ප්‍ර – ඔබේ උපන් දිනය?
පි – 1963 මාර්තු 29

ප්‍ර – උපන්නේ
පි – මම අම්පාරේ ඉපදුණේ. මගේ තාත්තා එතකොට වැඩ කළේ ගල්ඔය ව්‍යාපාරයේ.

ප්‍ර – එතකොට පාසල් අධ්‍යාපනයට කොළඹ නාලන්දාව තෝරා ගත්තේ කොහොමද?
පි – අම්පාරේ ඉපදුණාට මම සම්පූර්ණයෙන්ම හැදුණේ වැඩුණේ කොළොන්නාවේ.

ප්‍ර – පාස‍ලේ සිටි අද නමගිය සමකාලීනයන් කවුද?
පි – නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මගේ පන්තියේ මිතුරා. බ්‍රිගේඩියර් රුවන් කුලතුංග මගේ පන්තියේ. හිටපු ගුවන් හමුදාපති ගගන් බුලත්සිංහලත්, යුද හමුදාවේ මේජර් ජෙනරාල්වරුන් වන ජනක වල්ගම, මිලින්ද පීරිස් මට ඉහළ පන්තියේ හිටියේ.

ප්‍ර – ඔබගේ දෙමාපියන් ගැන මතක් කළොත්?
පි – මගේ පියා සෙනරත් සිරිමාන්න ජයම්පති. එයා ගල්ඔය ගංගා නිම්න සංවර්ධන මණ්ඩලයේ ඉංජිනේරුවෙක්. අම්මා සුමනාවතී ජයම්පති. අම්මා රැකියාවක් කළේ නෑ.

ප්‍ර – ඔබ පවු‍ලේ කී වෙනියාද?
පි – මම පවු‍ලේ තුන්වැනියා. අක්කා සන්ධ්‍යා කුමාරි, අයියා අසේල ජයම්පති, මල්ලි සම්පත් ජයම්පති.

ප්‍ර – ඔබ ගුවන් හමුදාවට බැඳෙන්න තීරණය කළේ ඇයි?
පි – ඇත්තටම මගේ ආසාව වුණේ නාවික හමුදාවට බැඳෙන්නයි. පාසල් යන කා‍ලේ ඉඳන් නාවික හමුදාවට යන්න ආසාව තිබුණා. මම උසස් පෙළ කරද්දීම තාත්තාට ඒක කිව්වා.

ප්‍ර – එතකොට නාවික හමුදාව වෙනුවට ගුවන් හමුදාව තෝරා ගත්තේ කොහොමද?
පි – නේවි එකට යන්න ආසයි කිව්වහම තාත්තා මට ඉංග්‍රීසි ‍පොතක් ගෙනත් දුන්නා සේලර් කෙනෙකුගේ ජීවිතය ගැන. (ඹ්ඪටඥ ධට ඉචඪතධප) නාවික හමුදා ජීවිතය දුෂ්කර එකක් කියලා ඒ ‍පොත කියවද්දී මට දැනුණා.

ප්‍ර – ඊට පස්සේ මොකද වෙන්නෙ?
පි – මම ‍පොත කියෙව්වට පස්සේ නාවික හමුදාවට යන අදහස වෙනස් වුණා. අපේ පවු‍ලේ අය කවුරුත් හමුදාවට සම්බන්ධ වෙලා හිටියේ නැති නිසා ඒ ගැන අවබෝධයක් තිබුණෙත් නැහැ. තාත්තා ඇහුවා ගුවන් හමුදාවට බැඳෙන්න ආසද කියලා. ඊට පස්සේ තමයි මම තැපැල් කන්තෝරුවට ගිහිල්ලා ගැසට් එක බොහොම අමාරුවෙන් සොයාගෙන ගුවන් හමුදාවට බැඳෙන්න අයැදුම් කළේ.

ප්‍ර – ගුවන් හමුදාවට බැඳෙද්දී එය විශාල අභියෝගයක් වුණාද?
පි – ඒ 1981 අවුරුද්දයි. ගුවන් හමුදාවට බැඳෙන එක අමාරු වුණා. මාත් එක්ක තරුණයන් දාහත්දාහක් ඇප්ලිකේෂන් දාලා තිබුණා. එතැනින් තෝරා ගත්තේ දහදෙනයි. ඒ දහදෙනා අතරට එන්නට සුදුසුකම් සම්පූර්ණ කළ නිසා මට ඒ දහදෙනා අතරට ඇවිත් ගුවන් හමුදාවට එක්වෙන්න හැකි වුණා.

ප්‍ර – ගුවන් හමුදාවට එක්වුණේ?
පි – 1982 මාර්තු 05 වැනිදා පාඨමාලා අංක දහය යටතේ ගුවන් හමුදාවට එක් වුණා.

air-chief-2ප්‍ර – පියාසර නිලධාරියකු ලෙස නියමු අංශයට (ඪතධබ ඕපචදජඩ) තේරී පත් වන්නේ කොහොමද?
පි – පාඨමාලා අංක දහය යටතේ බැඳුණු දහදෙනා අතරින් එක්කෙනෙක් හැර අනිත් ඔක්කෝම නියමු අංශයට බැඳෙන්න ආවා. පයිලට්ලා තෝරා ගන්න කුසලතා පරීක්ෂණයක් තියෙනවා. ඒකෙන් පස්සේ වෛද්‍ය පරීක්ෂණයක් තියෙනවා. අන්තිමට දහදෙනාගෙන් පයිලට්ලා හැටියට තේරී පත් වුණේ රොමේෂ් මෙන්ඩිස්, මම, ප්‍රභාත් බොතේජු, ප්‍රශංස ජයවර්ධන කියන අපි හතර දෙනයි.

ප්‍ර – පියාසර නිලධාරියකු ලෙස පුහුණු වූ කාලය කෙසේ ගත වුණාද?
පි – අපි තේරුණු හතර දෙනාගෙන් ෆ්ලයින් කම්ප්ලීට් (පියසාර පුහුණු වීම් සම්පූර්ණ කිරීම්) කළේ මමත් ප්‍රභාතුත් රොමේෂුත් විතරයි. එතැනින් අතර මැදදී ප්‍රභාත් ගියාට පස්සේ පියාසර කැඩෙට් පාඨමාලාව හදාරා විසිර ගිය නිලධාරීන් දෙදෙනා වුණේ මමයි රොමේෂ් මෙන්ඩිස් යන දෙදෙනායි. විසි එක්වැනි පියාසර කැඩෙට් නිලධාරි පාඨමාලාවේ හොඳම පියාසර නිලධාරියා ලෙස මට තේරී පත්වෙන්න ලැබුණා. එදා අපේ ප්‍රධාන බඳවා ගැනීම් නිලධාරියා ලෙස කටයුතු කළ ගෲප් කපිතාන් තිලක් පතන්වල මහතා අවුරුදු පහළොවකට පස්සේ ඔස්ට්‍රේලියාවේ ඉඳලා මම ගුවන් හමුදාපති වුණා කියලා දැනගෙන සුබපතන්න කතා කළා.

ප්‍ර – එතැනින් පසුව ඔබ මුලින්ම සේවයට යන්නේ කොතැනටද?
පි – මම කටුනායක අංක 04 හෙලිකොප්ටර් බළගණයට ගියා.

