සිංහල සිනමාවට විශේෂ ප්‍රයෝග හඳුන්වා දුන් කාර්මික ශිල්පියකු ‘පෙරළිකාරයෝ’ තුළින් අධ්‍යක්ෂවරයකු බවට පත්ව ඇත.

මොරටුවේ උපත ලබා වේල්ස් කුමර විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන සමයේ චිත්‍රපට කලාවට ඇලුම් කළ ඔහු දිනේෂ් ප්‍රියසාද්ය. සිනමාශාලාවලින් ඉවත දමන ලද සැලෝලොයිඩ් පටවල රූප ඇඳීමෙන් ඒවා එහාට මෙහාට කරමින් කුඩා කල ඔහු බොහෝ සේ සතුටට පත්විය. පුංචි මොළෙන් පුංචි ‍ප්‍රොජෙක්ටරයක් සාදාගෙන පාසල් ළමුන්ට චිත්‍රපට පෙන්වන ඔහු පසු කලෙක බාප්පා කෙනකු ළඟ ‍ප්‍රොජෙක්ටරයකින් සැලෝලොයිඩ් පට එහාට මෙහාට කරමින් මිතුරන්ට චිත්‍රපට පෙන්වා ඇත.

තොටළඟ ඩොමිනියන් සිනමාහ‍ලේ ගබඩාවේ රැස්කර තිබූ පරණ ඉංග්‍රීසි චිත්‍රපට භාගයක් පමණ පුලුස්සා දමා ඉතිරි ඒවා ගබඩා කරන බව ඔහු දැනගත්තේය. සුළු මුදලක් ගෙවා ඒවා රැගෙන සුපරික්ෂාකාරීව ඒවා බලමින් සංරක්ෂණය කොට ඔහුම හදාගත් ‍ප්‍රොජෙක්ටරයක දමා බැලුවේ යමක් ඉගෙන ගැනීමේ ආශාවෙන්මය. චිත්‍රපටයක් බැලීමට ගියවිට රූප දෙස බලනවාට වඩා වුවමනාවෙන් ඔහු බැලුවේ රූප චලනය වන අයුරුය. මෙසේ චිත්‍රපට ගැන ඇති වූ ආසාව නිසාම ‘මම කවදා හෝ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වෙනවා’ යැයි මිතුරන් හා පැවසුවේලු.

පාසලෙන් අස්වී රත්මලානේ කනිෂ්ඨ කාර්මික ආයතනයට බැඳුණේය. ස්වයං ක්‍රියා මෝටර් මැකෑනික් විද්‍යාව ගැන පාඨමාලාවක් හැදෑරූ ඔහු එහි දී වඩාත් උනන්දුව දැක්වූයේ එම ආයතනයේ තිබූ චිත්‍රපට අංශය කෙරෙහිය.

ලියවන පට්ටල් වැඩ, මෝටර් මැකෑනික් ගැන තැනූ කෙටි චිත්‍රපට පෙන්වන ‍ප්‍රොජෙක්ටර් යන්ත්‍රය අබලන්ව පසෙක දමා තිබෙනු දුටු දිනේෂ් එය අලුත්වැඩියා කළේය. ඉන් පසු එහි චිත්‍රපට පෙන්වීමට ද පටන් ගත්තේය.

කාටූන් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වූ ගිවන්ත අර්ථසාද් සමග ලංකා චිත්‍රාගාරයට ගිය දිනේෂ්ට එහි දී ටයිටස් තොටවත්ත මහතා මුණ ගැසිණ. මෙම තරුණයාගේ දක්ෂකම් තේරුම් ගත් ටයිටස් තොටවත්ත ඔප්ටිකල් (විශේෂ ප්‍රයෝග) යන්ත්‍රයක් සාදාගන්නා අන්දම කියා දුන්නේය. දිනේෂ්ගේ සොහොයුරු ගිවන්ත අර්ථසාද් නිෂ්පාදනය කරන ලද ලංකාවේ ප්‍රථම කාටූන් චිත්‍රපටය වූ දුටුගැමුණු චිත්‍රපටයේ කැමරාව මෙහෙයවමින් විශේෂ ප්‍රයෝග රැසක් කිරීමේ අවස්ථාව දිනේෂ් ප්‍රියසාද්ට ලැබිණි.

