ශ්‍රී ලංකා 'ඒ 'නායක ධනංජය ද සිල්වා - එංගලන්ත 'ඒ 'නායක කීටොන් ජෙනින්ග්ස්

ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් පිල හා සංචාරක එංගලන්ත ‘ඒ’ පිල අතර ප්‍රථම නිල නොවන ටෙස්ට් තරගය සිව්දින තරගයක් ලෙස අද (17) පල්ලෙකැ‍ලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භවීමට නියමිතය.

දකුණු අප්‍රිකානු සංචාරයේ දක්ෂතා අතර නොසිටි ක්‍රීඩකයින් කිහිපදෙනකු ශ්‍රී ලංකා ‘ඒ’ පිලට ඇතුළත් වන නිසා මෙම ක්‍රීඩකයින්ට නැවතත් බංග්ලාදේශ ක්‍රිකට් තරගාවලියට පෙර දක්ෂතා අතරට ඒමට එංගලන්ත ‘ඒ’ ක්‍රිකට් තරගාවලිය ප්‍රයෝජනවත් වනු ඇත. ඒ අනුව ශ්‍රී ලංකා ‘ඒ’ පි‍ලේ නායක ධනංජය ද සිල්වා, දිමුත් කරුණාරත්න, ජෙෆ්රි වැන්ඩසෙට මෙම තරගාවලියේ දක්ෂතා වඩාත් වැදගත් වනු ඇත. ආරම්භක පිතිකරුවන් ලෙස උදාර ජයසුන්දර හා මෙවර ප්‍රිමියර් ලීග් තරගාවලියේ ලකුණු අතර සිටින රොන් චන්ද්‍රගුප්ත බොහෝ විට ක්‍රියා කරනු ලබන අතර චන්ද්‍රගුප්ත 21 හැවිරිදි වමත් පිතිකරුවකු ලෙසට මේ වන විට දක්ෂතා අතර සිටීම තුළ ජාතික පිලට එක්වීමේ හැකියාව ද ඇත්තේ මේ වන විටත් දිමුත් කරුණාරත්න හා කෞෂාල් සිල්වා ද එතරම් ස්ථාවරත්වයකට ජාතික පි‍ලේ පැමිණ නැති හෙයිනි.

හිටපු ත්‍රිත්ව විදුහල් නායකයකු වූ චන්ද්‍රගුප්ත මොරටුවේ එංගලන්ත ‘ඒ’ පිල සමග පැවැති පුහුණු තරගයේ දී ප්‍රථම ඉනිමේ ලකුණු 48ක් ද, දෙවැනි ඉනිමේ ලකුණු 91ක් ද ලැබිම නිසා තේරීම් කමිටුවේ වැඩි අවධානය යොමු වී ඇත. මේ අතර සඳුන් වීරක්කොඩි, රොෂේන් සිල්වා යොවුන් ක්‍රීඩක චරිත් අසලංක පිතිකරුවන් ලෙස අද තරගයේ දී ක්‍රීඩා කිරීමට එක්වන අතරේ නායක ධනංජයගේ තුන් ඉරියව් දක්ෂතා ද කණ්ඩායමට ලොකු ජවයක් එක් කරයි.

කසුන් රාජිත, ලහිරු ගමගේ හා කසුන් මධුසංඛ වේගපන්දු යැවීමට ද අත්දැකීම් පිරි දිල්රුවන් පෙරේරා සමගින් අමිල අ‍පෝන්සු, ජෙෆ්රි වැන්ඩසේ සමග මෙවර ද ප්‍රිමියර් ලීග් තරගාවලියේ කඩුලු අතර සිටින මාලින්ද පුෂ්පකුමාර ද දඟපන්දු යැවීමට සිටිති.
කෙසේ වුවත් දිල්රුවන් සමග පා දඟ පන්දු යවන වැන්ඩෙසේ, අ‍පෝන්සු හා පුෂ්පකුමාර අතරින් දෙදෙනකු මෙම තරගයට ක්‍රීඩා කරනු ඇත්තේ පල්ලෙකැ‍ලේ තණතිල්‍ලේ දඟපන්දු යැවීමේ වාසිය ද ලැබිමේ අදිටනිනි.

මේ අතර එංගලන්ත ‘ඒ’ පිල කීටොන් ජෙනින්ග්ස් විසින් මෙහෙයවන අතර ඔහු සමග හසීබ් හමීඩ් ආරම්භක පිතිකරුවන් ලෙස ක්‍රියා කරනු ඇත. නික් ගුබින්ස්, ටොම් අස්ලොප් හා කඩුලු රකින පේන් ක්ලාත් හා ලියාම් ලිවින්ග් වෝන් පිතිකරුවන් ලෙස සිටින අතර කුරාන් සොහොයුරන් ටොම් සහ සෑම් රොලන්ඩ් ජෝන්ස්, ටොම් හෙල්ම් වේගපන්දු බළඇණිය සවිමත් කරයි. ඩලී රේනර් පිටදඟ පන්දු යවන්නකු ලෙසත්, පිටදඟ පන්දු යවන්නකු ලෙස ජැක් ලීච් ද ක්‍රියා කරන එංගලන්ත ‘ඒ’ පිල වේගපන්දු යැවීමෙන් පල්ලෙකැ‍ලේ තණතිල්‍ලේ වැඩි වාසිය ගැනීමට අපේක්ෂා කෙරේ.

ධම්මික රත්නවීර