ඩනී වෑන් නික්තේ‍රන් (දකුණු අප්‍රිකා නායිකා) | ඉනෝකා රණවීර (ශ්‍රී ලංකා නායිකා)

පාකිස්තාන කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රීඩිකා ඒෂානි ලොකුසූරියගේ අනගි පිතිහරඹයෙන් සුපිරි හයදෙනාගේ වටයේ පළමු ජය තහවුරු කරගත් ශ්‍රී ලංකා පිල එම වටයේ දෙවැනි තරගය දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව අද (17) පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී තරග වැදීමට සූදානම් වන්නේ දැඩි ආත්ම විශ්වාසයකිනි.
ආරම්භක පිතිකාරිනිය චමරි අතපත්තු සමගින් නිපුනි හංසිකා පිටියට පිවිසෙන ශ්‍රී ලංකා පි‍ලේ ප්‍රසාදිනී වීරක්කොඩි සමගින් ඒෂානි ලොකුසූරිය, චමරි ‍පොල්ගම්‍පොළ හා දිලානි මනෝදර වෙත අද තරගයේ දී පිතිකාරිනියන් ලෙස වැඩි වගකීමක් ඇත.
නායිකා ඉනෝකා රණවීර ඇතුළු දඟපන්දු යවන්නියන්ගේ බළඇණිය දකුණු අප්‍රිකානු පිලට සරා ඕවල් තණතිල්‍ලේ අභියෝග කිරීමට සැලසුම් කර ඇත්තේ මෙම තණතිල්ල දඟපන්දු යැවීමේ දී සහාය වන හෙයිනි.

ඩනී වෑන් නික්තේ‍රන්ගේ නායකත්වයෙන් තරග වදින දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිල මෙම තරගාවලිය පුරාවටම දක්ෂතා දක්වමින් ස්කොට්ලන්තය සහ ප්‍රබල පාකිස්තානයට එරෙහිව ජයග්‍රහණ වාර්තා කළ අතර ඔවුන් සුපිරි හයදෙනාගේ පළමු තරගය ඉන්දියාවට එරෙහිව පසුගිය දා ලකුණු 49කින් පරාජය වූයේ ඉතා අවාසනාවන්ත ලෙසිනි.

තරගාවලියේ කණ්ඩායම් අතුරින් දකුණු අප්‍රිකානු පිතිකාරිනියන් ඉහළ ලකුණු අතර රැඳී සිටීමට සමත්ව ඇති අතරම එහි දී දකුණත් පිතිකාරිනි ලෙස්ලීට් ට්‍රයන් ප්‍රතිවාදීන්ට ප්‍රබල සටනක් ලබාදීමට සමත්වීම කැපී පෙනේ.

කෙසේ වුවත් දකුණු අප්‍රිකාව සුපිරි වටයේ මුල් තරගය ඉන්දියාවට එරෙහිව පරාජය වීමත් ශ්‍රී ලංකා පිල පාකිස්තානය හමුවේ ජයග්‍රහණය කිරීමත් නිසා අද (17) පැවැත්වෙන සුපිරි හයදෙනාගේ වටයේ අනෙකුත් තරග අතර තරගාවලිය පුරාවටම ඉදිරියෙන් සිටින ප්‍රබල ඉන්දීය පිල බංග්ලාදේශ පිලට එරෙහිව එන්.සී.සී. පිටියේත්, අයර්ලන්ත පිල පාකිස්තානයට එරෙහිව සී.සී.සී. පිටියේ දී තරග වැදීමට නියමිතය.

ලක්මිණි සෙනෙවිරත්න