බන්ධනාගාර තුළ දිනෙන් දින සිදුවන රැඳවියන්ගේ නීති විරෝධී ක්‍රියා කලාපයන් ඉහළ යාමේ ප්‍රවණතාවක් දැන් දැන් දක්නට ලැබේ. මාධ්‍ය මගින් කෙරෙන හෙළිදරව්වලින් එය පැහැදිලි වේ. ඒ අතරේ විවිධ ලිංගික විෂමාචාර හැසිරීම්, බන්ධනාගාර තුළ සිට මෙහෙයවන අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් ප්‍රධාන කොට සැලකිය හැකිය.

බන්ධනාගාර ක්‍රියාවලිය තුළ ඇති සංකීර්ණභාවය නිසාම මේ සෑම කාරණයක් සම්බන්ධයෙන් විමසිලිමත් වීමට එහි නිලධාරීන්ට අවකාශ නොලැබේ. ඒ නිසා සමහර තැන් ඔවුන්ගෙන් මගහැරී යා හැකිය. නමුත් ඊට තාක්ෂණය යොදා ගනිමින් පිළියම් සොයන්නේ නම් සාර්ථක පිළිතුරක් ඉන් ලැබිය හැකි බව පෙන්වා දෙනු කැමැත්තෙමි. මගේ අදහස නම් බන්ධනාගාරවල සිදුවන විෂමාචාර තත්ත්වයන් වළකා ගැනීමට සී.සී.ටී.වී. කැමරා පද්ධති යොදාගත හැකි බවයි.
බන්ධනාගාරවල විශේෂ ස්ථානවලට එවැනි කැමරා සවිකොට ඉන් ඒවායේ සිදුවන තත්ත්වයන් අධීක්ෂණය කළ හැකියි. එවැනි විශේෂ කැමරා පද්ධති හරහා බන්ධනාගාර අභ්‍යන්තරය නියාමනය කළහොත් දැනට සිදුවන නීති විරෝධී කටයුතුවලින් සැලකිය යුතු ප්‍රමාණයක් නතරකර ගත හැකිවනු ඇත. මා සංචාරය කළ බොහෝ රටවල අද වන විට බන්ධනාගාර අභ්‍යන්තරය ගැන සොයා බලන්නේ මේ කැමරා හරහාය. ඔස්ට්‍රේලියාව, ඇමෙරිකාව, සිංගප්පූරුව, මැ‍ලේසියාව, තායිලන්තය, හොංකොං වැනි රටවල ද බන්ධනාගාරවල මෙවැනි අධිතාක්ෂණික කැමරා සවිකර ඇත.
නමුත් අපේ බන්ධනාගාර 32 තුළම  එවැනි කැමරා පද්ධති දක්නට නැත. අද කුඩා ව්‍යාපාරික ස්ථානයකට වුව දියුණු කැමරා පද්ධති හරහා පරීක්ෂාවට ලක් වේ. පද්ධති හරහා ආරක්ෂාව සපයා දී ඇත.

බන්ධනාගාරවල එවැනි තත්ත්වයක් තවම දකින්නට නොලැබිම බලවත් අඩුපාඩුවකි. විශේෂයෙන් වැලිකඩ, මහනුවර, මහර වැනි ප්‍රධාන බන්ධනාගාරවලට හෝ සී.සී.ටී.වී. කැමරා පහසුකම පළමුවෙන් ලබාදිය යුතුය. අනතුරුව සෙසු ඒවා සම්පූර්ණ කළ හැකිය.

එවැනි තත්ත්වයකට යා හැකි නම් දැනට බන්ධනාගාරවල සිදුවන නීති විරෝධී කටයුතු වළක්වා ගනිමින් එහි සේවය කරන නිලධාරීන්ට එම රාජකාරි කටයුතු පහසු කරගත හැකි බව මගේ විශ්වාසයයි.