දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ හරවත් කාව්‍ය සම්ප‍්‍රදායෙන් මෙන්ම සුභාවිත ගීතයෙන් ශ‍්‍රාවකයාට සමීප වන සම්මානනීය ගේය කාව්‍ය රචකයකු වන රවි සිරිවර්ධන වසර 7කට පසුව නිර්මාණය කර ඇති ගේය පද එකතුව ‘ඉවුරු දෑලට එන්න..’ නමින් ලබන 23 වැනිදා ජනගත කෙරේ. මේ ඔහු එ් පිළිබඳ රිවිර සමග කළ සංවාදයකි.

කවිය සහ ගීතය තුළ ගෙවෙන ඔබගේ නිර්මාණ කාර්යය ගැන කතාකරමින් මේ සංවාදය ආරම්භ කරමු.
කවිය තමයි මගේ ප‍්‍රථම පේ‍්‍රමය. කවි පොත් දෙකක් නිර්මාණය කළා. ඉන්පසුව තමයි ‘වසත් කාලය’ ගීත පොත 2009දී එළිදැක්වුණේ. එ්කට රාජ්‍ය සාහිත්‍ය සම්මානයත් ලැබුණා. ඉන්පසුව ගෙවුණු අවුරුදු 7ක කාලය පුරා මා අතින් නිර්මාණය වී ලංකාවේ ප‍්‍රධාන පෙළේ ගායක ගායිකාවන් ගායනා කළ ගීත 56ක් ඇතුළත් ගීත පොතක් තමයි දැන් එළිදකින්නේ. 2015 වසරේ රාජ්‍ය සංගීත සම්මාන උළෙලේ හොඳම ගේය පද රචනය හැටියට සම්මානයට පාත‍්‍ර වුණු ගීතය තමයි ‘ඉවුරු දෑලට එන්න..’ කියලා මේ පොතට නම තිබ්බේ. සුභාවිත ගීතයට ඉතාම නරක දසාවක් ලබපු කාලයක අපි උඩුගං බලා පීනගෙන යනවා. මොකද අපිට සැබෑ සහෘදයෝ ගැන වගකීමක් තියෙනවා. කෘතිය ජනගත කිරීමත් එක්කම සංවාදයක් ගොඩනැගෙනවා. යහපත් ගීතය පිළිබඳ මේ මොහොතේ සංගායනාවක් අවශ්‍යයි.

කවියේ පාඨකයාත්, ගීතයේ ශ‍්‍රාවකයාත් පටලවාගන්නේ නැතිව ඔබ නිර්මාණ බිහිකරන්නේ කොහොමද?
කවිය සහ ගීතය කියන්නේ මාධ්‍ය දෙකක්. කවිය දෘශ්‍යගෝචර මාධ්‍යයක්. කවියා එ්කාධිපතියෙක්. ඔහු භාෂාව හැරෙන්නට වෙන කිසිදු සම්බන්ධතාවකට යටත් වෙන්නේ නෑ. ඔහුගේ පරිකල්පන ලෝකය තුළ කිසිදු සීමා පැනවීමක් නෑ. නමුත් ගීත රචකයා බොහෝ සීමාමායිම් රැුසකට හසුවූවෙක්. කෙතරම් ගැඹුරු, කවරාකාර අත්දැකීමක් වුවත් ඔහු විනාඩි තුනහමාරකට සීමා කළ යුතුයි. ශ‍්‍රාවකයාට ශ‍්‍රවණ ගෝචර විය යුතුයි. භාෂාව පරිහරණය විය යුත්තේ එ් ශ‍්‍රවණ ගෝචර ලක්ෂණ එක්ක. කවියේ වගේ හැම වචනයක්ම පාවිච්චි කරන්න බෑ. භාෂාවේ අත දිගඇරලා හැසිරෙන්න බෑ. ගීතයට යොදාගන්නා වචන ගීතමය විය යුතුයි. මෙය මධුර තනුවකට සංගීතඥයා පොලඹවනසුලූ ආකෘතියකට නිර්මාණය කළ යුතුයි. ගීතය බහුකර්තෘ කලා මාධ්‍යයක්. මම ගීතය ලිව්වා කියලා එය සම්පූර්ණ වෙන්නේ නෑ. තිදෙනකුගේ සාමුහික ප‍්‍රයත්නයක්. ගීතයේ මනෝභාවයෙන් කවියක් ලියන්න බෑ වගේම කවියේ මනෝභාවයෙන් ගීතයක් ලියන්නත් බෑ. මේ දෙකේ සීමා මායිම් ගැන ඉතාම සවිඥනිකව හැසිරුණොත් විතරයි මේක සාර්ථක කරගන්න පුළුවන්. මේක එ් වගේ ඉතා සාර්ථකව කළ දෙන්නෙක් තමයි මහගමසේකර, රත්න ශ‍්‍රී විජේසිංහ යන දෙදෙනා. හුඟක් අයට මේ දෙක අතර එකවර හැසිරෙන්න බෑ. මෙය අභියෝගාත්මකයි. නමුත් එ් අභියෝගය ගැන සවිඥනික වුණාම ජයගන්න බැරිකමකුත් නෑ.

