ලංකාවේ බොහෝදෙනා දන්නා දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානය වසා දැමීමට යන බවට පසුගිය දිනවල හාහූවක් ඇති විය. මීට මාස හතඅටකට පෙර සිට දෙහිවල ජාතික සත්වෝද්‍යානය වසා දැමිය යුතු බවට පරිසර සංරක්ෂණයට සම්බන්ධ පිරිස් සේම සත්ත්ව හිංසනය සම්බන්ධයෙන් කතාබහ කරන ඇතැම් උදවිය ද ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරන්නට වූහ. ඊට හේතු වූ කරුණු කීපයකි. මෙම ලියුම්කරු ද අවස්ථා ගණනාවකදීම දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ පවත්නා ප්‍රාථමික ස්වරූපය හෙළිකර තිබෙන බව කිවයුතුය. එහෙයින් දෙහිවල සත්වඋද්‍යානය වසා දැමිය යුතුය යන මතය මේ ලියුම්කරුට අලුත් මතයක් ලෙස පෙනෙන්නේ නැත. බොහෝ වැරදි දැක දැකත් ඒ වැරදි නිවැරදි කිරීමට දෙහිවල ජාතික සත්වෝද්‍යානයට බල නොකළ පිරිසක් දැන් හතු පිපෙන්නා සේ කරළියට පැමිණ දෙහිවල සත්වෝද්‍යානය රැකගත යුතු යැයි කෑමොර දෙති. ඒ පිරිස අතර මෙරට පරිසර සංරක්ෂණ ක්‍රියාවලියේ කීර්තිමත් ඉතිහාසයකට හිමිකම් කියන මේ ලියුම්කරු පවා ගරු කරන උදවිය සිටින බව කිව යුතුය. මෙම ලිපියේ අරමුණ වී තිබෙන්නේ ඒ පිරිසේ සිත රිදවීම නොව ඔවුන් දරන මතය ඛණ්ඩනය කිරීම පමණි. මෙරට පරිසර සංරක්ෂණයට සේවාවක් කළ ඒ උදවිය   දෙහිවල පවතින වධකාගාරය වෙනුවෙන් හඬවල් අවදිකිරීම පිළිබඳව අපට මෙන්ම රටට ද ඇත්තේ ජුගුස්සාවක් බව අකමැත්තෙන් වුව මෙහි ලියා තැබිය යුතුය.

සත්වඋද්‍යානය හොඳයි යැයි කෑමොර දෙන මහත්වරු ප්‍රකාශ කරන එක් ප්‍රධාන කරුණක් වන්නේ සත්ත්වෝද්‍යානයක් මගින් විතැන් සංරක්ෂණයක් (Ex situ Conservation) සිදුවන බවය. විතැන් සංරක්ෂණය යනු සතුන් සිටින ස්ථානයෙන් වෙනත් තැනකට ගෙනගොස් කරන සංරක්ෂණයයි. එය ඇතැම් සත්ත්ව විශේෂ සම්බන්ධයෙන් ලෝපුරා සාධනීය ලෙස සිදුවේ. එය වෙනමම කතාන්දරයකි.

ඒ පිළිබඳව අපට ගැටලුවක් ඇත්තේ නැත. එවැනි ගෘහාශ්‍රිත අභිජනන සංරක්ෂණය පිළිබඳව හා එම සංකල්පය පිළිබඳව දෙහිවල සත්වඋද්‍යානයට පක්ෂ විපක්ෂ දෙපාර්ශ්වයම එකම මතයක් දරන බවට සැකයක් නැත.

එහෙත් අභාග්‍යයකට එවැනි දෙයක් කිරීමට දෙහිවල සත්වෝද්‍යානය වැනි ප්‍රාථමික වධකාගාරයක් පවත්වාගෙන යෑම කිසිසේත්ම අවශ්‍ය නොවන බව මේ සම්බන්ධයෙන් කෑමොර දෙන අයගේ හෘද සාක්ෂිය ද හොඳින් දන්නා කරුණකි.
මෙහිදී අපට මූලික වශයෙන් කරුණු කිහිපයක් මතු කිරීමට අවශ්‍යව පවතී. ඉන් පළමුවැන්න වන්නේ මිහිතලයේ තවත් එක් සතෙකු වන මිනිසාට අනෙක් සතුන් අමනෝඥ ලෙස සිර කොට (කුමන පදනමකින්වත් සතුන් සිර කිරීමේ අයිතිය මිනිසා සතුව නැත.) ප්‍රදර්ශන භාණ්ඩ ලෙස අවම පහසුකම්වත් ලබා නොදී මැරෙන මොහොත වන තුරු ප්‍රදර්ශනය කිරීම හා මුදල් ඉපැයීමට කිසිදු අයිතියක් නොමැති වීමය. එය සබුද්ධික සියල්ලන්ම විශ්වාස කරන සත්‍යයකි.  සත්ත්වඋද්‍යානය වෙනුවෙන් හඬ නගන මහත්වරුන්ගෙන් විමසීමට යමක් තිබේ. ඒ ඔබලාගේ කුඩා දරුවන්් වෙනත් අයකු සන්තර්පණය කිරීම සඳහා සිර කර තබන අයිතිය වෙනත් අයෙකුට ලබාදීමට ඔබලා එකඟද? මරණය දකින තුරු අවම පහසුකමක්වත් ලබා නොදී වද වේදනා මැද සිරකර තැබිම නිවැරදි කරුණක් ද? ඔබලා එයට එකඟ ද? ඒ ප්‍රශ්නයට මේ මහත්වරු පිළිතුරු ලබාදිය යුතුව ඇත. (අලි ශාරීරික සුවතා ව්‍යායාම සඳහා අලි සෙල්ලම්වලට ගෙන යෑම වැදගත්ය වැනි මුග්ධ උත්තර මෙයට ලබා නොදෙනු ඇතැයි ද අපි උදක්ම බලා‍පොරොත්තු වෙමු.)

