උපුල් තරංග (ශ්‍රී ලංකා නායක)

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන ඕවර විස්ස-20 ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම තරගය අද (17) මෙල්බෝන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඇරඹෙන අතර මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් සවස 2.10ට ආරම්භ කිරීමට නියමිතය.

උපුල් තරංගගේ නායකත්වයෙන් තරග වදින ශ්‍රී ලංකා පිල බදාදා (15) පැවැති පුහුණු තරගයේදී ඔස්ට්‍රේලියානු අගමැතිගේ පිලට එරෙහිව කඩුලු පහක ජයක් ලැබිමත් ඊට පෙර දකුණු අප්‍රිකානු විස්ස-20 ක්‍රිකට් තරගාවලිය 2-1 ලෙස ජය ගැනීමත් නිසා හොඳ ආත්ම විශ්වාසයකින් අද තරගයට මුහුණදීමට සූදානම් බව ඔස්ට්‍රේලියානු ආරංචි මාර්ගවලින් අනාවරණය වේ. මෙල්බෝන් නුවර වැඩි ශ්‍රී ලාංකික ප්‍රේක්ෂක පිරිසක් සිටීමද ශ්‍රී ලංකා පිල ක්‍රීඩා කිරීමේදී තවත් ශක්තියක් වනු ඇත. කෙසේ වෙතත් ඒරන් ෆින්ච්ගේ නායකත්වයෙන් යුත් නවක මුහුණුවලින් පිරි ඔස්ට්‍රේලියානු පිලට නිත්‍ය නායක ස්ටීව් ස්මිත්, ඩේවිඩ් වෝනර්, මිචෙල් ස්ටාක් වැනි ප්‍රබලයන් නොමැති නිසා මෙම තරගය ගැන වැඩි අවධානයක් ගනු ඇත.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය උපුල් තරංග හා නිරෝෂන් දික්වැල්ල  ඉතා හොඳින් ආරම්භයක් ලබාදීම මෙම තරගයේදී ද වඩාත් වැදගත් වනු ඇත. විස්ස-20 තරගයක ලකුණු වේගය වැඩි කිරීමේදී ෆවර්ප්‍ලේ (මුල් ඕවර හය තුළ) අවස්ථාවේදී දික්වැල්ල හා තරංග මේ දක්වා හොඳින් ක්‍රියාත්මක වීම නිසා ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට වැඩි පීඩනයක් ගොඩනැගීම ශ්‍රී ලංකා පි‍ලේ සැලසුම වී ඇත.

කෙසේ වෙතත් මෙවර කණ්ඩායමට එක්වී සිටින ඩිල්ෂාන් මුණවීර, මිලින්ද සිරිවර්ධන හා සීකුගේ ප්‍රසන්න මෙන්ම අසේල ගුණරත්න ද මැද පෙළ පිතිකරුවන් ලෙස වගකීම ඇත්තේ ලකුණු ලැබිමේ වේගයත් සමග ඉනිම ගොඩනැගීමේ කාර්යය පැවරී ඇති හෙයිනි.