අතීතයේදී කවිය සහ ගීතය සමාජ මෙහෙවර සඳහා අවි බවට පත්ව තිබුණා. වර්තමානයේදී එ් සඳහා පවතින පිළිගැනීම එක්ක එවැනි දෙයක් කළ හැකිද? යම් සමාජ මෙහෙවරකට මෙමගින් දායක විය හැකිද?
70, 80 හා 90 දශකයේ මැදභාගයක් වනතුරු මතවාදී ලෙස සමාජය කියවගන්න උත්සහ කරපු පිරිසක් හිටියා. ප‍්‍රබල දේශපාලන මත ගීතය තුළින් මතුවුණා. එ්වා සමාජය දැනුවත් කිරීම සඳහා ප‍්‍රබල අවි හැටියට නිර්මාණාත්මකව පාවිච්චි කළා. ගීතය සමාජය ඥනනය කිරීමේ කාර්යභාරයක නිරත වුණා. එයට මාධ්‍යයේ ඉඩක් තිබුණා. මේකෙ අවාසනාවන්ත යුගය වන්නේ දැනට වසර 10ක පමණ සිට නූතන යුගය තුළයි.

ප‍්‍රමිතියෙන් තොර ගීත, විලාප, අඳෝනා, අවලාද, චෝදනා පත‍්‍ර, වස්කවි, ග‍්‍රාම්‍ය ඕලාරික වචන මාධ්‍ය තුළින් බලෙන් අසන්නට සලසවමින් දරුණු සංගීත අතවරයකට මිනිසුන් ලක්කර තිබෙනවා. අහවල් එක ඇහුවොත් සල්ලි තමයි කියයි. විකෘතියක් සමාජගත කරලා තියෙනවා. මේක ඇතුලේ ලංකාවේ සංගීත ශ‍්‍රාවකයෝ අසන්නේ පේ‍්‍රම හිඟන්නන්ගේ විලාප. නූතන පෙම්වතුන්ගේ මනෝභාවය තමයි මේ ගීතවලින් හදන්නේ. දියුණු විඳින්නෝ, විඳගන්නෝ, දරාගන්නෝ, බෙදාහදාගන්නෝ මේ ගීතවලින් අහිමිකරමින් ඉන්නවා.එය සංස්කෘතික මිනිසාගේ ආධ්‍යාත්මික ඇදවැටීමක්.

ඔබ කියන ආකාරයේ සංස්කෘතික මිනිසාගේ ආධ්‍යාත්මික ඇදවැටීමට අද බොහෝදෙනා චෝදනා කරන්නේ මාධ්‍යයට.. ඔබේ අදහස මොකක්ද?
අපි සුභාවිත ගීත ලියන්නේ ගොරහැඩි මාධ්‍ය වටපිටාවක් තුළයි. අපි ලියන ගීතවලට සම්මාන ගන්නවා. හැබැයි මිනිස්සුන්ට එ් ගීත අහන්න ලැබෙන්නේ නෑ. කිසිම මාධ්‍ය ආයතනයකට එ් ගීත ගෝචර නෑ. ඔවුන්ට අවශ්‍ය ඞීල් එකක් හරි, සල්ලි ගෙවලා පැකේජ් එකක් හරි, විලාපයක් හරි තමයි. මේ එෆ්.එම්. නාළිකා ටික ඉන්නේ විශාල මාකටින් ලෝකයක් තුළ. සුභාවිත ගීතය ජනගත කරන මාධ්‍ය මුළුමනින්ම අහුරා අවසන්. අපි හොඳ ගීත ඇහුවා. එ් නිසා අපිට මගපෙන්වීමක් තිබෙනවා. අපිට සල්ලි වෙනුවෙන් හෝ ප‍්‍රසිද්ධිය වෙනුවෙන්වත් අපිට අපේ හෘදසාක්ෂිය පාවාදෙන්න බෑ. නැතිනම් ඕනෑතරම් ෂෝට්කට් තිබෙනවා මාකටින් රැුල්ලට යන්න. කවර මාධ්‍ය බාධක, වාරණ, ප‍්‍රතික්ෂේප වීම් තිබුණත් අපි සුභාවිත ගීතය වෙනුවෙන් පෙනී සිටිනවා. මේ අශිෂ්ට මාධ්‍යවලට ප‍්‍රමිතියක් ගෙන එන්න රජය කටයුතු කළ යුතුයි. මාධ්‍යයක් පිස්සු කෙළිනකොට රටම මිථ්‍යා දෘෂ්ටික වෙනවා. ඔක්කොම එෆ්.එම්. විහිළු සපයන අය.