ප්‍ර – කනිෂ්ඨ කැඩෙට් නිලධාරියකු ලෙස ඔබටත් මෙහෙයුම් කලාපවල වගකීමක් පැවරුණාද?
පි – මමයි, රොමේෂ් මෙන්ඩිසුයි ඉතිහාසයේ පළමුවරට කැඩෙට්ස්ලා විදිහට හෙලිකොප්ටර් අරගෙන මෙහෙයුම්වලට දායක වුණා. කැඩෙට් නිලධාරීන් විදිහටයි අපි ඔපරේෂන්වලට ගියේ. අංක 4 බළගණයේ නිලධාරි අණදෙන පුහුණු ලෙස සිටියදී උතුරු නැගෙනහිර මෙහෙයුම්වල නිරත පාබල සේනාංකවල සහායට අපි ගුවන් සහාය දුන්නා.

ප්‍ර – අවසානයේ කනිෂ්ඨ නිලධාරියකු ලෙස එක්වූ ඔබ අද ‍‍‍ජ්‍යෙෂ්ඨතම පුහුණු උපදේශක දක්වා ආ ගමන බැලුවාම මොකද හිතෙන්නෙ?
පි – දැන් ගුවන් හමුදාවේ සිටින ‍‍‍ජ්‍යෙෂ්ඨ හෙලිකොප්ටර් පුහුණු උපදේශකවරුන් පවා මගේ ශිෂ්‍යයෝ. අවුරුදු විසිදෙකක් තිස්සේ මම පුහුණුවීම් කළා. 1995 අප්‍රේල් මාසයේ අපේ හිටපු ‍‍‍ජ්‍යෙෂ්ඨතම පුහුණු උපදේශකයා වූ රොජර් වීරසිංහ ගිය ගුවන් යානයට එල්.ටී.ටී.ඊ.ය පහරදී විනාශ කිරීමත් සමග තමයි මම ‍‍‍ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස පත් වුණේ. මම එදා ඉඳන් මේ දක්වාම කාර්යශීලී ගුවන් උපදේශකයකු ලෙස කටයුතු කරනවා.

ප්‍ර – ඉන්පසුව උසස්වීම් ලද ආකාරය සඳහන් කළොත්?
පි – 1986 දී පියාසර නිලධාරි ලෙසට උසස් වුණා. 1989 දී තමයි පියාසර ලුතිනන් තනතුරට උසස් වුණේ. 1990 දී නියමු රාජකාරිවලින් බැහැරව වසරක් ගුවන් හමුදා මූලස්ථානයේ රාජකාරි කළා. ඉන්පසුව යළිත් අංක හතර හෙලිකොප්ටර් බළගණය වෙත මාරු වෙලා පුහුණු කටයුතු භාරව සිටියා. එතැනදි විශේෂිත පුද්ගලයන් ප්‍රවාහනය කිරීමේ ශ්‍රේණිය ලබාගත් පසු විශේෂිත සහ ප්‍රභූ ප්‍රවාහනය කිරීමේ කටයුතුවලට දායක වුණා.

ප්‍ර – ඔබ ප්‍රභූවරුන් ප්‍රවාහනය කිරීමේ කාර්යයේදී රැගෙන ගිය විශේෂිත ප්‍රභූවරුන් කවුද?
පි – මම ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ ගුවන් ගමන්වලදී නියමුවා ලෙස කටයුතු කළා. එතුමා කෙළින් තීරණ ගන්න නායකයෙක් කියලා අපිට ගමන්වලදීම තේරුම් ගියා. රටේ අභාග්‍යයට එතුමා රටට අහිමි වුණා.

ප්‍ර – ඒ කා‍ලේ ප්‍රභූ ආරක්ෂක සේවයේ වගකීම කෙසේද?
පි – ඇත්තටම ඒ කා‍ලේ සුඛෝපභෝගී හෙලිකොප්ටර් තිබුණේ නැහැ. ඒ වගේම ජංගම දුරකථන වගේ දේවල් තිබුණෙත් නැහැ. අපි ප්‍රභූවරයාව තැනකට අරගෙන ගියාම ඔහුගේ රථ වාහන, ආරක්ෂකයින් එනතුරු ප්‍රභූ ආරක්ෂාවද ලබා දුන්නා.

ප්‍ර – ප්‍රේමදාස ජනාධිපතිතුමා එක්ක ගමන් බිමන්වලදී ලද අභියෝග මොනවාද?
පි – ප්‍රේමදාස ජනාධිපතිතුමා උත්සවයකට යද්දී කිරි කොකා වගේ ජාතික ඇඳුම ඇඳලා යන්නේ. හෙලිකොප්ටරයේ යද්දී තේ එකක් බොන්න ඕනෑ වුණාම එතුමාගේ ළඟින්ම යන මොහිදින් තේ එක හදලා දෙනවා. ඒ වෙලාවට අපි පියාසර කරද්දී අපේ ඇඟේ ‍ලේ වතුර වෙනවා. මොකද ‍පොඩ්ඩක්වත් හෙලවෙන්නේ නැති වෙන්න අපි හෙලිකොප්ටරය නොගෙනිච්චොත් තේ එක ජනාධිපතුමාගේ ඇඟේ හැලෙනවා. තේ එක ඇඟේ හලන්නේ නැතිව අපි එතුමාව අරගෙන යන එක තමයි එදා අපේ ඉලක්කය වුණේ.

ප්‍ර – ඒ වගේ අභියෝග සමග ගමන් දිගටම යෙදුණාද?
පි – එතුමාගේ ගාමන්ට් ෆැක්ටරි සියයක් ඇරඹීමේ වැඩසටහනේ විවෘත කිරීම් අසූවකට පමණ රට පුරාම රැගෙන ගියේ මමයි. ඒ හැම තැනකදීම පයිලට්ලා කෑවද, බිව්වද කියලා හැම වෙලාවෙම ජනාධිපතිතුමා පුද්ගලිකවම සොයා බැලුවා. නිවාඩුවට අඹන්‍පොළ වත්තට ගියාමත් අපි ගැන හොයලා බලලා තමයි එතුමා විනෝද වෙන්න පටන් ගත්තේ.

ප්‍ර – ඒ ගමන්වල අමතක නොවන මතකයන් මොනවාද?
පි – දවසක් අඹන්‍පොළ වත්තට ගිහිල්ලා හෙලිකොප්ටරය ගාවට යනකන් ජීප් එක එළවාගෙන ගියේ ප්‍රේමදාස ජනාධිපතිතුමා. එතුමා වත්තට ගියාම රේන්ජ් රෝවර් ජීප් එක නිදහසේ එළවන්න ආසයි. මාවත් ඉස්සරහ වාඩි කරගෙන ජනාධිපතිතුමා ජීප් එක එළවාගෙන එද්දී එකපාරටම වළකට වැටුණා. ජනාධිපතිතුමා ඒ වෙලාවේ ආරක්ෂක ප්‍රධානියාගෙන් ඇහුවා මේ පාර හදන්න කියලා ටික දවසක් නේද? ජනාධිපති කියන දේත් කරන්න බැරි නම් එයාට අපි කියන භාෂාව තේරෙන්නෙ නැද්ද කියලා අහන්න කියලා. ඒ වචන ටික විතරයි ජනාධිපතිතුමා කිව්වේ. පහුවදාම පාරවල් ඔක්කෝම එක දවසෙන් හදලා ඉවර කරලා තිබ්බා.

