පසුගියදා ශනි ග්‍රහයා ධනු රාශියට පැමිණි අවස්ථාවේ රටපුරා මහත් ආන්දෝලනයක් ඇතිවිය. ඒ තරමටම කලබැගෑනියක් සිදු නොවූ නමුත් කුජ, සිකුරු වැනි ග්‍රහ මාරු සිදුවූ අවස්ථාවලදී ද බොහෝ ‍ජ්‍යොතිෂවේදීන්ගේ හා ‍ජ්‍යොතිෂය පිළිබඳ විශ්වාස කරන්නන්ගේ අවධානය ඒ කෙරේ යොමුවිය. හැම ග්‍රහ මාරුවකදීම පාහේ බොහෝ ‍ජ්‍යොතිර්වේදීන් අනාවැකි කියන්නට පෙලඹෙන බවක් මෙන්ම ‍ජ්‍යොතිෂය විශ්වාස කරන්නන් එබඳු අනාවැකි අපේක්ෂා කරන බවක්ද පෙනෙන්නට තිබේ. බොහෝදෙනකු කුතුහලයෙන් බලා සිටින්නේ ග්‍රහ මාරුව තමන්ට කෙසේ බලපානු ඇතිද යන්නයි. ග්‍රහයන් ගණනාවක් සිටියදී එක් ග්‍රහ මාරුවක් සිදුවූ පමණින් පුද්ගලික ජීවිතයට විශාල බලපෑමක් සිදුවේද?
ග්‍රහ ගෝචර පල වැඩි වශයෙන්ම ගෙනදෙන්නේ උපතේදී ඒ ග්‍රහයා සිටි රාශිය, භාවය, දෘෂ්ටි සංයෝග සහ ඒ ඒ පුද්ගලයාගේ වයස අනුවය. දිශාව සහ ග්‍රහ ගෝචරය දෙක ගළපමින් විනා පලාපල පැවසීම නුසුදුසුය. ඒ දෙක අතර සබඳතාව ආණ්ඩුව සහ මන්ත්‍රීවරයකු අතර ඇති සම්බන්ධය මෙනි.

උපතේදී යම් ග්‍රහයකු සුබ භාවයක, සුබ රාශියක, සුබ දෘෂ්ටි සහ සුබ සංයෝග සහිතව අස්ත නොවී බලවත්ව සිටියහොත් ඒ ග්‍රහයා කෙතරම් අසුබපල දෙන භාවයක ගමන් කරන කාලයක වුවද කියන තරමට ගුණ අගුණ නොදේ. 90කගේම පාහේ උපතේදී සුබ අසුබ දෙආකාරයෙන්ම ග්‍රහයන් සිටී. ඒ නිසා ගෝචර පලද සුබ අසුබ මිශ්‍රව ලැබෙයි.

ඇතැම් ග්‍රහයන් ඒ ඒ රාශිවල ගමන් කරන කාලවල කිසිම සුබ පලයක් හෝ අසුබ විපාකයක් නොදෙන අවස්ථා ඇත. ඊට හේතුව අන්‍ය ග්‍රහ දෘෂ්ටිවල බලපෑමයි.

ග්‍රහ සංයෝග අනුවද ගෝචර පල වෙනස් වේ. ගුරු, ශනි, රාහු, කේතු ආදී වැඩි කාලයක් ඒ ඒ රාශිවල ගමන් කරන නිසා එම ග්‍රහයන්ගේ ගෝචර පල බලපායි. ග්‍රහයන් කීපදෙනකු එකම භාවයක ගමන් කරන විට පලවිපාක මිශ්‍රව ගෙනදෙයි. ගෝචර පල පැවසීමේදී ග්‍රහයන්ගේ උත්පත්තිවල දුර්වලකම්, දෘෂ්ටි සංයෝග සංසන්දනාත්මකව විමසිය යුතුය. එසේ නොමැතිව පලාපල කීම නුසුදුසුය.

සෙනසුරු මාරු වීම නිසා මේ මේ ලග්නයට මෙසේ වනු ඇතැයි ලග්නය පමණක් සඳහන් කරමින් නොකිව හැකිය. එසේ පැවසිය හැකි නම් නක්ෂත්‍ර පලාපල කථනය කෙතරම් පහසු දෙයක් වනු ඇත්ද?

