අර්ජුන මහේන්ද්‍රන්

අපේ රටේ පමණක් නොව සමස්ත ලෝකය පුරාම විසිරී පැතිරී සිටින ආර්ථික විශේෂඥයන්ගේ පමණක් නොව සමස්ත වාණිජ ප්‍රජාවගේමත් සිත් සතන් අද වන විට බෙහෙවින්ම යොමුව ඇති වඩාත්ම ආන්දෝලනාත්මක සිද්ධිය බවට පත්ව ඇත්තේ ශ්‍රී ලංකාද්වීපයේ මහා භාණ්ඩාගාරය හා බැඳුණු “මහදවල් – මහ බැංකු මංකොල්ලය” ලෙස කුප්‍රකට ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර වෙන්දේසි මාලාවක් පිළිබඳ කතාන්දරයයි.

වසර 2015 පෙබරවාරි මස 27 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුව මගින් පවත්වන ලද ප්‍රශ්නගත භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියෙන් ආරම්භ වූ භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි එකක් දෙකක් නොව ගණනාවක් ගැනම දවසින් දවස කරුණු අනාවරණ වීමත් සමග එම තත්ත්වය හෙළි වී තිබේ.

මෙම ලිපිය සඳහා කරුණු පෙළගස්වද්දී ලියුම්කරුගේ ඇස් පනාපිටම බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශනයක යෙදී සිටින ජනාධිපති පරීක්ෂණ කොමිසම ඉදිරියේ අලුතින්ම අනාවරණය වූ කරුණු කාරණා ගැන සඳහන් කරමින් මෙම කතා පුවත අරඹමු.

මේ සතියේ දී මහ බැංකු බැඳුම්කර විමර්ශන කොමිසම හමුවේ අවසන් වරට ඉදිරිපත් වූ සාක්ෂිය වන ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය මණ්ඩල ‍ලේකම්වරයා වශයෙන් 2015 ජනවාරි මස 23 වැනි දින සිට කටයුතු කරන එච්. ඒ. කරුණාරත්න මහතාගෙන් හෙළි වූ කරුණු එතෙක් මතෛක් කොමිසම හමුවේ අනාවරණය වූ ජුගුප්සාජනක සිදුවීම් මාලාවට නොදවෛනිය.

අර්ජුන මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් පත්ව ආ සැණින් එහි ක්‍රියාත්මක අභ්‍යන්තර දෙපාර්තමේන්තු 24 හිම ප්‍රධානීන් ඉවත් කරනු ලැබූ බවත්, ඔවුන් ඒ මේ අත මාරු කර යැවූ ආකාරය කෙසේ ද යත් මාරු කිරීම් 34 කට මුහුණ දෙන්නට එම ප්‍රධානීන් හට සිදු වූ බව ද ඔහු අනාවරණය කළේ ය.

ඔහුගේ සාක්ෂියේ දී හෙළි වූ තවත් අපුරු කරුණක් වූයේ මහ බැංකුවේ මූල්‍ය ක්‍රියාකාරකම් සිදු කිරීමේ දී ඒවායෙහි විනිවිද බව තහවුරු වනු පිණිස ව්‍යවස්ථාපිත නියමකොට ඇති පරිදි මූල්‍ය කටයුතුවලට සම්බන්ධිත දෙපාර්තමේන්තු 04 ක ප්‍රධානින්ගෙන් සමන්විත වූ අධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් “මූල්‍ය මණ්ඩලය” වශයෙන් ක්‍රියාත්මක විය යුතු බවක්,
එහෙත් අර්ජුන මහේන්ද්‍රන් මහතා පැමිණීමෙන් පසු වසරකටත් වඩා දීර්ඝ වූ කාල සීමාව තුළ මූල්‍ය මණ්ඩලය රැස් වූයේ ඉන් සාමාජිකයන් දෙදෙනකුම නොමැතිව තිදෙනකුගෙන් පමණක් සමන්විතව බවය.

කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතාගේ විමසුමකට ප්‍රතිචාර දක්වමින් ඔහු වැඩිදුරටත් තහවුරු කොට සිටියේ 2016 ජූලි මස 27 වැනිදා වනතුරුත් මූල්‍ය මණ්ඩලයේ සාමාජිකත්වය සම්පූර්ණ නොවී තිබූ බවය.