විශේෂ ප්‍රයෝග යොදමින් අමුතු මාදිලියේ ප්‍රචාරක පටියක් සකස් කර දෙන්න යැයි ටයිටස් තොටවත්ත දිනේෂ්ට නෙගටිව් අඩි 1000ක් ලබා දුන්නේය. “මේ අඩි 1000ම නාස්ති කරලා හරි හොඳ වැඩක් කරපල්ලා.” යැයි ටයිටස් අයියා මලෝ දෙදෙනාට පැවසීය. දිනේෂ් තමා විසින්ම තැනූ විශේෂ ප්‍රයෝග යන්ත්‍රයක් ආශ්‍රයෙන් ‘දුටුගැමුණු’ කාටූන් සිනමාස්කෝප් චිත්‍රපටය තැනීය. රාජ් රණසිංහගේ ‘නොම්මර එක’ චිත්‍රපටය අඩු වියදමකින් නිපදවනු බලා සිටි තිලක් අතපත්තු දිනේෂ්ට චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට භාර දුන්නේය.

හාස්‍යයෙන් පිරි ප්‍රේක්ෂකයන් කැමැති අන්දමේ චිත්‍රපටයක් කරන්නටයි මට වුවමනා වුණේ. ඒ නිසා ටෙනිසන් කුරේ ලවා තිරනාටකයක් ලියවා ගත්තා. “අද සිංහල සිනමාවේ තිබෙන අර්බුදකාරී තත්ත්වයට පිළියමක් වශයෙන් හැදූ මේ චිත්‍රපටය හොඳින් ප්‍රේක්ෂකයන් පිළිගෙන තිබෙනවා.” යැයි ‘පෙරළිකාරයෝ’ තිරගත වන අවදියේ දිනේෂ් පැවසූ අන්දම මගේ මතකයේ ඇත.

එම්.එස්. ආනන්දන්ගේ ‘චණ්ඩි ශ්‍යාමා’ ඇතුළු චිත්‍රපට 40ක දිනේෂ් විශේෂ ප්‍රයෝග උපයෝගී කරගනිමින් සිය හැකියාවන් විදහා දැක්වීය. දිනේෂ් ප්‍රියසාද් හා හා පුරා කියා අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය ‘නොම්මර එකයි’ චිත්‍රපටයයි. පෙරළිකාරයෝ චිත්‍රපටය සඳහා බේරුවල ලයිට්හවුස් එකක් ඉදිකර එය පුපුරවා හැර ඇත. එම චිත්‍රපටය මේ තරම් සාර්ථක කර ගැනීමට හැකි වූයේ නිෂ්පාදක තිලක් අතපත්තු අපගැන තිබූ විශ්වාසයත් නිසා කාගෙනුත් සහයෝගයත් ලැබුණ නිසා බව ප්‍රියසාද් පවසයි.

තිරපිටපත් රචකයකු සහ අධ්‍යක්ෂවරයකු වූ දිනේෂ් සිය සිනමා භාවිතය හරහා යුග කීපයක් බැබළවූවෙකි. විද්වත් මඬුල්ලක් වෙනුවෙන් හෝ ජූරි සභාවක් වෙනුවෙන් හෝ සම්මාන අපේක්ෂාවෙන් හෝ චිත්‍රපට අධ්‍යක්ෂණය නොකළ ඔහු මෙරට සිනමා ලෝලයින්ගේ ආදරය හා ගෞරවය හිමිකර ගත් මිනිසෙකි. ‘පෙරළිකාරයෝ’ ‘නොම්මර එක’ ‘වරදට දඬුවම’ ‘හිතේ දුකක් නැති මිනිහා’ ‘දෙමෝදර පාලම’ ‘අපායේ තප්පර අසූහාරදහසක්’ ‘කොලොම්පූර්’ සහ ‘ඔන්න බබෝ’ ඇතුළු චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කළ නොම්මර එකේ අධ්‍යක්ෂවරයෙකි.

සහෝදරයන් හය දෙනකු හා පෙම්වතියක රැවටූ මිනිසකුගේ කතාවයි ‘පෙරළිකාරයෝ’. මේ එහි කතා සාරාංශයයි.

එකම රුව ඇති හත්දෙනෙක් ඇතැයි සමාජයේ මතයක් පවති. මේ මතය කෙසේ වෙතත් එකම හැඩරුව ඇති මිනිහෙක් වෙනුවට පෙනී සිටින තවත් එවැනිම පුද්ගලයකු කරන කුමන්ත්‍රණයක් සම්‍යක් ප්‍රයෝගයක් ගැන කරන කතා සිනමාවේත් සත්‍ය ජීවිතයේත් අප දැක අසා ඇත.