‘ඒර්’ යනු චන්ද්‍රයාට නමකි. ‘ඒර’-’අෂ්ටක’ යනු චන්ද්‍රයාගේ සිට අටවැන්නට සෙනසුරු ගමන් කිරීමයි. එසේ නම් ඒ ඒ ලග්නවලට චන්ද්‍රයා සිටින රාශිය, ඒ කාලයේ ගතවන දශා, අනු දශා, උපත් ග්‍රහ බලය, ගතවන්නේ කීවැනි දශාවද ආදිය සලකා බලා ජන්ම, සම්පත්, විපත් ආදී වශයෙන් බලා සෙනසුරු ගමන ගැන සඳහන් කළ යුතුය.

ශනි උපතේදී බලවත්ව සිට ලග්නයෙන් සහ චන්ද්‍රයාගෙන් 3, 10, 11 වූ මකර, කුම්භ, තුලා යන රාශියක ගෝචර වශයෙන් ගමන් කරන කාලයක ශනිගේ දශාවක් තිබුණේ නම් එවිට එම කාලය මුළු ජීවිතයේම ඉතාම වාසනාවන්ත කාලයකි. ඒ වගේම සෙනසුරු උපතේදී දුර්වලව සිට ලග්නයෙන් හෝ චන්ද්‍ර රාශියෙන් 1-2-4-5-6-7-8-9-10-12 වූ මේෂ, කටක, සිංහ, වෘශ්චික යන රාශියක ගෝචර වශයෙන් ගමන් කරන කාලයක රවි, චන්ද්‍ර, කුජ, රාහු, කේතු දශාවක් තිබුණේ නම් සහ උපන් කේන්දරයේ දුර්වලතා තිබුණේ නම් එවිට එම අසුබ භාවයේ ගමන් කරන අවුරුදු 2 1/2 භයානක විපත්, මාරක අපල අසාධ්‍ය රෝග ආදියට හේතු විය හැකිය.

ශනි අටවැන්නේ ගමන් කරන කාලයේදී චන්ද්‍රයාගේ දශාවල ශනි 10 වැන්නේ ගමන් කරන කාලයේදී රවිගේ දශාවල ශනි හත්වැන්නේ ගමන් කරන කාලයේ කුජගේ දශාවක් තිබුණේ නම් සහ උපන් කේන්දරයේ දුර්වලතා තිබුණේ මාරක අපලවලට හේතුයි.
අසුබ පලවලට හේතුවන ග්‍රහ ගෝචර කාලවලදී ප්‍රවේශම් වීමෙන්, ආගමික නැඹුරුවකින් කටයුතු කිරීමෙන්, අපල බව දැනගෙන බුද්ධිමත්ව ක්‍රියා කිරීමෙන් අපල තත්ත්වය අඩුකරගත හැකිය.

සෙනසුරු මාරුවක් සිදුවූ විට එය ඒරාෂ්ටක තත්ත්වයක්ද යන්නත් සලකා බැලීම වටී. උපතේදී චන්ද්‍රයා සිටි රාශිය, එයින් අටවැන්න, 12, 1, 2 යන ස්ථානයන්හි සෙනසුරු ගමන් කිරීමේදී දශා, අතුරු දශා, ග්‍රහබල දුබලතා, ආදී සියලු කරුණු සමග මෙහි පලාපල සැසඳිය යුතුය. සෙනසුරු නව ග්‍රහයන් අතරින් එකකු පමණි. ‘අලුත් සෙනසුරු’ හෙවත් අලුත් තැනකට පැමිණි සෙනසුරු ග්‍රහයාගේ බලයට මේසා විශාල බලපෑමක් ඇතිවන්නේ කෙසේද? සෙනසුරු ගමන ගැන කතා කළ යුත්තේ යම් කෙනකුට ඒරාෂ්ටක අපලයක් යෙදී ඇත්නම් පමණි.
එනිසා ග්‍රහ මාරුවක් සිදුවූ පමණින් අසවල් ලග්නයට සුබයි, අසවල් ලග්නයට අසුබයි යනුවෙන් කියමින් දුක්වීම හෝ සතුටු වීම අනුවණකමකි. කළ යුත්තේ තම තමන්ගේ කේන්දර සුදුසු ‍ජ්‍යොතිර්වේදියකුට ඉදිරිපත් කර පරීක්ෂා කරවා ගැනීමයි.
ප්‍රවීණ ‍ජ්‍යොතිෂවේදිනී සෝමා කළුපහන