විටෙක ඔහු ඉතා සුහදශීලීව සිනහ මුසු මුහුණින් කතා කරයි. විටෙක කතාව වේගවත්ය. කතාව තරමට අත් පා චලනයද වේගවත්ය. විවිධ ඉරියව්වලට සැණෙකින් මාරු වෙයි. නැවතත් සන්සුන් වෙයි. විටින් විට හඬ උස් පහත් වෙයි. ඔහු කෙරෙන් විද්‍යමාන වන්නේ නව යොවුන් වියේ පසුවන්නකුගේ ජවයයි. එහෙත් ඔහු වයසින් සැටවියද ඉක්මවා බොහෝ කල්ය.

කියෝකුෂින් කරාතේ ෙශෙලිය මෙන්ම ජිවිතයේ කායික මානසික සුවයට බලපාන යෝග ක්‍රම ඉගැන්වීමෙන් කීර්තියට පත් නන්ද සිරිවර්ධන නම් වන්නේ ඔහුය. දැන් ඔහු මා අසලය. නුගේගොඩ කොහුවල පිහිටි ඔහුගේ නිවසේ සටන් කවයේ සිට මා පිළිගන්නට දැන් මොහොතකට පෙර ඔහු එළියට පැමිණියේද ඉහත කී ජවයෙනි. නන්ද සිරිවර්ධන මහතා සමග මෙවන් පිළිසඳරක යෙදෙන්නට අප කල්පනා කළ කාරණයද පළමුකොට කිව යුතුය.

කියෝකුෂින් සටන් ෙශෙලිය හඳුන්වා දී අවුරුදු 50ක් සපිරීමයි ඒ නිමිත්ත.

1964 වර්ෂයේදී කියෝකුෂින් කයිකාන් කරාතේ ෙශෙලීය හඳුන්වා දෙනු ලැබුවේ මසුටට්සු ඔයාමා විසින්. මෙය සැබෑ සත්‍ය සටන් ක්‍රමයක්. චිත්‍රපටයක දකින්නට ලැබෙන සටන් ජවනිකාවක් වගේ ‍නෙවෙයි ශ්‍රී ලංකාවට කියෝකුෂින් ෙශෙලිය රැගෙන ආවේ ෂිහාන් වෙල්ගම. ඔහු සමග තවත් සටන් ගුරුවරුන් දෙදෙනෙක් මේ පුරෝගාමී ලැයිස්තුවට ඇතුළත්. නන්ද සිරිවර්ධන මහතා කතාබහට ප්‍රවේශයක් ලබා ගත්තේය. ඔහු පවසන අන්දමට 1971 පමණ සිට හෙතෙම කියෝකුෂින් ෙශෙලිය හදාරා ඇත.

මං ඉස්කෝ‍ලේ ගියේ නාලන්දයට. පාසල් කාලයේදී ක්‍රීඩා තරග ඉසව් කිසිවකට සහභාගී වී නැතත් සටන් කලාවක් හැදෑරීමේ ආශාව මා තුළ තිබුණා. වඩාත් හොඳ සටන් ක්‍රමය හදාරන්නටයි මට වුවමනා වුණේ. වැඩිහිටියන්ගෙන් සහ හිතවතුන්ගෙන් විමසමින් සටන් කලාවක් හොයන්න වෙහෙසුණා. අන්තිමේදී කියෝකුෂින් සටන් ෙශෙලීය හොඳ බව මට තේරුණා. 1971 දී ෂිහාන් වෙල්ගම යටතේ පුහුණුවීම් ඇරඹුවා.

ෂිහාන් යනු ප්‍රවීණ ගුරුවරයා යන අරුත දෙන ජපන් වදනකි. කියෝකුෂින් ෙශෙලිය යනු ඉතා වෙහෙසකර දුෂ්කර ශරීර අභ්‍යාස රාශියක් ඇතුළත් සටන් ක්‍රමයකි. ෙශෙලියේ නිර්මාතෘ මාස් ඔයාමා ව්‍යායාම් මගින් අත් පා දැඩි කරගනිමින් ගඩොල්, සිමෙන්ති ගල් ආදිය කැඩී යන්නට පහරදීම සම්බන්ධයෙන් ලෝක ප්‍රසිද්ධියට පත්වූවෙකි.
1975 දී ජපානයේ විවෘත සටන් ශූරතාවලියක් සංවිධානය කරනු ලැබුවා. එය කියෝකුෂින් ෙශෙලිය තුළ ඇති සාර්ථකත්වය පෙන්වීමේ අරමුණින් සංවිධානය කරන ලද්දක්. එහිදී ශ්‍රී ලංකාවටත් සහභාගි වන්නට ඇරයුම් ලැබුණා. ෂිහාන් වෙල්ගම සමග මමත් ජපානයට ගියා. සටන් කිරීමේදී ඉහළම දස්කම් පෙන්වූවන්ගේ ඡායාරූප ඇතුළත් සමරු කලාපයක් මාස් ඔයාමා විසින් පසුව මුද්‍රණය කරනු ලැබුවා. මගේ ඡායාරූපයත් ඊට ඇතුළත්.

සටන් කලාව ප්‍රගුණ කොට කියෝකුෂින් සටන් ගුරුවරයකු බවට පත් වූ නන්ද සිරිවර්ධන මහතා මේ වනවිට දශක ගණනාවක් තිස්සේ මෙරට දහස් ගණනකට තම දැනුම හා කුසලතා බෙදා දී ඇත. සටන් කලාවට මෙන්ම යෝග ක්‍රම ඉගැන්වීමටද හෙතෙම ප්‍රසිද්ධය.

යෝග කිරීමත් සටන් කලාවටම සම්බන්ධයි. අතීතයේදී ඉන්දියාවේ බෝධි ධර්ම හිමියන් චීනයට ගොස් සටන් කලාව මෙන්ම යෝග අභ්‍යාසත් උගන්වා තිබෙනවා. යෝග අභ්‍යාසවල යෙදීමෙන් සිතත් කයත් නිරෝගීව සැහැල්ලුවෙන් තබාගත හැකියි.

වයසින් බොහෝ දුර ගියත් ඔහු තවමත් තරුණ ජවයෙන් පසුවන්නේ යෝග ක්‍රම හා සටන් පුහුණුව අඛණ්ඩවම පවත්වා ගන්නා බැවිනි. සටන් ඉරියව්වකට මාරුවීමේදී ඔහු කෙරෙන් කිසිදු වියපත් බවක් නොපෙනේ.

ජපානයට ගොස් මාස් ඔයාමා යටතේ මාස 4 ක් පුහුණුව ලැබූ නන්ද සිරිවර්ධන එය ඉතා කලාතුරකින් සටන් ක්‍රීඩකයකුට ලැබෙන අවස්ථාවක් බවද කීය. සිංහයන්ගේ මාලිගාව නම් සටන් අභ්‍යාස අංගණයක ලද ඒ පුහුණුවේදී තමා තුළත් සිංහයකු සිටින්නාක් වැනි හැඟීමක් දැනුණු බවද ඔහු සඳහන් කළේය.
රවී ජයන්ත | ඡායාරූප – චතුර එස්. කොඩිකාර