ශ්‍රීලංකා ක්‍රිකට් පි‍ලේ ආරම්භක පිතිකරණයට පණපෙවීම සඳහා නැවතත් උපුල් තරංග කැඳවා ඇත. වත්මන් ක්‍රිකට් පි‍ලේ සිටින පරිණත ක්‍රීඩකයින් කීප දෙනා අතරේ තරංගට ලොකු වගකීමක් ඇත. කෙසේ වෙතත් ක්‍රිකට් පිල නැවත ගොඩනැගීමේදී නවක ක්‍රීඩකයින් සමග පරිණත ක්‍රීඩකයින් එක්වීම වඩාත් වැදගත්ය.

32 හැවිරිදි වමත් පිතිකරුවකු ලෙස උපුල් තරංග 2005 දෙසැම්බර් 18දා ඉන්දියාවට එරෙහිව අහමදාබාද්හිදී ටෙස්ට් බෞතිස්මය ලැබුවද මේ දක්වා ක්‍රීඩා කර ඇත්තේ ටෙස්ට් තරග 26ක් පමණි. එහෙත් මේ කාලය තුළ තරංග එක් දින තරග 198ක් ක්‍රීඩා කර ඇත. තරංගගේ පිතිහරඹය ගැන කතා කිරීමේදී ඔහු වඩාත්ම සාර්ථක වී ඇත්තේ ආරම්භක පිතිකරු භූමිකාව කිරීමේදීය. කෙසේ වුවත් මෑත කාලීනව තරංගට ජාතික පිලට කැඳවීම් ලැබුවද ඔහුට සිදුවූයේ මැද පෙළ පිතිකරුවකු ලෙස ක්‍රීඩා කිරීමටය. එහිදී ද නිත්‍ය ස්ථානයක් ඔහුට හිමිවූයේ නැත. විටක අංක 5, 6, 7, 8 ස්ථානයන්හි මාරුවෙන් මාරුවට ක්‍රීඩා කිරීමට ලැබුණේද වැඩිපුර එක් දින තරග රටාවේදීය.

තරංග මෙවර ගාල්ලේදී ලැබූ ටෙස්ට් ශතකය ශ්‍රී ලංකා ක්‍රිකට් තණතිල්‍ලේ ඔහු ටෙස්ට් තරගයක ලැබූ ප්‍රථම ශතකයද වීම කැපී පෙනුණි. උපුල් තරංග මංගල ටෙස්ට් ශතකයද මීට පෙර 2006දී වාර්තා කර තිබුණේ බෝග්රාහිදී බංග්ලාදේශයට එරෙහිවය. පන්දු 304කින් ලකුණු 165ක් ඔහු එහිදී වාර්තා කළේය. හතරේ පහර 19ක් හා හයේ පහර 2ක්ද අයත් විය. සම්පූර්ණ කරනු ලැබූ මංගල ටෙස්ට් ශතකය නිසා එම තරගයේ වීරයා සම්මානයද ලැබූ තරංග දෙවැනි ටෙස්ට් ශතකය වාර්තා කළේ පසුගිය සිම්බාබ්වේ සංචාරයේදීදය ඔහු එය ලබාගත්තේ හරාරේ ක්‍රීඩාංගණයේ අංක 5 පිතිකරු ලෙස ක්‍රීඩා කරමිනි.

මෙවර කලකට පසුව ටෙස්ට් ආරම්භක පිතිකරු ලෙස පිටියට පැමිණි උපුල් තරංග ගාල්ලේදී දෙවැනි ඉනිමේදී පන්දු 171ක් තුළ හතරේ පහර 11ක් හා හයේ පහර 2ක් සමගින් ලකුණු 115ක් රැස් කළේය. ශ්‍රී ලංකා පිලට ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 274ක් ලෙස අත්හිටුවීමට හැකි විය. තරංග පැවසුවේ ගාල්ලේදී ලැබූ තම තෙවැනි ටෙස්ට් ශතකය තමාට හොඳ විශ්වාසයකින් නැවතත් ආරම්භක පිතිකරණයේ යෙදීමට හේතු වන බවයි.

මම ආරම්භක පිතිකරණයට කවදත් ආසයි. පසුගිය මාස අටක කාලය තුළ ජාතික පිලට අඛණ්ඩව ක්‍රීඩා කිරීමට මට අවස්ථාව ලබාදීම මගේ පිතිකරණයේ විශ්වාසය වැඩිවීමට හේතු වුණා යැයි තරංග පවසයි.

මම ජාතික පිලට මුලින්ම එක් වුණෙත් ආරම්භක පිතිකරුවෙක් ලෙසට. ඒත් මෑත කාලයේ මට සිදුවුණා මැද පෙළ පිතිකරණයේ යෙදීමට. කොහොම වුණත් මම කුමන ස්ථානයේ ක්‍රීඩා කළත් කණ්ඩායමට සේවය කරන්න බැඳී ඉන්නවා. එය කළමනාකාරීත්වයේ තීරණයක්. ඔවුන් සතුටුයි නම් මමත් එම තීරණයට අවනතව සතුටු වෙනවා. කෙසේ වෙතත් පිතිකරණයේ ස්ථානය මාරු කිරීම අභියෝගයක් වන්නේ ඒ සඳහා මානසිකව හොඳින් සකස් විය යුතු නිසා යැයි බව තරංග පවසයි.