ශ්‍රී ලංකා පිලට අලුත් ජවයක් එක්ව ඇත්තේ වසරකට පමණ පසුව ලසිත් මාලිංග නැවතත් කණ්ඩායමට එක්වීමය. මාලිංග කැන්බරාහි පැවැති පුහුණු තරගයේදී ප්‍රථම ඕවරයෙන්ම කඩුල්ලක් ලැබූ අතර තම ඕවර 4 තුළ ලකුණු 26කට සීමා කිරීම තුළ ප්‍රතිවාදීන් ලොකු පීඩනයකට මැදිවූ නිසා මාලිංගගේ පන්දු යැවීම ගැන ප්‍රතිවාදීන් වඩාත් සැලකිලිමත් වනු ඇත. නවක වේග පන්දු යවන්නා විකුම් සංජය කඩුලු තුනක් පුහුණු තරගයේදී ලබමින් දක්ෂතා දැක්වීම නිසා අද තරගයට ද බොහෝ විට අවස්ථාව ලැබිමට නියමිත අතර ඉසුරු උදාන සහ නුවන් කුලසේකර කැඳවීමට සැලසුම් කර ඇත්තේ දෙදෙනාටම පිතිකරණයේ හැකියාව ඇති බවද සැලකිල්ලට ගනිමිනි.
මේ අතර ඔස්ට්‍රේලිනු පි‍ලේ විස්ස-20 තරග සඳහා නායකත්වය ලැබූ ඒරන් ෆින්ච් ආරම්භක පිතිකරු ලෙස වර්ධනය කිරීම ශ්‍රී ලංකා පිලට අස්වැසිල්ලක් වනුයේ ඔහුගේ ක්‍රියාත්මක වීම තුළ පීඩනය පන්දු යවන්නන්ට වැඩි වන බැවිනි. ට්‍රැවිස් හෙඩ්, මොයිසස් හෙන්රිකස් අත්දැකීම් පිරි පිතිකරුවන් වන අතර බිග් බෑෂ් තරගාවලියේ දක්ෂතා අතර සිටි නවක මුහුණු කිහිපයක්ද තරග වැදීමට නියමිත නිසා ශ්‍රී ලංකා පිල වැඩි අවදානයක් ඔවුන් කෙරෙහි ගනු ඇත.

මේ අතර ඔස්ට්‍රේලියානු පිලට නම් වී සිටි ක්‍රිස් ලින් ගෙලෙහි ආබාධයක් නිසා එක් නොවන අතර ඒ වෙනුවෙන් බිග් බෑෂ් ලීග් තරගාවලියේ සාර්ථකම පිතිකරු වූ 29 හැවිරිදි බෙන් ඩුන් කණ්ඩායමට අවසන් මොහොතේ කැඳවීම් ලැබ ඇත.

පැට් කමින්ස්, ජේම්ස් ෆෝක්නර්, බිලී ස්ටෑන්‍ලේක්, ඇන්ඩෲ ටයි වේග පන්දු යවන්නන් ලෙස එක්වන ඔස්ට්‍රේලියානු පි‍ලේ හෙන්රිකස් ද මඳ වේග පන්දු යවන්නකු ලෙස එක්වනු ඇත. නායක ෆින්ච් ට්‍රැවිස් හෙඩ් ද දඟ පන්දු යවන්නන් වන අතරම නිත්‍ය පා දඟ පන්දු යවන්නකු ලෙස ඇඩම් සම්පා එක් කොට ඇත. කෙසේ වුවත් ශ්‍රී ලංකා පිල අත්දැකීම් පිරි ක්‍රීඩකයන්ගෙන් සමන්විත වීමත් නවක මුහුණුවලින් පිරි ඔස්ට්‍රේලියානු පිල සමග මෙම තරගය දෙස වඩාත් අවධානය ගනු ලබන්නේ විස්ස –  20 තරගයේ තීරණය සඳහා ප්‍රහාරාත්මක බව මෙන්ම පන්දු රැකීම ද වඩාත් බලපෑමක් සිදු වන හෙයිනි.

ධම්මික රත්නවීර

අපේක්ෂිත ඔස්ට්‍රේලියා පිල
ඒරන් ෆින්ච් (නායක), ට්‍රැවිස් හෙඩ්, මයිකල් ක්ලින්ගර් බෙන් ඩුන්ක්, මොයිසස් හෙන්රිකස්, ටිම් පයිනේ, ඇස්ටන් ටර්නර්, ජේම්ස් ෆෝක්නර්, පැට් කමින්ස්, ඇඩම් සම්පා, ඇන්ඩෲ ටයි

 අපේක්ෂිත ශ්‍රී ලංකා පිල
උපුල් තරංග (නායක), නිරෝෂන් දික්වැල්ල, ඩිල්ෂාන් මුණවීර, අසේල ගුණරත්න, මිලින්ද සිරිවර්ධන, චාමර කපුගෙදර, සීකුගේ ප්‍රසන්න, නුවන් කුලසේකර, ඉසුරු උදාන, ලසිත් මාලිංග, විකුම් සංජය

ඒරන් ෆින්ච් (ඔස්ට්‍රේලියානු නායක)
ඒරන් ෆින්ච් (ඔස්ට්‍රේලියානු නායක)