ඔහු අවධාරණය කළේ එතෙක් පුරා වසරකටත් වැඩි කාල සීමාවකදී මූල්‍ය මණ්ඩලය මගින් ගනු ලැබු සියලු තීන්දු තීරණ ගනු ලැබුවේ 05 දෙනාගෙන් 02 දෙනකුම නොමැතිව ඉතිරි තිදෙනාගේ අනුමැතියෙන් පමණක් බවත්ය.

ඉකුත් සතිය ආරම්භ වීමත් සමගම මහ බැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳ අලුත්ම පුවතක් වාර්තා වූයේ බැඳුම්කර ‘නාටකයේ ප්‍රධාන නළුවා’ බවට කාගේත් ඇඟිල්ල දිගු වී සිටින අර්ජුන මහේන්ද්‍රන්හට නොතිසියක් නිකුත් කරමින් කොමිසම හමුවට කැඳවීමත්, එසේ කැඳවන ලද ඔහුගෙන් සඳුදා දිනයේ පැය 09 ක්ද, අඟහරුවාදා දිනයේ පැය 08 ක්ද, බදාදා දිනයේ පැය 04 ක්ද වශයෙන් රඳවා ගනිමින් දිගින් දිගටම ඔහුට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පුරා පැය 21 ක් තිස්සේ කොමිසමට සහාය වන ‍පොලිස් අපරාධ විමර්ශන නිලධාරින් කණ්ඩායමක් විසින් ප්‍රශ්න කිරීමත් සමගය.

බදාදා දිනයේ ඔහු වෙනුවෙන් කොමිසම හමුවට පැමිණි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කොමිසමට පැවසුවේ තම සේවාදායකයා එක දිගට පැය 08, පැය 09 ආදී වශයෙන් රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් ඔහුට අඩන්තේට්ටම් කිරීම පිළිබඳ තමන්ගේ විරෝධය පළකරන බවය.

කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු චිත්‍රසිරි මහතා නීතිඥවරයාට ප්‍රකාශ කළේ එමගින් ඔහුට අඩන්තේට්ටම් කිරීමක් නොකරන බවත්, පැහැදිලි කරගත යුතු කරුණු සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට විමර්ශන නිලධාරින් කටයුතු කරන බවත්ය.

කෙසේ වුවද කොමිසම හමුවේ විමර්ශනයට ලක්වන හා ඉදිරිපත්වන තම සේවාදායකයාට එරෙහි කරුණු පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා තම කනිෂ්ඨ නීතිඥ මණ්ඩලයක් කොමිෂන් සාක්ෂි විභාගයේ දී එහි රඳවා තැබිමට කරන ලද ඉල්ලීම පිළිගත් කොමිසම ඒ සඳහා අවසර ලබා දුනි.

ඒ අනුව චානක ද සිල්වා, සුගත් කල්දේරා, අරුණ සමරජීව, සුවින්ද කුරේ හා මංජුක ප්‍රනාන්දු, සචින්ත කහඳගේ හා හරිත් ද මෙල් යන නීතිඥ මහත්වරුන් 07 දෙනකුගේ නම් කොමිසම හමුවේ සටහන් කරනු ලැබිය.

මේ අතර සඳුදා කොමිසම හමුවේ සාක්කි දුන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ක්ෂුද්‍ර ආර්ථික (ර්ඪජපධ – ජ්ජධදධථර) දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වන නානායක්කාරවසම් වක්වැල්ල ගමගේ රාජා ධම්මික ගමගේ (ධම්මික නානායක්කාර) මහතා කොමිසමට හෙළි කළේ තවත් කතාවකි.

බැඳුම්කර නිකුත් කිරීම ඇතුළු වගකිවයුතු මූල්‍ය කටයුතු පිළිබඳ ප්‍රධාන වගකීම දරන හා තීන්දු තීරණ ගන්නා රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අධිකාරී වශයෙන් සේවය කරමින් සිටි තමා අර්ජුන මහේන්ද්‍රන් මහතා අධිපති වශයෙන් පත්ව ආ විගසම ඉන් ඉවත්කොට එම අංශය පිළිබඳ කිසිදු අවබෝධයක් නොමැති අයෙක් එම තනතුරට පත් කරන ලද බවය.

