එක්දහස් නවසිය පනස් හය අවුරුද්දේ ඉරණම්කාර දවසක කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිරියාල ගමේ ‘රේඛාව‘ චිත්‍රපටය රූපගත කෙරෙමින් තිබුණේය. එදා දර්ශන තලය සකස් වී තිබුණේ ‍පෝලිමක බෙහෙත් ගන්නට එන ගැමියන් පිරිසකගේ දර්ශනයක් වෙනුවෙනි. රේඛාවේ අධ්‍යක්ෂ ලෙස්ටර් ජේම්ස් පීරිස්ට, බෙහෙත් ‍පෝලිමේ දර්ශනයට සෙනඟ මදි බවක් දැණුනේය. වටපිට බැලූ ලෙස්ටර්, කැමරා කණ්ඩායමේ කාර්මික සහායට පැමිණ සිටි කළුපාට කොල්ලෙකුට ‍පෝලිමට එකතු වන හැටියට ආරාධනා කළේය.

බෙහෙත් ‍පෝලිමේ ඇවිත් රංගනයට එකතුවුණු ඒ කළුපාට තරුණයා සිය අද්විතීය සිනමා චාරිකාව නිමා කරන විට ‘තුන්කල්හිම සිනමා සක්විති’ යනුවෙන් කිරුළ පලඳා සිටියේය. ඔහු ගාමිණී ෆොන්සේකායි. එතුමන්ගේ අසූ එක්වැනි ජන්ම දින සැමරුම යෙදී තිබෙන්නේ මේ සතියේ දිනකටය.

මේ ගාමිණීගේ දෙවැනි දියණිය වන වෛකල්පිත වෛද්‍ය තනුජා ෆොන්සේකා අබේනායක සමග ‘රිවිර’ කළ පිළිසඳරක සටහනකි.

න්ද්‍රන්රත්නම්ට පළමු වරට ගාමිණී ෆොන්සේකා හමුවූයේ 1956 වසරේදීය. රත්නම්, ‘බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි’ චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු වෙනුවෙන් පළමුවෙන්ම සේවයට බඳවා ගන්නා ලද අයකු වූයේය. ඒ වන විට ඔහු සතුව තිබූ එකම සුදුසුකම වූයේ, ඉතා අවම වැටුපකට නැතිනම් වැටුප් නොලබාම වුව වැඩ කිරීමට කැමති උග්‍ර චිත්‍රපට ලෝලියකු වීම පමණි. චිත්‍රපටයේ අර්ථපතියා වූ එඩී ෆවුලිගේ පෞද්ගලික සහකාරවරයා ලන්ඩනයේ සිට පැමිණෙන තුරු ආදේශක සහකාරවරයකු වශයෙන් රත්නම් සේවයට බඳවා ගැනිණි. කිතුල්ගලදී රත්නම්, ඩෑන් දුරෙයිරාජ්, ශේෂා පලිහක්කාර, විජේ අබේදේව සහ ගාමිණී ෆොන්සේකාට හඳුන්වා දෙන ලදී. ඒ වන විට ගාමිණී, ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘රේඛාව’ චිත්‍රපටයේ වැඩ කටයුතු අවසන් කළා පමණි. ‘ක්වායි’ චිත්‍රපටය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කෙරෙන දෙවැනි සහාය අධ්‍යක්ෂවරයා වශයෙන් ගාමිණී බඳවා ගන්නා ලදී.

දෙවැනි ඉංග්‍රීසි සහාය අධ්‍යක්ෂ ජෝන් එරික්සන් විසින් රත්නම් ගාමිණීට හඳුන්වා දෙන ලදී. ගාමිණී ෆොන්සේකා පිළිබඳ ඔහුගේ පළමු හැඟීම කුමක් වී දැයි රත්නම්ගෙන් ඇසූ විට, දෙදෙනා ඉක්මනින්ම කුළුපග වූ බව රත්නම් කීවේය. අපි දෙන්නාම ‘තෝමියන්ල.’ ගාමිණී ගල්කිස්සෙන් මම ගුරුතලාවෙන්.