සැම්සන් ද එවැනි පුද්ගලයෙකි. ඔහුට සිදු වූයේ ද තමා වැනි ගති ලක්ෂණ ඇති තවත් පුද්ගලයකු වෙනුවට පෙනී සිටීමටය. එහි දී ඔහු මුහුණ පාන ප්‍රශ්න රැසකි. මෙය දුෂ්කර කාර්යයකි. බෙල්ල ගහලා යන වැඩකි. යසලාලක තිස්ස රජතුමාට සිදු වූයේත් එයමය.
සැම්සන් දරදඬු පුද්ගලයෙකි. ඔහු කොන්ත්‍රාත් ක්‍රමයට දාමරික කම් කළේය.

මංකොල්ලකෑවේය. රොබට් නම් ව්‍යාපාරිකයකු අතකොලුවක් කරගෙන ඔහුගෙන් වැඩ ගත්තේය. සැම්සන් එදා හිරෙන් නිදහස් වූ දිනය විය. එදිනම ඔහුට රොබට්ගෙන් අලුත් වැඩක් නියම විය. එය බෙල්ල ගසා යන වැඩකි. “සැම්සන් තමුන්ට මේ පාර තියෙන්නේ තමුන් වගේම රූපයක් ඇති මිනිහෙක් හැටියට පෙනී සිටීමයි. තමුසෙගෙ නිල් පාට ඇස්දෙක සුදුපාට කරගෙන අද ඉඳලා විජය හැටියට පෙනී සිටින්න.”

විජයට සහෝදරයන් හය දෙනෙක් සිටී. ඒ අයට සැක නොසිතෙන විදියට නියම අයියා කෙනෙක් ලෙසත් විජයගේ පෙම්වතියට සැක නොසිතෙන්න ඉන්න ඕනෑ. එම නියම විජය හිරකරලා ඉන්නේ. ඒ සහෝදරයන් හයදෙනාට ආදරය කරන පෙම්වතියන් හයදෙනෙක් සිටියි. ඔවුන් අතර ලොකු බූදලයක් හිමි රෝද පුටුවක ඉන්නා අබ්බගාත කෙල්ලක් ද වෙයි. සැම්සන්ට නියම වී ඇත්තේ මේ කෙල්ල මරා දැමීමයි. සැම්සන් එසේ ඇය මැරීමට තැත්කිරීමේ දී ඔහුට ඇය ගැන ආදරයක් ඇති වේ. ඒ ආදරය තුළින් ඔහුගේ ප්‍රචණ්ඩ බව දුරුවී ඇත්ත කීමට පෙලඹේ. රොබට්ගේ කඳවුරට ගොස් විජය බේරාගන්නවා. රෝද පුටුවේ සිටි යුවතිය සැම්සන්ට ආපසු ඒමට ඉඩ දුන්නේ නැත.

තිරගත වූ දිනය 1986 අප්‍රේල් 25 වැනිදාය. නිෂ්පාදනය තිලක් බි. අතපත්තු, කතාව, දෙබස්, තිරනාටකය ටෙනිසන් කුරේ. සංගීත අධ්‍යක්ෂණය ඩබ්. සෝමපාල රත්නායක. ගීත ප්‍රබන්ධය කරුණාරත්න අබේසේකර, ප්‍රේමකීර්ති ද අල්විස්, ගීත හයකි. එච්.ආර්. ජෝතිපාල ගයන ජය මංගලම් සුබ මංගලම් ගීතය කරුණාරත්න අබේසේකරයන් ලියූ අවසන් චිත්‍රපට ගීයයි. ඇන්ජලින් ගුණතිලක, සුජාතා අත්තනායක, බන්දු සමරසිංහ ගීත ගායනා කර ඇත. රඟපෑම් විජය කුමාරතුංග, බන්දු සමරසිංහ, ටෙනිසන් කුරේ, ටෙඩී විද්‍යාලංකාර, ශ්‍රියන්ත වක්වැල්ල, විමල් කුමාර ද කොස්තා, අනෝජා වීරසිංහ, ජෙරල්ඩීන් බණ්ඩාරනායක, මැණික් කුරුකුලසූරිය, රමණි සිරිවර්ධන, පුෂ්පා නන්දනී, මොරින් චාරුනී, සුමනා ගෝමස්, සිසිර කුමාරතුංග, ප්‍රියලාල් මෙන්ඩිස්, සත්තාර් ඛාන්,පර්ල් වාසුදේවි, මානෙල් වානගුරු, සමන්ති ලැනරෝල්, ක්ලීටස් මෙන්ඩිස්, නිමල් පල්ලෙවත්ත, ටිරෝන් මයිකල්, පර්ල් කුරේ, ඒ.සී.එම්. ජලීල්, ප්‍රැන්සිස් ප්‍රනාන්දු, ජයලත් ප්‍රනාන්දු, මාරියන් ප්‍රනාන්දු, ග්‍රේෂන්.