ප්‍ර – ඒ වගේ තව මතකයන් නැද්ද?
පි – අපි අඹන්‍පොළ වත්තට ගිහිල්ලා මහව පැත්තේ රවුමක් ගහලා එද්දී ගොඩනැගිල්ලක් විවෘත කරන්න යන්න තිබුණා. අපි හෙලිකොප්ටරය ලෑන්ඩ් කරද්දී ‍පොලිසියේ ඩී.අයි.ජී.ලා බිස්නස්කාරයෝ මල්මාලා අරගෙන ජනාධිපතිතුමා පිළිගන්න බිම හිටියා. මගේ සහායක කෝ පයිලට් බැහැලා දොර ඇරියට ජනාධිපතිතුමා බැස්සේ නැහැ. ජනාධිපතිතුමා ටිකක් කේන්ති ගිහිල්ලා වගේ හිටියා. මල්මාලා අරගෙන කට්ටිය පිළිගන්න ආවහම තමුසෙලා මට පේන පැත්තේ විතරක් තීන්ත ගාලා මේක විවෘත කරන්න හදනවා නේද? අනිත් පැත්තෙත් තීන්ත ගාලා තියෙනවලා. මම සවස 3.00ට ආයෙත් එන්නම් කියලා ජනාධිපතිතුමා නැවත යමු කිව්වා. ඊට පස්සේ අපි සවස 3.00ට ගියා. ඒ යද්දී ඔක්කෝම වැඩ ඉවර කරලා තිබුණා. ඒ වගේ බොරු කරනවාට එතුමා කැමැති වුණේ නැහැ.

ප්‍ර – ප්‍රේමදාස ජනාධිපතිතුමා හදිසියේ හෙලිකොප්ටරය ගොඩ බස්සවන්න කියපු අවස්ථා තිබුණාද?
පි – කතරගම ගිහිල්ලා හෙලිකොප්ටරයේ එද්දී එකපාරටම ගාල්ලේ කොටුව ළඟ ලෑන්ඩ් කරන්න කිව්වා. මම කිව්වා සර් ගාල්ලේ බහින්න බැහැනේ සිකියුරිටි එකේ අයත් නැහැ. වාහනත් නැහැ කියලා. ප්‍රශ්නයක් නැහැ බස්සන්න කියලා ජනාධිපතිතුමා කිව්වා. ඊට පස්සේ හෙලිකොප්ටරය නැවැත්තුවාම පාර හරහා පැනලා දවල් 11.00ට නගර සභාවට ගොඩ වුණා. මම තමයි ආරක්ෂාවට පස්සෙන් දිව්වේ. අපි යද්දී රජයේ සේවකයෝ කවුරුත් නැහැ. දවල් කෑමට ගිහිල්ලා කිව්වා. එදායින් පස්සේ තමයි රජයේ සේවකයින් ජනාධිපතිතුමා කඩා පනිනවා කියලා බයට වෙලාවට වැඩ කරන්න පටන් ගත්තේ.

ප්‍ර – මේ ප්‍රභූවරුන්ගේ ගමන්වලදී අවදානම් ගමන්වල යෙදුණාද?
පි – ජවිපෙ කලබල කා‍ලේ අපි හක්මණට ගියා රැස්වීමකට. හෙලිකොප්ටරය මුලින්ම ලෑන්ඩ් කරද්දී අපිට අත්බෝම්බ ගහන්න ගත්තා. මම ජනාධිපතිවරයාත් හෙලිකොප්ටරයත් බේරාගෙන වෙනත් ආරක්ෂිත තැනකට හෙලිකොප්ටරය ලෑන්ඩ් කළා. ඒ වෙද්දී රැස්වීමට ස්ටේජ් එක ගහන්න ගිය අයවත් මරලා දාලා. ඊට පස්සේ කතා කරන්න ස්ටේජ් එකක් නැති නිසා හෙලිකොප්ටරය තුළ තිබුණු මෙගා ෆෝන් එකක් අරන් හෙලිකොප්ටරයේ පඩිය උඩ හිටගෙන කතාවක් පවත්වන්න ගත්තා. ජවිපෙන් මරයි කියලා බයට මිනිස්සු දොරවල් වහගෙන ගෙවල් ඇතුළේ හිටියේ. ජනාධිපතිතුමා විනාඩි පනහක් කතාවක් කළා. ඊට පස්සේ තමයි ගෙවල්වල මිනිස්සු බය අතහැරලා දොරවල්, ජනෙල් ඇරගෙන එළියට ආවේ. ප්‍රේමදාස ජනාධිපතිතුමා මිනිස්සුන්ගේ බය ඇරලා එයාගේ රැස්වීම තියලා තමයි ආවේ.

ප්‍ර – ඒ වගේ තවත් ප්‍රභූවරුන් රැගෙන යන අවස්ථාවල විශේෂ අත්දැකීම් තියෙනවාද?
පි – ඔව්. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය 1993 මහ ඇමැති ධුරයට තරග කරද්දී ජෙට් රේන්ජර් හෙලිකොප්ටර් එකක එතුමියගේ ඡන්ද වැඩකට අරන් ගියේ මම. මම ඒ රැස්වීම තියන්න තිබුණු තැන ඉස්කෝ‍ලේ පිට්ටනියට හෙලිකොප්ටරය ගොඩබෑවත් එතුමියගේ ආරක්ෂකයින් හෝ වාහන පැමිණ තිබුණේ නැහැ. මොකද ඒ දවස්වල ජංගම දුරකථන නොතිබුණු නිසා පණිවුඩ දීමට ක්‍රමයක් තිබුණෙත් නැහැ. අපි එතැන ඉද්දී වාහනයක් ආවා. ඊට පස්සේ රැස්වීම ඉවර වෙලා කොළඹ එද්දී සවස් වුණ නිසා අපි ආරක්ෂක හේතුන් මත හෙලිකොප්ටරය කටුනායක ලෑන්ඩ් කළා. ඒ වෙද්දී එතුමිය රැගෙන යන්න වාහනයක් පැමිණ තිබුණේ නැහැ. මම කඳවුරේ වූ ජීප් එකෙන් එතුමියව ආරක්ෂිත තැනකට ඇරලවලා ඇවිත් පැය භාගයක් යන්න කලින් ජවිපෙ කටුනායක කෑම්ප් එකම වට කරලා ගැහුවා. ආයුධ ගබඩා අල්ලාගෙන ජවිපෙ අය කඳවුරේ බේස් කමාන්ඩර්ගේ කාර් එකත් පැහැර ගත්තා. ඒ වෙලාවේ මම ළඟ තිබුණු ටී 56 අවියක්. මම ඒක රත්න කුමාරට දීලා කාර් එක බේරාගත්තා. එදා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ වාහනය එනකල් කඳවුරේ හිටියා නම් ඇයගේ ජීවිතයටත් අනතුරක් වෙන්න තිබුණා.