‘බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි’ නිපදවෙන අතරතුර දෙදෙනා අතර සමීප මිතුදමක් වර්ධනය විය.

සමෘද්ධිමත් පවුලකින් පැවත ආ රත්නම් ළඟ තම ආහාර පානවලට අවශ්‍ය මුදල් නිරන්තරයෙන්ම තිබුණි. එහෙත් රත්නම්ට ලැබුණේ ඩෑන් දුරෙයිරාජ්, ශේෂා පලිහක්කාර, විජේ අබේදේව සහ ගාමිණී ෆොන්සේකා ආදීන්ගෙන් සමන්විත පළපුරුදු ශ්‍රී ලාංකේය කාර්ය මණ්ඩලයට ලැබුණු නවාතැනට වඩා අඩු පහසුකම් සහිත නවාතැනකි. ඔහු එපරිද්දෙන් අවතක්සේරුවට ලක්වීම සෙසු පිරිසේ හිත් වේදනාවට හේතු විය.

ගාමිණි පුරුද්දක් විදිහට හැමදාම මට කෑමට ආරාධනා කළා. රත්නම් කියයි. රාත්‍රී භෝජනය සඳහා රත්නම්ට සිය සතියේ වියදම ඉක්මවන මුදලක් වැය විණි. ඒ ඔහු තම මුදල් කණ්ඩායමේ බොජුන් සඳහා වැය කළ බැවිනි. නිෂ්පාදන කණ්ඩායම මට කැමැත්තෙන් හිටියත් ඒක නොගැළපෙන දෙයක් වුණා. රත්නම් සිහි කරයි. වරක් තරමට මත්ව හුන් ගාමිණී රත්නම්ට සිය කුටියේ නවාතැන් දුන්නද එය නිෂ්පාදකයන්ගේ නීති රීතිවලට පටහැනි ක්‍රියාවක් වූයේය.

මේ වන විට රත්නම්ගේ කාර්යශූරත්වය හා උනන්දුව ඉහළ ඇගැයුමට ලක්ව තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් ගාමිණීගෙන් ප්‍රශ්න කරන ලද අතර ඔහු රත්නම් වෙනුවෙන් පෙනීසිටිමින් තමන් සැපපහසු කුටියක සිටින අතර රත්නම් පහසුකම් නැති මඩුවක විසීම කෙතරම් අයුක්තිසහගත දැයි පෙන්වා දුන්නේය. එඩී ෆවුලිද රත්නම්ගේ සේවා තත්ත්වය වෙනස් විය යුතු යැයි අනුමත කළේය. මට උසස්වීමකුත් එක්ක මගේම කියන කුටියකුත් ලැබුණා. රත්නම් සිහිපත් කරයි. ක්වායි රූගත කිරීම්වලින් පසු රත්නම් ලන්ඩන් හා හොලිවුඩ් බලා ගියෙන් ඔවුන්ගේ ඇසුර අහිමි විය.

ගාමිණී ෆොන්සේකා හොඳම නළුවා සම්මානයෙන් පිදුම් ලැබූ අවස්ථාවක දෙදෙනා යළි හමුවූහ. ගෝල්ෆෙස් හෝටලයේ සිටි රත්නම්ට මහා කලබලයක් ඇසුණි. ෆොන්සේකා කැමරාකරුවන් රැසකට මැදිව සිටියේය. නළුවකු වීම පිළිබඳව ඔහු නිහතමානී සතුටකින් සිටි අතර ඔවුහු ඒ සැමරීමට මධුපානෝත්සවයක් පැවැත්වූහ. එබඳු මධුපානෝත්සව දෙදෙනාගේ පුරුද්දක් බවට පත් වූ අතර ෆොන්සේකාගේ නිවසේ කටගැස්ම පිරි මේසය ඒ සඳහා කදිම ස්ථානයක් වූයේය. ෆොන්සේකා රත්නම්ට කෙතරම් සැලකිල්ලක් දැක්වූයේද යත් වරක් හෙතෙම, රත්නම් සමග රාත්‍රී භෝජනය ගැනීම පිණිස ජනාධිපතිවරයාගේ ඇරියුමක් පවා ප්‍රතික්ෂේප කළේය.

