මේ වන විට ලෝකයේ කෝටි විස්සක ජනතාවක් ආහාර හිඟකමින් ඉතා දුක්ඛිත තත්ත්වයකට මුහුණපා සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානුෂීය අංශ ප්‍රධානි ස්ටීවන් ඕ. බ්‍රයන් පවසයි. මෙම තත්ත්වය තුරන්කිරීම සඳහා ආධාර සපයන ලෙස ඔහු ඉල්ලීමක් කර ඇත.

මෙසේ දරුණු හිඟයට මුහුණ පා ඇති රටවල් ලෙස ඔහු පෙන්වා දී ඇත්තේ දකුණු සුඩානය, යේමනය, සෝමාලියාව සහ නයිජීරියාවයි. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල අනතුරු අඟවමින් පෙන්වා දී ඇත්තේ මෙයට විසඳුම් සැපයීමට අපහසු වුවහොත් මේ වසර තුළ ළමුන් මිලියන 1.4ක් සාගින්නෙන් මියයාමේ අවදානමක් පවතින බවය. ඕ. බ්‍රයන් වැඩිදුරටත් කියා ඇත්තේ මෙම තත්ත්වය සමනය කිරීමට නම් ජූලි මාසයට පෙර ඩොලර් බිලියන 4.4ක් අවශ්‍ය බවය.
මේ වන විට අප දරුණුතම අවස්ථාවක සිටින බව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට පසුගිය සිකුරාදා දැනුම් දී තිබේ. පවතින තත්ත්වය යටතේ නිසි පියවර නොගතහොත් මෙම අවදානම් තත්ත්වයට පත්ව සිටින පිරිස අනාගතයේදී තවත් වැඩිවන බවද පෙන්වා දී තිබේ.

ජාත්‍යන්තරය එක්ව ක්‍රියා මාර්ගයක් ගැනීම ඉතාමත් අවශ්‍ය කරුණක් බව පවසන ඔහු එසේ නොකළහොත් වැඩි පිරිසක් සාගින්නෙන් මියයාමේ සිදුවීම ඉහළ යනු ඇති බව පවසයි.

මේ තත්ත්වය යටතේ ළමුන්ගේ වැඩීම දුර්වල වීමෙන් පාසල් යෑමද නැවතී ඔවුන්ගේ අනාගත බලා‍පොරොත්තු සුන්වී ඇතැයි ද පැවසේ.