ප්‍ර: ඔබ සංග්‍රාමික පදක්කම් රැසකට උරුමකම් කියූ නිලධාරියෙක්. ඒ අත්දැකීම් සඳහන් කළොත්…?
පි: 1996 දී මුලතිව් කෑම්ප් එකට කොටි ගහලා අල්ලන්න ඔන්න මෙන්න තියෙද්දී විශේෂ බළකායේ කර්නල් ෆස්ලි ලෆීර් ඇතුළු භටයන් මුලතිව්වලට ගොඩබස්සන්න ගිය මුල්ම කණ්ඩායමේ හෙලිකොප්ටර්වලට නායකත්වය දුන්නේ මමයි. ඒ වෙලාවේ එල්ටීටීඊය හැමතැනම අල්ලගෙන හිටියා. අපි ජීවිත අවදානම ගැන හිතන්නේ නැතිව මුලතිව්වලට එස්.එෆ්ලා අරන් ගියා. පළමුවැනි කණ්ඩායම ගොඩබස්සවන්න අපේ බෙල් 212 හෙලිකොප්ටරය පාත් කරන්න වුණේ ‍පොළොවේ ගෑවෙන නොගෑවෙන තරමට. එල්ටීටීඊය වැල්‍ලේ වළවල් හාරාගෙන ආයුධ උඩට තියාගෙන උඩින් පැදුරු දාලා වැලි උඩින් දාලා හැංගිලා හිටියේ. අපි එකපාරටම පාත් කරද්දී වෙඩි තියන්න හිටියත් අපි එකපාරටම ඇවිත් හෙලිකොප්ටර් පාත් කරද්දී වැලි ඇවිස්සුණු නිසා කොටින්ට ඉලක්කයට වෙඩි තියන්න බැරි වුණා. අපි මරණය පෙනි පෙනී එස්. එෆ්.ලා ගොඩබස්සවන මෙහෙයුමට දායක වුණා. මුලතිව්වලට ස්වෙච්ඡාවෙන්ම ගිය කර්නල් ලෆීර් සටන් බිමේ නැති වුණා. එයාගේ බොඩි එක ගන්න එකයි. එයා වෙනුවට නිලධාරින් රැගෙන යන්න අපි ඊළඟ අභියෝගයත් භාර ගත්තා. එල්ටීටීඊය අපේ පණිවුඩ හුවමාරු යන්ත්‍රවලට සවන් දීලා අපිට බස්සන තැන හඳුනාගන්න කොළ එළියක් ගහන්න කිව්වම හැම තැනම එළි ගහන්න ගත්තා. අපි ඒ කා‍ලේ තැන හඳුනාගන්න ජී.පී.එස්. තිබුණෙත් නැහැ. නමුත් අපේ ජීවිත ගැන නොතකා කළ ගුවන් මෙහෙයුම්වලට වීර වික්‍රම විභූෂණය හම්බ වුණා.

ප්‍ර: ඔබ මීට අමතරව රණශූර පදක්කම හතර වතාවක්ද, රණවික්‍රම පදක්කම එක්වතාවක්ද හිමිකර ගත්තා. ඒ ගැන මතක් කළොත්?
පි: මම කනිෂ්ඨ නිලධාරියකු ලෙස යාපනයේ ජෙනරාල් කොබ්බෑකඩුව සමග ළඟින්ම හිටියා. එක පළාතකටම තිබුණේ හෙලිකොප්ටරයක් පමණයි. කොබ්බෑකඩුව මහතා කර්නල් කා‍ලේ මම ආධුනික වුවත් හමුදා මෙහෙයුම්වලදී ගුවන් හමුදාවේ කාර්යභාරය ගැන, වගකීම තීරණ ගැනීමේ හැකියාව මට ලබාදී තිබුණා. විජය විමලරත්න, මේජර් ගෝඨාභය රාජපක්ෂ, මේජර් පලිපාන යන නිලධාරින් සමග කොබ්බෑකඩුව මහතා කරන යුද සැලසුම්වලට මාවත් එක්කරගත්තා.
මම ඉරිදා දවසක මගේ හෙලිකොප්ටරය සර්විස් කරන්න වව්නියාවට ගිහිල්ලා ඉද්දී ජෙනරාල් කොබ්බෑකඩුව කෝල් කරලා කපිල සිලාවතුර කෑම්ප් එකේ නයෙක් ගහපු එක්කෙනෙක් ඉන්නවා. ගේන්න යන්න පුළුවන්ද කියලා ඇහුවා. මම ඉක්මනට බෙල් 212 එක අරන් යද්දී කර්නල් සිරි පීරිස් (පසුව ජෙනරාල්) කල්ලඩි කෑම්ප් එකට යන්න නැගගත්තා. මම මඩු පල්ලි පාරේ උඩින් යද්දී පරප්පකන්ඩාල් පැත්තේ දී එල්ටීටීඊයේ වාහන පෙළක් යනවා දැක්කා. පහළට ගියාම වාහනවල බඩු පුරවාගෙන යනවා පෙනුණා. මම වෙන වැඩකට ගියත් ඉක්මනට සන්රේට (ජෙනරල් කොබ්බෑකඩුව හැඳින්වූ හමුදා සංකේත නාමය) කතා කරලා මේකට ගහන්න අවසර ගත්තා. ඒත් එක්කම අපි වාහන පෙළට උඩ ඉඳන් ගහන්න ගත්තා. ඒ ගහලා තල්ලඩි කෑම්ප් එකට සිරි පීරිස් දාලා සර් ගිහිල්ලා ආටිලරි (කාලතුවක්කු) එන්ගේජ් කරන්න කිව්වා. එතකන් මම සිලාවතුරට ගිහිල්ලා සර්පයා කාපු සෙබළා අරන් එන ගමනුත් ආයෙත් ගැහුවා. පස්සේ අපි ගත්ත ටාගට් එකෙන් කොටි 40 ක් මරුණා කියලා දැනගත්තා.

ප්‍ර: තරුණ නිලධාරියකු ලෙස සටන් පෙරමුණේ වැඩිම සංග්‍රාමික පදක්කම් හිමිකරගත් ගුවන් හමුදා නිලධාරින් අතරේ ඔබත් ඉහළින් සිටියා නේද?
පි: ගුවන් හමුදාවේ රණකාමිත්වයට ලැබෙන සම්මාන හිමිකරගත් තරුණ නිලධාරියා විදියට මට පදක්කම් හිමිවුණා.

ප්‍ර: එදා සටන් පෙරමුණට ඔබලා ගැන තිබූ ප්‍රසාදය කොහොමද?
පි: මම ගගන්, රනිල් ගුරුසිංහ, රොමේෂ් අපි කට්ටිය මෙහෙයුම්වලට යද්දී නමින්ම අඳුරනවා. සමහර මෙහෙයුම්වලට යද්දී කපිලව දෙන්න කියලා නමින්ම ඉල්ලනවා. අපි ගැන හැමෝටම ලොකු විශ්වාසයක් තිබුණා.