ඒ වෙනකොට ඩී.බි. විජේතුංග මහත්මයා තමයි ජනාධිපති. ගාමිණී බොහෝම ආචාරශීලීව ඒ ආරාධනාව ප්‍රතික්ෂේප කළා. රත්නම් සිහිකරන්නේ ගෞරවයෙනි. සිද්ධිය අවසාන වූයේ ජනාධිපතිවරයාගේ රාත්‍රී භෝජනයට සහභාගි වීමට ගාමිණී කැමති කරවා ගැනීම පිණිස පැමිණි දූතයා ගාමිණි හා රත්නම් සමග රාත්‍රී භෝජනය ගැනීමෙනි.
ගාමිණී ෆොන්සේකා පුද්ගලයකු වශයෙන් කෙබඳු දැයි අප ඇසූ ප්‍රශ්නයට රත්නම් දුන් පිළිතුර මෙවැන්නකි: ඔහුට අති විශාල රසික පිරිසක් හිටියා. ඒත් තමන්ගේ සමීප මිතුරන් අතරට වැද්දගත යුත්තේ කවුරුන්ද කියන එක ගැන ඔහු පරිස්සම් වුණා. ඔහු ගැන හොඳින් දැන සිටි මිතුරන් ඔහුට පුදුම විදිහට ආදරය කළා. ඔහුගේ ස්වභාවය, ජු ආකල්ප හා අවංකකම වැනි යහගුණාංග ඔවුන්ගේ ඇගැයුමට ලක්වුණා. ඇත්ත වශයෙන්ම, රජිනිකාන්ත් වැන්නවුන්ට ගාමිණී සමග පුද්ගලික හමුවක් පැවැත්වීමට අවශ්‍ය වීම වැනි කරුණු නිසා ඔහුගේ කීර්තිය රට, ජාතිය වැනි සීමා ඉක්මවා ගියා.

‘තී’ කියන දෙමළ චිත්‍රපටිය රූගත කළේ කොළඹ. චිත්‍රපටියෙ දර්ශනයක් සඳහා නිෂ්පාදකයින්ට අවශ්‍ය වුණා විශාල ලස්සන ගෙයක්. මම බාන්ස් පෙදෙසේ තිබුණු ඩොනල්ඩ් මාමගෙ ගේ කතා කරලා දුන්නා. රත්නම් කියයි. රූගත කිරීමෙන් පසු රත්නම් වෙත පැමිණි රැජිනිකාන්ත්, ‘තමා ගාමිණී ෆොන්සේකා නම් පුරාවෘත්තය වෙත කැඳවාගෙන යන මෙන්’ ඉල්ලීමක් කළේය. එදා සන්ධ්‍යාවේ, රත්නම් කළු සරමකින් හා කළු කමිසයකින් සැරසුණු රැජිනිකාන්ත් ෆොන්සේකා හමුවට කැඳවාගෙන ගියේය.
රැජිනිකාන්ත්, ගාමිණිගේ රත්මලාන නිවසේදී පැය එකහමාරක් පුරා ආගන්තුක සත්කාර ලැබුවේය. මම රැජිනිකාන්ත්ව ආපසු ඔහුගේ හෝටලයට කැඳවාගෙන ගියා. ‘මේ තමයි කොළඹ ගමනේ අති විශිෂ්ටතම අවස්ථාව’ කියමින් ඔහු මට නොසෑහෙන්න ස්තුති කළා. රත්නම් ඒ නොමියෙන මතකය සිහිපත් කරයි.

ටෝනි රණසිංහ, මාලිනි ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, ලකී ඩයස්, වීණා ජයකොඩි සහ ස්වර්ණා මල්ලවආරච්චි ෆොන්සේකාගේ ප්‍රියතමයෝ වූහ. විශේෂ ප්‍රයෝග විශේෂඥ හා අධ්‍යක්ෂ දිනේෂ් ප්‍රියසාද් සහ කැමරා ශිල්පී එස්. වාමදේවන්ද ඒ අතර වූහ.

