ලද ඕනෑම අංක ප්‍රමාණයකට, ‍පොලිසියට, ගිලන් රථ සේවාවට, රෝහල්වලට ක්ෂණිකව දැනුම් දීම සිදු කරයි.

“දූතයා නිර්මාණයටත් අයි.අයි.ටී. කටින් එජ් 2016 (IIT Cutting edge) තරගයේ දෙවැනි ස්ථානයත්, ජනශක්ති ඇපකන් චැලෙන්ජ් තරගයේ අවසන් 20 දෙනා අතරටත් තේරුණා.

මම ඊළඟට කරන්න හදන්නෙ ඔරාසි 2.0 ඩිවයිස් එක ඇස් පෙනෙන්නෙත් නැති කන් ඇහෙන්නෙත් නැති අය වෙනුවෙන් තවදුරටත් දියුණු කරලා අලුත් කරන්න.

මේ වෙනකොට මගේ ඥාති සහෝදරයාට මම මේ ඩිවයිස් එකත් ලබා දීලා තියෙනවා තවදුරටත් පර්යේෂණ කටයුතු සඳහා තවත් අඩුපාඩු තියෙනවා නම් හදා ගන්න. ඒ වගේ තවත් ඔරාෂි ඩිවයිස් කීපයක් පර්යේෂණ සඳහා දෙන්න බලා‍පොරොත්තු වෙනවා.

මම මේ වෙනකොට පේටන්ට් බලපත්‍රය ඉල්ලුම් කරලයි තියෙන්නේ. ඒත් එක්කම දැන් ඔරාසි උපාංග එක වෙළෙඳ‍පොළට දෙන්න සූදානම්. රුපියල් 15,000ත් 20,000ත් අතර වගේ මිලකටයි අලෙවි කරන්න බලා‍පොරොත්තු වෙන්නෙ… 0763633316 දුරකථන අංකයෙන් හෝ ඹඹඹ.ධනපධණඥජබධපචඵඪ.ජධථ වබේ අඩවියට ඇණවුම යොමු කරන්න පුළුවන්.”

ලංකාවේ පමණක් නොව ලෝකයේම දෑස් නොපෙනෙන අයට දෑස් නොපෙනෙන අය දන්නා හඳුනන අය හට මේ තොරතුර සතුටුදායක අරංචියක් වනු නොඅනුමානය. මේ වන විට උපාධිය හදාරන අතරේම ඊනිෆ් ලැබ්ස් (ජ්දඪට තචඡඵ) ආයතනය අරඹා ඇති එමගින් මෘදුකාංග, වබේ අඩවි නිර්මාණය මෙන්ම ඉලෙක්ටේ‍රානික සම්බන්ධ සම්පූර්ණ නිෂ්පාදන සේවාවද ලබාගැනීමට පුළුවන් බව ඉසුරු කියයි.

“අම්මයි තාත්තයි මට හුඟක් උදව් කළා. ඒ වගේම කැම්පස් එකේ ගුහනාතන් ‍පොරවි සහ ප්‍රසන්න පත්මනාතන් ආචාර්යවරුන්ගෙත් මගපෙන්වීම ලැබුණා.

මම ‍පොඩි කා‍ලේ ඉඳලම රතු කුරුස සමාජයේ පසුබිමක හැදුණේ. ඒ තුළින් මිනිසුන්ට උදව් කිරීම මං දැක්කා. මමත් 2011 වසරේ ඉඳලා රතු කුරුස සමාජයේ කොළඹ ශාඛාවේ ස්වේච්චා සේවකයෙක්. 2015 වසරේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කොරියාවේ පැවැති ජාත්‍යන්තර රතු කුරුස සහ රතු අඩ සඳ මහා මණ්ඩල සැසිවාරයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන නියෝජිතයා විදිහටත් සහභාගි වුණා.

මෘදුකාංග ඉංජිනේරු උපාධිය හදාරමින් තමන්ගේම ආයතනයක්ද පවත්වාගෙන යමින් අලුත් නිපැයුම් ද නිර්මාණය කරමින් ඉසුරු යන ගමන උත්සාහවන්තය. ප්‍රශංසනීයය. එහිදී ලෝකයේම ඇස් නොපෙනෙන මිනිසුන් වෙනුවෙන් නිපැයූ ඔරාසි උපාංගය විශිෂ්ටතම නිර්මාණයක් ද වනු ඇත.

බියංකා නානායක්කාර
ඡායාරූප- චතුර එස්. කොඩිකාර

orasi (1)
ඔරාසි උපකරණය ස්මාර්ට් දුරකථනයකට සම්බන්ධකර භාවිතා කරන අයුරු
orasi (2)
ගෝලීය ශිෂ්‍ය ව්‍යවසායකත්ව සම්මාන උළෙ‍ලේ දෙවන ස්ථානය දිනාගත් අයුරු