ප්‍ර: ඔබ සංග්‍රාම භූමියේ ගුවනේ දී තුවාල ලද පළමු ගුවන් හමුදා නිලධාරියායි. එදා ඔබගේ ඒ අත්දැකීම සඳහන් කළොත්?
පි: 1986 පෙබරවාරි 05 දා මම මඩකලපුව පැත්තේ හෙලිකොප්ටර් භාරව හිටියේ. එදා උදේ මට එස්ටීඑෆ් එකේ මඩකලපුව චෙන්කල්ලඩි – මහඔය පාරේ කෑම්ප් එකක් දාන්න යන වාහන පෙළකට ගුවනින් ආරක්ෂාව සපයන්න තිබුණේ. එස්ටීඑෆ් එකේ කණ්ඩායම් භාරව ගියේ ඒ. එස්. පී. ඉලංගකෝන් (හිටපු ‍පොලිස්පති එන්. කේ. ඉලංගකෝන්) අපි මඩකලපුවෙන් ගුවන්ගත වුණා. මගේ සහායක නියමුවා වුණේ රනිල් ගුරුසිංහයි.
(මාණ්ඩලික ප්‍රධානි ධුරය හොබවන එයාර් වයිස් මාර්ෂල් රනිල් ගුරුසිංහ) අවි දෙක භාරව ගියේ පෙරේරා හා ජයකොඩියි. )
රනිල් ගුරුසිංහ කාලයකට පස්සේ මඩකලපුවට ආපු නිසා මම එයාට ඒරියා එක පෙන්වන්න වටේ කැරකුණා. අපි එස්.ටී.එෆ්. එක ඉලක්කගත තැනට දාලා එද්දී මම රනිල්ට බිල්ඩින් එකක් පෙන්නන්න යද්දීම මගේ දකුණේ අවිය භාර පෙරේරා ‘සර් මට වෙඩි වැදුණා’ කියලා කෑගැහුවා. සර් යටිනුත් වෙඩි තියනවා කියලා ජයකොඩිත් කිව්වා.
ඒ කියලා තත්ත්පර ගාණකින් හෙලිකොප්ටරේ වින්ඩ්ස්ක්‍රීන් එක කඩාගෙන ආපු උණ්ඩයක් මගේ ඔළුවට වැදුනා. ඒත් එක්කම ‍ලේ වැක්කෙරන්න ගත්තා. හරියට වෙලාව උදේ 9.50 ට ඔරලෝසුවේ කට්ට ඒ වෙඩි ප්‍රහාරයට නැවතිලා තිබුණා.
අපි ඒ වෙද්දී මිසයිල් තර්ජනයක් තිබුණේ නැති නිසා පහළින් ගියා. ඒ කා‍ලේ වෙද්දී කැමා පාට හෙලිකොප්ටර් අපි තිබුණේ නැහැ. රතුයි, සුදු පාටයි බෙල් 212 හෙලිකොප්ටර් දෙකයි තිබුණේ. අයිස්ක්‍රීම් කරත්තය (ජඥ ඛිපඥචථ ඛිචපබ) කියලා තමයි අපි ඒවා හැඳින්වූයේ. සතුරාට ඈත ඉඳන්ම ඒවා හඳුනාගන්න පුළුවන්. ඒ කා‍ලේ අපිට වෙඩි නොවදින හෙල්මට් තිබුණෙත් නැහැ.
මගේ ඔළුවට වැදිලා කඩාගෙන ගිය ජී.පී.එම්.ජී (මැෂින් තුවක්කු) උණ්ඩයක්. එක පාරට ‍ලේ වැක්කෙරෙන්න ගත්තම මම ඉක්මනට අත දාලා ප්‍රථමාධාර පෙට්ටියේ තිබුණු ගෝස්, බැන්ඩේජ් ඔක්කෝම අරන් ඔළුවට තියාගෙන රනිල්ට හෙලිකොප්ටරය අරගෙන යමු කිව්වා. තත්ත්පර ගාණක් ඇතුළත මට පියවි සිහිය නැති වුණා මතකයි. ඊට පස්සේ චිත්‍රපටයක් බලනවා වගේ මරණ මංචකයේ දී හැමදේම අත්විඳපු පයිලට් කෙනෙක්. මට වයස අවුරුදු හතරේදී වගේ කරපු දේවල්වල ඉඳන් ‍පොඩි කා‍ලේ පටන් කරපු වැදගත් දේවල් ෆිල්ම් එකක් බලනවා වගේ මතක් වෙන්න ගත්තා. එදා උදේ මට අයියා කතා කරලා හෙට නිවාඩු එනවද කියලා අහපු තැනට වෙනකන් මතක් වුණා.
මගේ කෝ පයිලට් රනිල් හිතලා තිබුණෙත් මම මැරුණා කියලා. මාවත් අරගෙන විනාඩි පහළොවකින් විතර රනිල් මඩකලපුව කඳවුරට ඇවිත් තිබුණා. හෙලිකොප්ටරය ලෑන්ඩ් කළාම ඇම්බියුලන්ස් ඇවිත් තිබුණා මතකයි. මම සීට් එකෙන් නැගිටලා එතැනට ඇවිත් හිටපු අය මාව ගන්න හදද්දී කකුල බිම තියන්න දෙන්න කියලා ඉල්ලුවා. ‍පොළොවට පය තියනවා මට මතකයි. එතැනින් මාව මඩකලපුව රෝහලට ගෙනිච්චා. ඒ රෝහ‍ලේ ඉන්න මට වැඩි කැමැත්තක් තිබුණේ නැහැ. කොළඹට මුලින්ම පණිවුඩය ගිහින් තිබුණේ මම මැරිලා කියලා.
ප්‍ර: ඊට පස්සේ මොකද වුණේ?
පි: මාව රත්මලානට අරන් යන්න වින්ග් කමාන්ඩර් ඩොනල්ඩ් පෙරේරාත් (හිටපු ගුවන් හමුදාපති) තිබ්බොටුමුණුව රයිලි හේරම් ප්‍ලේන් එකකින් ආවා. මාව රත්මලානෙන් ගන්න. මගේ බළගණයේ අණදෙන නිලධාරි ඔලිවර් රණසිංහ (හිටපු ගුවන් හමුදාපති) හෙලිකොප්ටරයකින් ඇවිත් ජයවර්ධනපුර රෝහලට අරන් ගියා. ජයවර්ධනපුර රෝහලට ගුවනින් ලෙඩෙක් අරන් ආපු පළමුවැනි වතාව වගේම ඒකේ හමුදාවට අලුතෙන් ඇරඹු 15 වන වාට්ටුවට දාපු පළමුවැනි හමුදා නිලධාරියාත් මමයි.

ප්‍ර: ප්‍රහාරය එල්ල වූ ආකාරය ගැන මතකයක් තිබ්බේ නැද්ද?
පි: ඩේවිඩ් බේස් එකේ ඉඳන් කරුණා අම්මාන් ප්‍රහාරය මෙහෙයවූවා කියලා එස්ටීඑෆ් රේඩියෝ කමියුනිකේෂන් වලින් තහවුරු වී තිබුණා.

ප්‍ර: එතැනදී ඔබගේ තුවාල තත්ත්වය කෙසේ වූවාද?
පි: මගේ ඔළුවේ ඉස්සරහට වැදුණු උණ්ඩය හිස්කබල ළඟින් වැදිලා තුවාල කරගෙන උඩට ගිය නිසා ජීවිතේ බේරුණා. තුවාලයට මැහුම් 12 ක් දැම්මා.