මුල් පෙළේ පිතිකරණයේදී ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කිරීමේදීත් මැද පෙළ පිතිකරුවකු ලෙස ක්‍රීඩා කිරීමේදීත් සූදානම් විය යුත්තේ දෙආකාරයකට. විශේෂයෙන් ආරම්භක පිතිකරණයේදී මුල් පැය දෙක තරගයේ ගොඩක් වැදගත්. ක්‍රීඩකයකු ලෙසට ඒ සඳහා මානසිකව හොඳින් හැඩ ගැසී සිටිය යුතු බව තරංග පවසයි.

කොහොම වුණත් තරංග මීට පෙර වත්මන් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය සමගද පසුව ටී.එම්. ඩිල්ෂාන් සමගද ආරම්භක පිතිකරණයේ යෙදී හොඳින් අත්දැකීම් ලැබූ ක්‍රීඩකයෙකි. අද තරංගට සහාය පිතිකරු ලෙස දිමුත් කරුණාරත්න ටෙස්ට් පිටියේද ආරම්භයට එක්වෙන අතර එක් දින හා ඕවර විස්ස-20 රටාවේදී නිරෝෂන් දික්වැල්ල හා ක්‍රීඩා කිරීමට අවකාශ ලැබි ඇත.

පසුගිය වසර 2-3 කාලයේදී තරංග කණ්ඩායමේ ස්ථාවර ස්ථානයක් නැති වීමෙන් විටෙක කණ්ඩායම ඇතුළට එක්වීමද තවත් විටක කණ්ඩායමෙන් ඉවතට විසිවී සිටීමටද සිදුවිය. කෙසේ වෙතත් මෙසේවීමේදී ක්‍රීඩකයකු ලෙසට ආත්ම විශ්වාසය ගොඩනගා ගැනීමට අපහසු බව තරංග පවසයි. මම හිතන්නේ 2014 සිට මේ දක්වා බැලූ විට එක් ටෙස්ට් තරගයයි මම අසාර්ථක වී තිබෙන්නේ. දකුණු අප්‍රිකාව හා පාකිස්තානයට එරෙහිව මම ලකුණු ලැබුවා. පාකිස්තානයට එරෙහිව ටෙස්ට් තරගයේදී මුල් ඉනිමේ ලකුණු 92ක් හා දෙවැනි ඉනිමේ ලකුණු 45ක් ලැබුවත් ඊළඟට තිබූ නවසීලන්ත තරගවලත් මම කණ්ඩායමේ 15 දෙනා අතරවත් සිටියේ නැහැ. ඒත් ඉතින් මට මේ ගැන කිසිවක් කියන්න බැහැ. ක්‍රීඩකයකුට පසුබැසීම් ඇති වෙන්න පුළුවන්. ස්ථානය ගැන පූර්ණ විශ්වාසයක් තියා ගන්න බැහැ. කොහොම වුණත් ආරම්භක පිතිකරුවෙක් ලෙසට ලකුණු 40-50 ලැබිම ප්‍රමාණවත් නැහැ. මුල් පෙළ පිතිකරුවන්ගෙන් බලා‍පොරොත්තු වෙන්නේ දිගු ඉනිමක්. මේ බව තේරුම් ගෙන ක්‍රීඩා කරන බව පැවසූ තරංග ගාල්ලේදී මුල් ඉනිමේ ලකුණු අතරට නොපැමිණියද දෙවැනි ඉනිමේ වඩාත් විශ්වාසයෙන් ඉනිම ගොඩනැගූ බව පැවසුවේය. තරංගගේ අත්දැකීම් සමග එක් දින පි‍ලේ නායකත්වය පසුගිය සිම්බාබ්වේ හා දකුණු අප්‍රිකානු සංචාරයේදී ලැබිමත් ඔස්ට්‍රේලියානු සංචාරයේ ඕවර විස්ස-20 නායකත්වය ලැබිමත් ඔහුට තවත් විශ්වාසයෙන් ක්‍රීඩා කිරීමට හේතුවක් වී ඇත. ක්‍රීඩකයකුගේ දක්ෂතා පෙන්වීමට ඔහුට හොඳ මානසිකත්වයක් තිබිය යුතුය. දැන් තරංගට ඔහු වැඩි රුචියක් දක්වන ආරම්භක පිතිකරණයේ වගකීම ලැබි ඇත. මේ නිසා තරංග තව තවත් ලකුණු අතරට එයි නම් එය ශ්‍රී ලංකා පිලට වැඩි වාසියක් වනු ඇත.

 ධම්මික රත්නවීර 

upul