ජීවිතයේ අනේකවිධ දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දෙමින් වැටි වැටී නැගිටිමින් පියවරෙන් පියවර තම ඉලක්කය කරා නොබියව නොසැලී ඉදිරියට ගිය ඔහු වත්මන් බස්නාහිර පළාතේ ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය වේ.

දේශපාලන ලෝකයට පිවිසීමට තරම් ප්‍රබල පවුල් පසුබිමක් ඉසුරට නොතිබිණි. එමෙන්ම දේශපාලනයට යොමුවීමට තරම් ධනයක්, නිලයක්, බලයක් ඔහුට හෝ ඔහුගේ පවු‍ලේ කිසිවකුට නොතිබිණි. සාමාන්‍ය මධ්‍යම පාන්තික දරුවකු ලෙස ඉපිද දේශපාලන ලෝකයේ ජය කෙහෙලි නංවමින් වර්තමානයේ බස්නාහිර පළාතේ මහ ඇමැතිවරයා දක්වා ඔහු පැමිණි දේශපාලන ජීවිතය මල් ඇතිරූ මාවතක් නොවීය.

ඔහු අධ්‍යාපනය සඳහා යොමුවන්නේ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයටයි. ආනන්ද ශාස්ත්‍රාලයේ තිබූ බෞද්ධාගමික පසුබිම ඉසුරට ජීවිතයේ පාඩම් රැසක් කියාදුන් තෝතැන්නක් විය.

පාස‍ලේදී අධ්‍යාපනයට මෙන්ම ක්‍රීඩා කටයුතුවලට, බාහිර සමිති සමාගම්වලට මූලිකත්වය දෙමින් කටයුතු කළ ඔහු කීර්තිමත් ශිෂ්‍යයෙක් විය. ඔහුගේ කීර්තිය ආනන්ද ශාස්ත්‍රාලයේ පමණක් නොව අවට පාසල් කරාද පැතිරී තිබුණි. මේ නිසාම ඉතාමත් අඩු වයසකදී පාස‍ලේ ප්‍රධාන ශිෂ්‍ය නායක පදවියද ඔහුට හිමිවිය.

පාසල් අධ්‍යාපනයට ආයුබෝවන් කී ඉසුරගේ යෞවන විය මෙරට දේශපාලනයේ අඳුරු යුගයකි. උතුරේත් දකුණේත් තරුණ තරුණියන් තම අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කරද්දී ඉසුර තම ගමේ තම තරුණ පිරිස එක්රැස් කරගෙන යෞවන සමාජයක් පිහිටුවීය. ඒ ඔස්සේ ජාතික තරුණ සේවා සභාව හා එක්වූ ඔහු තම තරුණ ජවය යෞවන සමාජය හා සමාජ සේවා කටයුතුවලට යෙදවූයේ අනෙක් තරුණ පිරිස්වලට ආදර්ශයක් ලබාදෙමිනි.

ඉසුරගේ දේශපාලන ජීවිතයේ ආරම්භය 1991 පළාත් පාලන මැතිවරණයයි.

1991 පළාත් පාලන මැතිවරණයට දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් මහජන එක්සත් පෙරමුණෙන් ඡන්දය ඉල්ලන්න යැයි ආරාධනාවක් ඉසුරට ලැබෙන්නේ මේ අතරය. මේ වනවිට ඉසුර ජනප්‍රිය ආර්ථික විද්‍යා ගුරුවරයකු වූ බන්දුල ගුණවර්ධන මහතාගේ ගෝලයෙකි. ඒ නිසාම ඉසුරට මහජන එක්සත් පෙරමුණ පිළිබඳව යම් ප්‍රසාදයක්ද තිබිණ.

දිනේෂ් ගුණවර්ධන මහතාගේ ආරාධනයෙන් දේශපාලන ජීවිතයට පිවිසි ඔහු 1991දී මහජන එක්සත් පෙරමුණෙන් මහරගම ප්‍රාදේශීය සභාවට තේරීපත් විය. තමන් මුහුණදුන් පළමු මැතිවරණය ජයගත් ඉසුර නැවතුණේ මහරගම ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයේය.