ප්‍ර: රෝහලට ගිය පසු මොකද හිතුණේ?
පි: මම රෝහ‍ලේ හමුදාවේ අයට වෙන් කළ වාට්ටුවට යනකොට පළමුවැනි නිලධාරියා වුණා. ඊට දවස් පහකට පස්සේ කමාන්ඩෝ නිලධාරියකු වන කපිතාන් ශ්‍රීනාත් රාජපක්ෂ (පසුව මේජර් ජෙනරාල්) මෝටාර් එකක් වැදිලා ආවා. මම ජයවර්ධනපුර රෝහ‍ලේ ප්‍රතිකාර ලබන ගමන් තමයි යුද්ධයෙන් තුවාල වන අය ගෙන එන හෙලිකොප්ටර් කෙළින්ම ජයවර්ධනපුර රෝහ‍ලේ වහලයට බාන්න පුළුවන් වෙන්න හෙලිපැඩ් එක හදන්න සැලසුම් කළේ.

ප්‍ර: මේකේදී ඔබට ලද සම්මානය කුමක්ද?
පි: ඒ සඳහා දේශපුත්‍ර සම්මානය හිමි වුණා.

ප්‍ර: ඔබ තුවාල වූ සිද්ධිය ගැන පසු කාලයකදී දේශපාලනයට ආ කරුණා අම්මාන්ගෙන් ඇහුවේ නැද්ද?
පි: කරුණා අම්මාන් පිළිගත්තා ඒ කා‍ලේ එයා තමයි ඒක කළේ කියලා.

ප්‍ර: මේ ආකාරයට වෙඩිවැදුණු වාර තියේද?
පි: ඒ කා‍ලේ අපේ හෙලිකොප්ටර්වලට අනන්තවත් වෙඩි වැදුණා. මුලතිව්වල මෙහෙයුමේදීත් එහෙමයි. ඒත් අපි මෙහෙයුම් අතහැරියේ නැහැ.

ප්‍ර: එල්.ටී.ටී.ඊ. මිසයිල් තර්ජනයට මුහුණ දුන්නේ කෙසේ ද?
පි: ඇත්තටම 1995 අප්‍රේල් 28 වනකන් අපිට මිසයිල් තර්ජනයක් ගැන අත්දැකීම් තිබුණේ නැහැ. 1995 දී බමුණු මනමාලගේ, මහේෂ් ගමගේ යන ගුවන් නියමුවන් ගිය ඇව්රෝ යානය සිවිල් වැසියන් සමග ගිය රොජර් වීරසිංහත් සමග අපට අහිමි වුණේ පළාලි අහසේදී. ඒ ගැන පරීක්ෂණ කරන්න ගිය දෙවැනි ඇව්රෝ එකටත් යාපනය ටවුන් එක කිට්ටුව දී ගහලා බිම දැම්මා. එල්ටීටීඊයට මිසයිල තියෙනවා කියලා එතැනදී තහවුරු වුණා.

ප්‍ර: ඊට පස්සේ මොකද වුණේ
පි: ඊට පස්සේ අපේ නියමුවෝ පියාසර කරන්න බැහැ කිව්වා. එතකොට හෙලිකොප්ටර් හා ගුවන් යානාවල නියමුවන් පනහක් විතර හිටියා. ගුවන් හමුදාපති හිටියේ ඔලිවර් රණසිංහ, මෙහෙයුම් අධ්‍යක්ෂ හිටියේ එයාර් වයිස් මාර්ෂල් ජයලත් වීරක්කොඩි.
හැම බළඝනයක්ම යන්න බැහැ කිව්වා. එතකොට යාපනේට හැම සැපයුමක්ම ගුවන් හමුදාවටයි පැවරී තිබුණේ. යාපනේට කෑම යවන්නත් බැහැ. එහේ තුවාල වෙන සෙබළු ගේන්නත් බැරිව හිරවෙලා හිටියා.

ප්‍ර: ඒ අර්බුදය විසඳුණේ කොහොමද?
පි: ඊට පස්සේ මම මේක ගුවන් හමුදාවට ලැජ්ජාවක්, අපේ නම රැකගන්න ඕන කියලා තීරණය කළා. මෙහෙයුම් අධ්‍යක්ෂ හිඟුරක්ගොඩට ඇවිත් කතා කළත් නියමුවන් යන්න බැහැ කිව්වා. මම හිඟරක්ගොඩ අංක 07 බළඇණියේ අණ දෙන නිලධාරි වශයෙන් හිටියේ.
සර් මම මේ ගමන යනවා කියලා මම ඒ මොහොතේ ඉදිරිපත් වුණා. මාත් එක්ක යන්න සහායක පයිලට් කෙනෙක්වත්, අවිකරුවන්වත් එන්න බැහැ කිව්වා.

ප්‍ර: තනියම අභියෝග ජයගත්තේ කොහොමද?
පි: මට තනියම යන්න අධිෂ්ඨානයක් තිබුණට සහායට කෙනකු අවශ්‍යවුණා. ඇලන් පකීර් කියලා මුස්ලිම් ආධුනික නිලධාරියකු මගේ යටතේ පුහුණුවෙමින් තිබුණා. එතකොට ඇලන් හෙලිකොප්ටර් පුහුණු වෙලත් නැහැ. මම ඇහුවා ඇලන් මාත් එක්ක යන්න එනවද කියලා. පුතා ඔයා බයවෙන්න එපා පලාලි ගිහිල්ලා මම ඔයාව පණපිටින් අරන් එනවා කිව්වා.
ඇලන් කැමැති වුණාට පස්සේ එයාගේ ගෙදරට කතා කරලා අම්මට ‍පොරොන්දු වුණා පුතාව යාපනයට අරන් ගිහින් පණපිටින් ගෙනත් දෙනවා කියලා.

ප්‍ර: ඊට පස්සේ මොකද වුණේ?
පි: මගේ ස්කොඩ්රන් එකේ වෙපන් කැඩුණම හදන සාජන් ගලප්පත්ති මම ළඟට ඇවිත් සර් මම සර් එක්ක මැරෙන්න යන්න හරි එනවා කිව්වා. ඊට පස්සේ අපි මිලිමීටර් විස්සේ කැනන් තුවක්කුවක් පළමුවරට හෙලිකොප්ටරයට හයි කරලා ඒක භාරව ගලප්පත්ති ආවා.
අපි හිඟුරක්ගොඩින් උඩු ගුවනට නගිද්දී කෑම්ප් එකේ ඔක්කෝම අත්පුඩි ගහලා අපිව දිරිමත් කළා