මැතිව් පීරිස් පියතුමා පිළිබඳව චිත්‍රපටයක් නිපදවීමට සිතු රත්නම් ගාමිණී සමග ඒ පිළිබඳව සාකච්ඡා කළේය. තමා සහ ෆොන්සේකා කිසිම අවස්ථාවක අධ්‍යක්ෂවරයා සහ ප්‍රධාන නළුවා වශයෙන් චිත්‍රපටයකදී කටයුතු කර නැති බව එහිදී ඔහුට අවබෝධ විය. මැතිව් පියතුමාගේ චරිතය රඟපාන්න කියල මම ගාමිණීට කිව්වම ඔහු කැමති වුණා. අපි චිත්‍රපටයේ රූප රාමුවෙන් රූප රාමුව අරගෙන සාකච්ඡා කළා. රත්නම් අතීතය සිහි කරයි. එහෙත් චිත්‍රපටය නිෂ්පාදනය නොකෙරිණි.

ලොස් ඇන්ජලීස් සමීපයේ පිහිටි සිය නිවෙසේදී ගාමිණී ෆොන්සේකාට සත්කාර සංග්‍රහ කිරීමේ අවස්ථාව රත්නම්ට ලැබුණි. රත්නම්, ඔහුගේ හිටපු බිරිය ජූඩි, පුත් ඩැනියෙල් සහ ගාමිණී පැය ගණනාවක් අල්ලාප සල්ලාපයේ මිහිර වින්දහ. පෙරළා පැමිණෙන ෆොන්සේකා එම සුන්දර හමුව සිහිකර රත්නම්ට ස්තුති කරමින් කවියක් පබැඳීය.

තම ජීවිතයේ සැඳෑ සමය සුවදායී පරිසරයක් ඇති වනසතුන්ගේත් සොබාදහමේත් අසිරිය පිරි ‘තවුසන්ඩ් ඕක්ස්’ නගරයේ (ඇමරිකාවේ කැලිෆෝර්නියාහි නගරයකි) ගත කිරීමට කැමති බව ෆොන්සේකා රත්නම් සමග පවසා තිබුණි. එහෙත් ඒ ඉටු නොවූ බලා‍පොරොත්තුවක් පමණක්ම වූයේය.

එදා මම ව්‍යාපාරික කටයුත්තට දිල්ලි ගිහින් හිටියේ. ගාමිණී මගේ දුරකතනයට කතා කරල මාව සම්බන්ධ කරගන්න බැරිවුණාම මගේ කාර්යාලයට දුරකතන ඇමතුම් තුනක් අරගෙන තිබුණා. මම ආපහු ලංකාවට ආවමයි දැනගත්තෙ ඔහු අභාවප්‍රාප්ත වී ඇති බව.

ගාමිණී ජීවත් වුණා නම් බොහෝ දේවල් වෙනස් වෙන්න ඉඩ තිබුණා. රත්නම් හැඟීම්බරව පවසයි. ඔවුන් සතුව විසල් සැලැස්මක් තිබුණි. ඒ ඔවුන් වෙනුවෙන් නොව සමස්ත ශ්‍රී ලාංකේය සිනමා කර්මාන්තය වෙනුවෙනි.

නාරද කරුණාතිලක
‘නේෂන්’ පුවත්පතේ පළ වූ
ලිපියක අනුවර්තනයකි

ඡායාරූප අනුග්‍රහය
වෛකල්පිත වෛද්‍ය තනුජා ෆොන්සේකා අබේනායක

gamini (8)
ගම්පෙරළිය
gamini (7)
ගාමිණී – සුමිත්‍රා විවාහ වූ දා…..

gamini (6)

gamini (3)
රන්මුතුදූ
gamini (2)
ගාමිණී පියඹ දරුවන් සමග
gamini (1)
නොමියෙන මිනිසුන්

gamini (5) gamini (4)

නිධානය
නිධානය