තමිල්නාඩු ප්‍රාන්ත මහ ඇමැතිනී ධුරයට පත්වීමට සූදානමින් සිටි ශෂිකලා නටරාජන්ට පැනවූ වසර හතරක සිරදඬුවම තමාගේ සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් කල්දැමීමක් කරන්නැයි ඇය අධිකරණයෙන් ඉල්ලා ඇත.

ඇයගේ මෙම ඉල්ලීමට අධිකරණ බලධාරීන් ප්‍රතිචාර දක්වා ඇත්තේ මෙසේය.
අධිකරණ බලධාරීන් ඇයගෙන් ප්‍රශ්න කර ඇත්තේ වහාම ක්‍රියාත්මක වන පරිදි යන වචනවල තේරුම් නොදන්නවාද යන්නය.

මෙම පිළිතුර ලැබිමත් සමග ඇය ‍පොයේස් ගාර්ඩන් නිවසින් පිටත්ව ගොස් ඇත්තේ දැඩි ‍පොලිස් ආරක්ෂාව යටතේය.

අධිකරණ නියෝගය නිකුත් වී පැය විසි හතරක කාලයක් ගතවීමට පෙර ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. පක්ෂ නායිකාව ලෙස දැඩි තීරණ කිහිපයක් පක්ෂය වෙනුවෙන් ප්‍රකාශයට පත්කර ඇත. එම තීරණයන්ගෙන් ප්‍රධානතම කරුණු වනුයේ පක්ෂයේ ‍‍‍ජ්‍යෙෂ්ඨයකු වන ඊ. පලනිසාමි තමිල්නාඩු ප්‍රාන්ත මහ ඇමැති ලෙස යෝජනා කිරීමයි.

ඇය එය ප්‍රකාශ කරමින් කියා ඇත්තේ පාක්ෂිකයන්ගේ බහුතර කැමැත්ත ලබාගෙන ආණ්ඩුකාරවරයා හමුවන ලෙසය. එසේ ගොස් ප්‍රාන්ත රජයක් පිහිටුවීමට ඇති හැකියාව ප්‍රකාශ කරන ලෙස පලනිසාමියට දැනුම් දී ඇත.

මීට අමතරව ඇය ගෙන ඇති අනෙක් ප්‍රධානතම කරුණ වනුයේ තමාගේ බෑණනුවකු වන දිනකරන් නමැත්තා පක්ෂයේ උප ‍ලේකම් ධුරයට පත් කිරීමය.

ශෂිකලා මෙසේ දිනකරන් උප ‍ලේකම් ලෙස නම්කර ඇත්තේ ඇය සිරගෙයි සිටියද පක්ෂ ‍ලේකම් ධුරය තමන් සතුව තබා ගැනීමේ අරමුණිනි.