ප්‍ර: ඊළඟ අභියෝගයට ඔබ මුහුණ දෙන්නේ කොහොමද?
පි: අපි ඇන්ටි මිසයිල් සිස්ටම් නැති නිසා මිසයිල් ක්‍රියාත්මක වන සීමාව අබිබවා යාම තමයි අභියෝගය වුණේ. මිසයිල් එකේ රේන්ජ් එක අඩි 15,000 යි. විවෘත හෙලිකොප්ටරයක් එච්චර උඩින් ගෙනියන්න බැරි නිසා ‍පොළොවේ මට්ටමේ ඉඳන් අඩි දහයක් පහළින් පියාසර කිරීම විතරයි මිසයිල්වලින් බේරෙන්න තිබුණේ. මිසයිල් බබල් එකට පහළින් යන එක විතරයි අපට විසඳුමකට තිබුණේ.
ඒ අනුව මම ත්‍රිකුණාමලෙන් තෙල් ගහගෙන කිලෝ මීටර් පහක් ගොඩබිමේ සිට මුහුද පැත්තට ගියා. එතැන ඉඳන් මුහුදට අඩි පහක්, දහයක් උඩට වෙන්න තියාගෙන අපි ෆ්ලයි කළා. ‍පොඩ්ඩක් හරි ගැස්සුනා නම් අපි මුහුදේ.
මම යනව කියලා දැනගත්තම ගුවන් හමුදාපතිතුමා පුකාරා යානයක් ත්‍රිකුණාමල චීන වරායේ කඳවුරෙන් මගේ පස්සෙන් යන්න කියලා එව්වා. උදිත දන්වත්ත නියමුවා හිටියේ. එයා මගේ පස්සෙන් වේගය අඩුකරගෙන හිමිහිට ආවා.
අපි අභියෝගය ජයගෙන යාපනයට ගිහිල්ලා යාපනය ටවුන් එකෙන් ගුවනට මතුවුණා. මම යාපනය ටවුන් එකේ කරනම් දෙකක් ගහලා ගුවන් හමුදාවේ අභිමානය පෙන්නුවා. පුකාරා එකත් වට තුනක් කැරකුණා.

ප්‍ර: ඔබලාගේ යාපනය ගමනේ ප්‍රතිචාර කොහොමද?
පි: හමුදාවේ දසදහසක් විතර අපි උඩින් ටවුන් එකට එද්දී සතුට පළකරමින් අත්පුඩි ගහන්න ගත්තා. එයාලාගේ ජීවිත රැකෙන්න නම් අපි ගුවන් මෙහෙයුම් කරන්න ඕනා. අපි අභියෝගයක් මැද ගිය එක ටර්නින් ‍පොයින්ට් එකක් (හැරවුම් ලක්ෂ්‍යය) වුණා. එදා මම මිසයිල් තර්ජනයට මුහුණ දෙන්න මිසයිල් නාශක එනකන් හඳුන්වලා දුන්න අලුත් කන්සෙප්ට් එක දිගටම ක්‍රියාත්මක කරලා තමයි කොටින්ගේ මිසයිල් තර්ජනය ජය ගත්තේ.

ප්‍ර: එතකොට හමුදාවේ පළමුවැනි එයාර් මොබයිල් ඔපරේෂන් එකට ගුවනින් දායක වූ අය අතරේ ඔබත් සිටියා නේද?
පි: ඔව්. අපිට තාණ්ඩිකුලම් එල්ටීටීඊ රෝඩ් බ්ලොක් එකට ගහන්න පාබල භට පිරිස් සමග ගොස් ගුවන් මෙහෙයුමකින් ගොඩබස්සන්න තිබුණා. මම රොජර් වීරසිංහ, රනිල් ගුරුසිංහ හෙලිකොප්ටර්වල ගියා. හර්ෂ අබේවික්‍රම, කෝලිත ගුණතිලක ෂයාමා ෂෙට්ටිවල ගියා. අනුරාධපුරෙන් භට පිරිස් අරගෙන ගිහින් අප තාන්ඩිකුලම් වලට ගහන එක තමයි පළමුවැනි එයාර් මොබයිල් ඔපරේෂන් එක විදියට කළේ.
ප්‍ර: අප්‍රේල් 28 රොජර් වීරසිංහ නැතිවුණු දවසේ ඔබත් ඔහු සමග යන්න හිටියා කියනවා නේද?
පි: අපි තාන්ඩිකුලම් ඔපරේෂන් එක ඉවරවෙලා යාපනයේ ඔපරේෂන් එකකට යන්න හිටියේ. මගෙන් 28 දා යාපනේ එනවද ඇහුවම මම වෙඩින් ඇනිවසරි එක නිසා නිවාඩු ගත්තා. මම වෙනුවට සම්පත් තුයියකොන්තා ගියා. රොජර් එදා පලාලි ඔපරේෂන් එක ඉවර කරලා හෙලිකොප්ටර් එකේ එන්නේ නැතිව ඇවිරෝ ප්‍ලේන් එකේ එද්දී තමයි නැතිවුණේ. එයා මගියෙක් විදිහටයි ආවේ.

ප්‍ර: ඔබ අන්තිමට පියාසර කළේ කවදාද?
පි: 2014 දීයි.

ප්‍ර: තවදුරටත් අවස්ථාවක් ලැබුණොත් පියාසර කරනවද?
පි: දැනටමත් මම ෆ්ලයි කරනවා. ගුවන් හමුදාවේ ‍‍‍ජ්‍යෙෂ්ඨතම හෙලිකොප්ටර් පුහුණු උපදේශක මමයි.

ප්‍ර – සිව්වන ඊළාම් යුද්ධයේදී පාකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක තනතුර හොබවමින් එල්.ටී.ටී.ඊ.ය පරාජය කිරීම සඳහා ඔබත් සුවිශේෂී මෙහෙවරකින් දායක වුණා. ඒ ගැන මොකද කියන්න තියෙන්නෙ?
පි – 2005 මාර්තුවල තමයි මම පාකිස්තාන්වල ඩිෆෙන්ස් ඇටෑච් වෙලා ගියේ. ඒ අවධියේ තමයි එල්.ටී.ටී.ඊ.ය මාවිල්ආරුව වහලා දැම්මේ. ඊට පස්සේ රජය ත්‍රස්තවාදීන්ට එරෙහිව මානුෂීය මෙහෙයුම අරඹද්දී ගුවන් හමුදාවට යානා තිබුණට බෝම්බ ගොඩක් තිබ්බේ නැහැ. යුද හමුදාවට කාලතුවක්කු, මෝටාර් උණ්ඩ හිඟවෙලා තිබුණා. පාකිස්තාන රජය සමග අපි ඒ අවධියේදී ආයුධ ගන්න ගනුදෙනු කළා. ඒ රටේ ත්‍රිවිධ හමුදාපතිවරු තිදෙනා සමග සෘජු සබඳකම් තිබුණ නිසා මට ඒ අයගේ කඳවුරුවලට ගිහිල්ලා ඉක්මනින් උණ්ඩ අරගෙන ගුවන් මගින් එවන්න හැකි වුණා. අපි සල්ලි නැතිව ණයටත් වෙඩි උණ්ඩ ගත්තා. මාවිල්ආරු මෙහෙයුම පටන් ගත්තට පස්සේ හිටපු ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හැමදාම කතා කරලා කපිල මොකද වෙන්නෙ කියලා අහනවා. සැරින් සැරේට ඉල්ලපු දේවල් අඩු වුණාම කතා කරනවා. කොහොම හරි ඉල්ලපු හැමදේම ගුවන් යානා, නැව් හොයාගෙන එවන්න මම කටයුතු කළා.