ඔය කියන විදියට අද පුද්ගල රසවින්දනයේ ලොකුම හතුරා වී ඇත්තේ විද්‍යුත් මාධ්‍යයි. එවැනි මොහොතක සමාජ මාධ්‍ය තුළ ගීතය, කවිය හැසිරෙන්නේ කොහොමද?
මේ වනවිට අපේ ගීත වැඩිපුරම අහන්නේ සමාජ මාධ්‍යයේ සහෘදයන්. අන්තර්ජාලය තුළ තමයි අපේ නිර්මාණ වැඩිපුරම භාවිත වෙන්නේ. විද්‍යුත් මාධ්‍ය කරන දරුණු අතවරය හමුවේ අපිට විකල්පය වී ඇත්තේ සමාජ මාධ්‍යයි. නමුත් අන්තර්ජාලයෙන් අපිට ළඟාවිය හැක්කේ නාගරික හා අර්ධ නාගරික සීමිත පිරිසක් කරා පමණයි. වැඩි පිරිසක් ඉන්නේ ඉන් එළියේ. එ් අයට ආමන්ත‍්‍රණය කළ හැක්කේ විද්‍යුත් මාධ්‍ය මගින්. එ්ත් විද්‍යුත් මාධ්‍ය එය නොකරන නිසා මේ සීමිත පිරිස තුළ අපගේ නිර්මාණ සැරිසරනවා. රජයේ මාධ්‍ය තුළවත් ඉස්සර වගේ සංවාදයක්වත් ඇතිවෙන්නේ නෑ. සමාජ මාධ්‍යයත් නොතිබුණා නම් මේක බරපතළ ඛේදවාචකයක්.

ගීතයත්, කවියත් ඔබ එකවර භාවිත කිරීම නිසාම ගීත සම්ප‍්‍රදාය හෝ කාව්‍ය සම්ප‍්‍රදාය තුළ අලූතින් යමක් සොයාගෙන යන්න ඔබට එය උපකාරී වුණා ද?
ජීවිතේ අසීමිත අත්දැකීම් කලාපය තුළ පේ‍්‍රමය, විරහව ගත්තත් වෙනස් මානයකින් කියවගන්න මම උත්සහ කර තිබෙනවා. එ් සඳහා නිරන්තරයෙන් පර්යේෂණශීලී විය යුතුයි. 2015 වසරේ හොඳම ගායකයා වූ සමන් ලෙනින්ගේ ‘බුදල්’ ගීතය ලිව්වේ මමයි.

එහි අන්තර්ගත වන්නේ බුදල් කියන රැුඩිකල් කවියාගේ ආත්ම ප‍්‍රකාශනයයි. සීගිරියේ බුදල් ගැන එවැනි සොයා බැලීමක් සිදුවුණේ පළමු වතාවටයි. 2015 දී මම හොඳම ගීත රචනයට හිමි සම්මානය ගත් ගීතයත් දාර්ශනිකයකුගේ අදහසක්. හෙරක්ලීස්ගේ ගඟ දෙවරක් දකින්න බෑ යන කියමන තුළින් ජීවිතයේ වෙනස්වීමේ ස්වභාවය ගැනයි මම එ් ගීතය ලිව්වේ. අපි කොච්චර පර්යේෂණාත්මක ගීත ලිව්වත් එ්වා මිනිසුන්ට යන්නේ නෑ.

ඔබේ වැඩි කැමැත්තක් තියෙන්නේ ඔබ කොයි විදියට හඳුන්වනවාටද?
මම වැඩිපුර කැමති කවියට. පද රචකයෙකුට එතරම් බර දෙයක් කරන්න බෑ. මම කැමතියි මට ගේය කාව්‍ය රචකයෙක් කියනවට.

වසර ගණනාවකට පස්සේ ‘ඉවුරු දෑලට එන්න..’ කියමු.
මේ මාධ්‍ය පීඩාව, අතවර මැද්දෑවේ හුදෙකලා වී සිටින සුභාවිත ගීය ප‍්‍රිය සහෘදයන්ට ආරාධනා කරනවා මේ මාසේ 23 වැනිදා හවස 4ට කොළඹ මහවැලි කේන්ද්‍රයේදී මේ වින්දනීය සැන්දෑව තුළ ජීවිතයේ මොහොතක් සුන්දර හැඟීම් එක්ක අතරමං වෙන්න ‘ඉවරු දෑලට එන්න’ කියලා.

ප‍්‍රබෝධා හෙට්ටිආරච්චි