රාජ්‍ය ණය අවශ්‍යතාවන් සපුරා ගැනීමේදී මහ බැංකුව අනුගමනය කළ යුත්තේ වඩාත්ම ලාභදායී හා සහනදායීක්‍රම ඔස්සේ බවත්, ඒ අනුව කටයුතු සිදුවෙමින් තිබියදී අධිපති වශයෙන් 2015 ජනවාරියේ දී පත් වූ අර්ජුන මහේන්ද්‍රන් මහතා ඒ සියල්ල “කණපිට” පෙරළමින් ප්‍රාථමික ගැනුම්කරුවන්ට අසීමිත ලාභ ලැබෙන පරිදි බැඳුම්කර වෙන්දේසි මගින් රාජ්‍ය ණය අවශ්‍යතා සපුරා ගැනීම ආරම්භ කළ බවත්, ඔහු වැඩිදුරටත් කොමිසම හමුවේ පැහැදිලි කර සිටියේ ය.

මෙම ක්‍රියා කලාපය මගින් ශ්‍රී ලංකා මහ බැංකුවට පමණක් නොව, සමස්ත රටේම ආර්ථිකයටද මරුපහරක් එල්ල වූ බවද ඔහු කීය.

“මෙය අර්ජුන මහේන්ද්‍රන් මහතාගේම තනි තීන්දුවක්ද?” යනුවෙන් කොමිසමේ සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා කළ විමසීමට ප්‍රතිචාර දක්වමින් නානායක්කාර මහතා පැවසුවේ තමා ඒ බැව් වගකීමකින් යුතුවම ප්‍රකාශ කරන බවය.

ඉකුත් අඟහරුවාදා සහ බදාදා දෙවන හා තුන්වන දිනටත් සාක්ෂි දුන් මහ බැංකුවේ ක්ෂුද්‍ර ආර්ථික දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධාන අධිකාරී නානායක්කාර මහතා පැවසුවේ 2015 පෙබරවාරි මස 27 වන දින බැඳුම්කර වෙන්දේසි දිනයෙන් ආරම්භ කොට දිගින් දිගටම පවත්වාගෙන ගිය අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ දූෂිත ක්‍රියා කලාපය හේතුවෙන් යම් හෝ අවබෝධයක් ඇති සමස්ත මහ බැංකු නිලධාරි මණ්ඩලයම මහත් තැති ගැන්මකට ලක්ව සිටි බවත්, එනිසාම තම රැකියාවල් පමණක් නොව රටේ හදවත වූ මහ බැංකුවත්, රටේ ආර්ථිකයත් රැක ගැනීම සඳහා සංවිධානාත්මකව පෙළ ගැසුණු බවය.

ඔහු තවදරටත් තෙවන දිනටත් කොමිසම හමුවේ තහවුරු කර සිටියේ ශ්‍රී ලංකා මහ බැංකුව තමන් දන්නා තාක් කල් සිටම මහත් අභිමානවත් ලෙස නැගී සිටියේ තම කටයුතු ඉතාමත් විනිවිද බවෙන් යුතුව ක්‍රියාත්මක කරමින් කිසිදු දිනෙක සුළු හෝ චෝදනාවකට ලක් නොවී පවත්වාගෙන ගිය බවත්, 2015 දී අධිපතිවරයා වශයෙන් පත්ව ආ අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ විනාශකාරී ක්‍රියා කලාපයත් සමග ඒ සියල්ල උඩුයටිකුරු වී අතිභයානක බිඳවැටීමකට හා අවාසනාවන්ත තත්ත්වයකට ශ්‍රී ලංකා මහ බැංකුව අද පත්වී ඇති බවත්ය.

තවද මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා හැකි තරම් ඉක්මනින් අවශ්‍ය පියවර නොගතහොත් සිදුවිය හැකි විනාශය ගණනය කළ නොහැකිවන බවද ඔහු වැඩිදුරටත් කොමිසම හමුවේ අවධාරණය කළේ ය.

කමල් මහේන්ද්‍ර වීරරත්න

central-bank