ප්‍ර – පාකිස්තානයේ ඉඳන් වසර දෙකක් කළ මෙහෙවරෙන් පසුව ඔබට ගුවන් හමුදාවේ බළගණ විසිහතරකින් සමන්විත කටුනායක කඳවුරේ අණදෙන නිලධාරි තනතුර ලැබිම හා එම අභියෝගය ගැන සඳහන් කළොත්?
පි – 2007 වන විට යුද්ධයේ උච්චතම අවස්ථාවේ මම කටුනායක භාර ගත්තේ. එල්.ටී.ටී.ඊ.යේ කුරුම්බා ඇට්ටි මැෂිම ලෙස හඳුන්වපු සැහැල්ලු ගුවන් යානා වලින් තුන් පාරක් කොළඹට පහර දෙන්න ඇවිත් තිබුණා. මම හිටපු එක කඳවුරකටවත් ත්‍රස්ත ප්‍රහාර එල්ල වුණේ නැත්තේ මම කෑම්ප් එක ඇතුළේ ඉන්නවාට වඩා එළියට කට්ටිය දාලා යොදවපු ආරක්ෂක සැලසුම් නිසයි. කටුනායකදී මම එල්.ටී.ටී.ඊ.යට හිතන්න බැරි වෙන්න සැලසුම් යෙදුවා. මම ඒකල කඳවුරේ පුහුණුවට ආපු පුහුණු වෙන භටයෝ තුන් හාරසියයක් ගෙනැල්ලා අවට පාසල්වල සතිඅන්තයට ස්ථානගත කළා. එල්.ටී.ටී.ඊ.ය පළවැනි පාර ඔත්තු බැලුවා නම් ඊළඟට ඔත්තු බලද්දී හිතා ගන්න බැරි විදිහට දවසින් දවස ආරක්ෂක සැලසුම් වෙනස් කළා.

ප්‍ර – බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ ආරක්ෂාව සම්බන්ධ නිසි බලධාරියා ලෙස ඔබව ජනාධිපතිවරයා විසින් එවකට පත් කළා නේද?
පි – එල්.ටී.ටී.ඊ.ය තුන් පාරක් සැහැල්ලු යානාවලින් ආවත් අපි කටුනායක ගුවන් තොටුපළේ ජාත්‍යන්තර ගුවන් ගමන්වලට බාධාවක් නොවෙන්න ආරක්ෂක සැලසුම් යෙදුවා. කිසිම ජාත්‍යන්තර ගුවන් යානයක් ප්‍රමාද කළේ නැහැ. මම ආරක්ෂාව වෙනුවෙන් කළ දේ ගැන හිටපු ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඩිෆෙන්ස් ෆෝරම්වලදීත් කතා කළා. කෑම්ප් රැක ගන්න ඕනෑ නම් කපිල ජයම්පතිගෙන් අහන්න කියලා ඔහු අනිත් නිලධාරීන්ට කිව්වා.

ප්‍ර: ඔබව ගුවන් හමුදාපති තනතුරට පත් වීමත් සමග ගුවන් හමුදාවේ දෙවැනි පුටුවේ සිටි එදා ඔබ සමග මෙහෙයුම්වලට එකට ගිය එයාර් වයිස් මාර්ෂල් රනිල් ගුරුසිංහ සේවයෙන් ඉවත් වෙන්න තීරණය කළා. ඒ ගැන මොකද කියන්න තියෙන්නේ.?
පි: ඔහු ඉල්ලා අස්වීම ගැන මම කනගාටු වෙනවා. ඒක ඔහු ගත් තීරණයක්. තවම ඒ ගැන ලිඛිතව ලැබිලා නැහැ.

ප්‍ර: පසුගිය වසරේ ගුවන් හමුදාපති ධුරයට සීතල සටනක් ඇතිවුණා. ඒ සටනේ සිටි ‍‍‍ජ්‍යෙෂ්ඨ පස් දෙනාට කොළඹ නාලන්දාවේ ඉගෙනගත් ගගන් බුලත්සිංහලත්, ඔබත්, සුමංගල ඩයස් යන තිදෙනාද අයත් වුණා. ගුවන් හමුදාවේ පළමුවරට හමුදාපති තනතුරට වූ සීතල සටන මොකක්ද?
පි: ඇත්තටම එහෙම සීතල සටන් තිබුණේ නැහැ. හිටපු ගුවන් හමුදාපතිතුමා විශ්‍රාම ගනිද්දී ආරක්ෂක අමාත්‍යාංශය ‍‍‍ජ්‍යෙෂ්ඨම නිලධාරින් පස් දෙනාගේ නම් ඉල්ලලා එවලා තිබුණා. ඒ අතරේ මගේ නමත් ‍‍‍ජ්‍යෙෂ්ඨතාව අනුව තිබුණා. ඊට පස්සේ ‍‍‍ජ්‍යෙෂ්ඨතාව අනුව එදා ගගන් බුලත්සිංහල මහතාට ඒ තනතුර හම්බවුණා.

ප්‍ර: ඔබට ගුවන් හමුදාපති ධුරය විශාල අභියෝගවලට, කම්කටොලුවලට මැදින් ආපු ගමනක් වුණා නේද?
පි: හිටපු ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහලට වයස 55 පිරුණේ මේ සැප්තැම්බර් 12 දායි. ඒ වෙද්දී මම සියලු අභියෝගවලින් ජයගෙන ‍‍‍ජ්‍යෙෂ්ඨතාව අනුව ගුවන් හමුදාපති ධුරයට පත් වුණා.

ප්‍ර: එතකොට කලින් ගුවන් හමුදාපති නාලන්දේ. ඔබත් නාලන්දේ. මීළඟට දෙවැනි පුටුවට පත්වෙන්න ඉන්න නිලධාරියාත් නාලන්දේ. ගුවන් හමුදාපති තනතුර නාලන්දාවටම සින්න වෙලා වගේ නේද?
පි: ගුවන් හමුදාවේ හැටහය වසරක ඉතිහාසයේ නාලන්දා ආදි සිසුවකුට ගුවන් හමුදාපති ධුරය පළමු වරට හම්බවුණේ ගිය අවුරුද්දෙයි. ‍‍‍ජ්‍යෙෂ්ඨතාව අනුව ඊළඟ මම සිටිය නිසාත්, මමත් ඒ පාසලෙන්ම බිහි වූ ගුවන් හමුදාපති කෙනකු වුණා.

ප්‍ර – ගුවන් හමුදාව ඉහළ තත්ත්වයට ගෙන ඒම සඳහා ඔබගේ අනාගත සැලසුම් මොනවාද?
පි – හැම ගුවන් හමුදාපතිවරයකුගේම අභිලාෂය ගුවන් හමුදාව ඉහළම තලයකට රැගෙන ඒමයි. අපිට මේ වන විට තියෙන විශාලම තර්ජනය මුහුදු මාර්ගයෙන් එන නීති විරෝධී ද්‍රව්‍ය හා මත් ජාවාරමට වැට බැඳීමයි. ගුවන් හමුදාවේ ශක්තිය වැඩි කරන අතරේ සමුද්‍ර ආරක්ෂක කටයුතු සඳහා විශේෂ මෙහෙයුම් කිරීමට අවශ්‍ය වෙනවා. ඒ වගේම ගුවන් හමුදාව අලුතින් ප්‍රහාරක යානා ගැනීමටත් ප්‍රහාරක ශක්තිය වැඩිකිරීමටත් අවශ්‍යයි.

සාකච්ඡා කළේ – තිස්ස රවීන්ද්‍ර පෙරේරා
tissaravindra@gmail.com

ඡායාරූප- චතුර එස්. කොඩිකාර