යුද හමුදාවේ පුරප්පාඩුව පැවැති මාණ්ඩලික ප්‍රධානී තනතුරට මේජර් ජෙනරාල් උභය මැදවල පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය මගින් හමුදා මූලස්ථානයට ඊයේ (27) දන්වා එවා ඇත.

යුද හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී තනතුර සඳහා ස්වේච්ඡා බළසේනා ආඥාපති මේජර් ජෙනරාල් චන්න ගුණතිලක පත් කර තිබේ.

මේ අතර ගුවන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී තනතුරට එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස් ඔක්තෝබර් 01දා සිට බලපැවැත්වෙන පරිදි පත් කර ඇත.

යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී තනතුර මස දෙකක් තිස්සේ පුරප්පාඩුව පැවැති අතර ඒ සඳහා ‍‍‍ජ්‍යෙෂ්ඨතම මේජර් ජෙනරාල්වරුන් දස දෙනකුගේ නම් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත නිර්දේශ කර යවා තිබිණි.

ඒ අතරින් ‍‍‍ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන මේජර් ජෙනරාල් උභය මැදවල පත් කර ඇති අතර ඔහු මේ වන විට ඇමෙරිකාවේ නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා මෙහෙයුම් භාර යුද උපදේශක ලෙස කටයුතු කරයි. එම තනතුරට පත්වීමට පෙර බටහිර ආරක්ෂක සේනා ආඥාපති හා මධ්‍යම පළාත් භාර ආඥාපති ලෙසද හමුදා ප්‍රකාශක ලෙසද මේජර් ජෙනරාල් උභය මැදවල කටයුතු කළේය.

කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවකු වන හෙතෙම 1981 පෙබරවාරි 05දා පාඨමාලා අංක 15 යටතේ යුද හමුදාවට එක්වී සන්නාහ සන්නද්ධ බළකා රෙජිමේන්තුව යටතේ සේවය කළේය.

රණශූර පදක්කම, විශිෂ්ට සේවා විභූෂණය, උත්තම සේවා පදක්කම, දීර්ඝ සේවා පදක්කම, පූර්ණ භූමි පදක්කම හා රිවිරැස මෙහෙයුමට දැක්වූ දායකත්වය වෙනුවෙන් වන පදක්කමද ලබා ගන්නට මේජර් ජෙනරාල් උභය මැදවල සමත් වී ඇත. මේජර් ජෙනරාල් උභය මැදවල ලබන දෙසැම්බර් 02දාට වයස අවුරුදු 55 සපුරයි.

ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත්වූ එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස් කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවකු වන අතර 1986 දී පියාසර නිලධාරියකු ලෙස එක්වී සටන් පෙරමුණට ගුවනින් සුවිශාල දායකත්වයක් දුන්නේය. රණශූර පදක්කම, උතුරු නැගෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම, රිවිරැස පදක්කම, පූර්ණ භූමි පදක්කම පවා හිමි කරගෙන ඇත.

යුද හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත් මේජර් ජෙනරාල් චන්න ගුණතිලක ස්වේච්ඡා බළසේනා ආඥාපති ලෙස කටයුතු කළේය. කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවකු වන හෙතෙම යුද හමුදාවට එක්වන්නේ 1981 අගෝස්තු 31දාය.

මධ්‍යම පළාත් ආරක්ෂක සේනා ආඥාපති ලෙස හා කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් චන්න ගුණතිලක වන්නි මානුෂීය මෙහෙයුමේදී මන්නාරම් ප්‍රදේශ භාර ආඥාපති ලෙස 56 වන සේනාංකාධිපති ලෙස කටයුතු කළේය. 551 බළසේනාව හා 533 බළසේනාවල බළසේනාධිපති තනතුර හෙබවූ ඔහු කාරක ඉංජිනේරු රෙජිමේන්තුව නියෝජනය කළ නිලධාරියෙකි.

රණශූර පදක්කම හා උත්තම සේවා පදක්කමට හිමිකම් පා ඇති මේජර් ජෙනරාල් චන්න ගුණතිලක ලබන වසරේ මාර්තු 01දා වයස අවුරුදු 55 සපුරයි.

මේ අතර වන්නි ආරක්ෂක සේනා ආඥාපතිව සිටි මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා ස්වේච්ඡා බළසේනා ආඥාපති ලෙස පත් කර ඇත.

සිංහ රෙජිමේන්තු නිලධාරියකු වන ඔහු ‍‍‍ජ්‍යෙෂ්ඨතාව අනුව ඉහළින්ම සිටින පාබල රෙජිමේන්තු නියෝජනය කරන නිලධාරියාද වන්නේය. ඔහු වයස අවුරුදු 55 සපුරන්නේ ලබන වසරේ දෙසැම්බර් 03 දාය.
තිස්ස රවීන්ද්‍ර පෙරේරා