මහරගම ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයට පත්වූ ඉසුර ක්‍රමයෙන් තම බල ප්‍රදේශයේ සංවර්ධන කටයුතුවලට මූලිකත්වය දුන්නේය. 1997දී පළාත් පාලන මැතිවරණය ඇරඹිණි. මේ වනවිට දේශපාලන කලකිරීම්වලට මුහුණ දී සිටි ඉසුරට ශ්‍රීලනිපයෙන් ඡන්දයට ඉදිරිපත් වන්නැයි ආරාධනයක් ලැබිණි. ඒ අමල් සේනාධිලංකාර මහතාගෙනි. මහරගම ප්‍රදේශයේ ඉසුරගේ පාක්ෂිකයන් රැසක්ද ශ්‍රීලනිපයට බැඳෙන්නැයි ඉසුරට ආරාධනා කරන්නට විය. ඉසුරගේ දේශපාලන ජීවිතයේ දෙවැනි ප්‍රධාන කඩඉම ශ්‍රීලනිපයට බැඳීමයි. ඒ අනුව 1997 පළාත් පාලන මැතිවරණයට ඉසුර ඉදිරිපත් වූයේ ශ්‍රීලනිප අපේක්ෂකයකු ලෙසය. එවරද මහරගම ප්‍රාදේශීය සභා සභාපති වූ ඉසුර ප්‍රාදේශීය සභාව නගර සභාවක් බවට පත් කිරීමට අවශ්‍ය මූලික පියවරක් ගත් හෙයින් සියලු ගෞරවයන් තමන් වෙත නතුකර ගත්තේය. 1999දී පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් විය. 1999දී පළාත් සභා මැතිවරණය ජයගෙන පළාත් සභා මන්ත්‍රීවරයකු වූ ඔහු එදා සිට මේ දක්වාද බස්නාහිර පළාතේ ජනප්‍රිය දේශපාලනඥයකු ලෙස කටයුතු කළේය.

මේ අතර 2014 ජනාධිපතිවරණය සමග තත්ත්වය වෙනස් අතකට පෙරළිණ. ඉසුර දැඩි දේශපාලන තීන්දුවක් ගත්තේ ජනවාරි 09 වැනිදාය. ඒ ශ්‍රීලනිප ‍ලේකම් ලෙස කටයුතු කළ 2014 ජනාධිපතිවරණයෙන් ජයගත් මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමයි. ඒ හමුව ඉසුරගේ දේශපාලන ජීවිතයේ ඔහුට එතෙක් නොලැබුණු අවස්ථා රාශියක් ලබාගැනීමට පාර කැපීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහුට වැඩක් කරන්නට ඉඩක් ලබාදෙමින් බස්නාහිර පළාත් සභාවේ මහ ඇමැති ධුරය භාර කළේය. කුඩා කල සිට සෑම තැනකම නායකත්වය ගෙන කටයුතු කළ ඉසුරට හිමිවිය යුතු නියම තැන ඔහුට ලැබිණ.

ඉසුර යනු ඊශ්වරයි. අධිපතියා, ප්‍රධානියා යන අරුතද ඉසුර යන්නට තිබේ. දේවප්‍රිය යන වචනාර්ථය දෙවියන්ට ප්‍රිය යන්නයි. දෙවියන්ට ප්‍රිය වූ ඊශ්වර යන අර්ථය සහිත වූ නමක් හිමිකර ගනිමින් වත්මනේ බස්නාහිර මහ ඇමැතිවරයාව සිටින ඉසුරගේ ඉදිරි දේශපාලන ජීවිතයද සාර්ථක වේවායි පතමු.

විවිධ හැළ හැප්පීම් මධ්‍යයේ ඔහු පැමිණි දේශපාලන දිවියට වසර 25 සපිරෙන මේ මොහොතේ ඔහුගේ දේශපාලන අනාගතය සාර්ථක වේවායි පතමි.
සුරනිමල පෙරේරා