තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමැති තනතුර ලබාගැනීම සඳහා වෙරදරන ශෂිකලා සහ එම ධුරයේ වැඩබලන පන්නීර් සෙල්වම් යන දෙදෙනාම ආණ්ඩුකාරවරයා ඊයේ පෙරවරුවේ දී මුණ ගැසුණහ. ප්‍රථමයෙන්ම මොවුහු ආණ්ඩුකාරවරයාට උපන්දින සුබ පැතුම් පිරිනැමූහ.

පන්නීර් සෙල්වම් මීට දින කිහිපයකට පෙර තම ඉල්ලා අස්වීම ඉදිරිපත් කර රාජකාරි කටයුතුවලින් බැහැරව සිටියේ ය. එහෙත් ආණ්ඩුකාරවරයා ඔහුට පවසා ඇත්තේ එම ධුරයේ තවදුරටත් යෙදී සිටින ලෙසය. මෙය ප්‍රකාශ වීමත් සමග ඊයේ දිනයේ දී රාජකාරි කටයුතු අරඹා ඇත්තේ තම නිවසේදීය.
මේ වන විට ප්‍රාන්ත පාලන රජයේ සාමාජිකයන් 11 දෙනකු පන්නීර් සෙල්වම්ට සහාය ලබා දීමට එක්ව සිටින බව මාධ්‍ය සඳහන් කරයි. ඒ අනුව තමාට බහුතර බලයක් තිබෙන බවත්, ඒ මගින් ප්‍රාන්ත රජයක් පිහිටුවීමට අවශ්‍ය ඡන්ද සංඛ්‍යාවක් ඇති බවත් ඔහු පැහැදිලි කළේ ය.

පන්නීර් සෙල්වම්ට එරෙහි ඒඅයි.ඒඩී.එම්කේ. පාක්ෂිකයන් පිරිසක් මේ වන විට මහ ඇමැති කාර්යාලයේ රැඳී සිටින හෙයින් එහි සේවයට යාමට බාධා ඇති වී ඇත. මෙය දැනුම්දීමත් සමග ඔහු පවසා ඇත්තේ ඒ සම්බන්ධයෙන් ඉදිරියේ දී නිසි පියවර ගැනීමට තමා සූදානම් බවයි.

මේ අතර අධිකරණය තමාට එරෙහි නියෝගයක් ඉදිරියේ ප්‍රකාශයට පත් කළහොත් තමාට මහ ඇමැති ධුරය අහිමිවන බව ශෂිකලා දැනුවත් වී ඇත. ඒ හේතුවෙන් ඇය මන්ත්‍රීන් දැනුවත් කිරීම සඳහා දෙවරක් චෙන්නායි වෙත ඉරිදා දිනයේ ගොස් ඇත.
එහිදී කඳුළු සලමින් පවසා ඇත්තේ තමා හිටපු මහ ඇමැතිනිය සමග සිරගෙටද ගොස් නිදහස ලබා ආ පුද්ගලයකු බවයි. එසේ නිදහස ලැබිමෙන් පසුද මහ ඇමැතිනිය සමග එක්ව තමිල්නාඩුව නගා සිටුවීමට කැපවී ක්‍රියා කළ බවයි. අධිකරණ තීන්දුව මගින් තමාට සිරදඬුවමක් නියම වුවහොත් එයට අවනත වී සිරගෙට යාමට වුවද තමා සූදානම් බවද ඇය හෙළි කර ඇත.

parneer