එලෙසම අවම වශයෙන් ලෝකය තුළ සත්වෝද්‍යාන සංකල්පය විද්‍යාත්මකව නවීකරණය වී ඇත. සරලව කියතොත් නරඹන්නා කූඩුවක ගොස් නිදැල්‍ලේ සිටිනා සතුන් නැරඹීම වර්තමානය වන විට ලොව ජනප්‍රිය ක්‍රමය බවට පත්ව ඇත. එවැනි ක්‍රම පවතිද්දී අඩි හතරේ පහේ කූඩුවල සතුන් සිරකර ඔවුන්ගේ ආතතියට පත් මුහුණු දෙස බලා කාලකණ්ණි තෘප්තියක් ලබා ගන්නා සංස්කෘතිය දැන්වත් අවසන් කළ යුතු නොවේද? ඒ පිළිබඳව ඔබ සැමගේ සිත් යොමුවී සත්‍ය අවබෝධ වේවායි අපි පහන් සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු.

සංකල්පීය වශයෙන් මෙවැනි කරුණු ගණනාවක් සත්වෝද්‍යාන සම්බන්ධයෙන් පවතී. එය සංකල්පීය භාවිතාවකි. මෙම ඒ භාවිතාව අනුව බාහිර ස්ථානයක සතුන් සංරක්ෂණය යන කාර්යය අවතක්සේරුවට ලක් නොවන බව නැවතත් කිව යුතුය. මේ කතිකාව සිදුවන්නේ එවැනි ප්‍රාථමික පදනමක සිට නොවන බව මෙයට ඉදිරියේ පිළිතුරු ලබා දෙන මහතුන්ගේ දැන ගැනීම උදෙසා සටහන් කළ යුතුය. කෙසේ වුවද එම සංකල්පීය කරුණට අමතරව දෙහිවල සත්වෝද්‍යානය සම්බන්ධයෙන් දැවැන්ත විවේචනයක් මෙරට පරිසර සංරක්ෂණවේදීන්ගේ මනස් තුළ තිබෙන බව පැවසීම අතිශයෝක්තියක් නොවේ.

දෙහිවල සත්වෝද්‍යානයේ ඊනියා නිලධාරි මණ්ඩලයට “මැඩම්, සර්” යැයි කියමින් ඔවුන් පසුපස ගමන් ගන්නා ඇතැම් පරිසර හිතාකාමී මහත්වරුන්ගේ හදවත් අභ්‍යන්තරයේ පවා මෙකී විවේචනය තිබෙන බව අපි හොඳින් දනිමු.

විද්‍යාත්මක පර්යේෂණවල වටිනාකම් ගැන කතා කරන මහත්වරුන්ට තවත් කීමට යමක් තිබේ. එනම් දෙහිවල ජාතික සත්වෝද්‍යානයෙන් පසුගිය දශක කිහිපය තුළ ජාත්‍යන්තර තලයේ පිළිගන්නා විද්‍යාත්මක පත්‍රිකා කීයක් ප්‍රකාශයට පත්කර තිබේ ද? තිබේ නම් ඒ මොනවාද? ඒවායේ පිළිගත් විද්‍යාත්මක පදනම කුමක් ද? මේ ප්‍රශ්නවලට ඔවුන් පිළිතුරු සැපයිය යුතුය.

අනෙක් අතට මෙම සත්වෝද්‍යානය තුළ සිදුවූ ඉතාම දුර්ලභ උපත් සම්බන්ධයෙන්වත් නිවැරදි විද්‍යාත්මක ලියැවිල්ලක් ඉදිරිපත්ව නැති බව පැහැදිලි කරුණකි. එම සතුන්ට බාධා නොවන ලෙස එවැනි දුර්ලභ දසුන් ඡායාරූපයට නැගීමට හෝ වීඩියෝ ගත කිරීමට හැකියාව පැවතුණ ද එවැනි කිසිවක්ද ඔබ මේ සුරකින්නට තනන වධකාගාරය තුළ සිදුවී නැත. එසේ වුවද මේ තුළ මිනිසුන් පුදුම වන සිදුවීම් ගණනාවක් සිදුවී තිබෙන බව අකමැත්තෙන් වුව ලියා තැබිය යුතුය.
ව්‍යාඝ්‍ර පැටවුන්ට ඊරියක් උපයෝගි කොටගෙන කිරි දෙන්නට ගියේ මේ උද්‍යානයේ මහත්තුරුන්ය. එකට දැමුවහොත් අභිජනනය වන බැවින් ඇනකොණ්ඩා යුවළ වෙන් කළේ මේ මහත්තුරුය. කූඩුවේ සතුන් සිටින විටම එම කූඩු වෑල්ඩින් කරන්නේද මේ මහත්තුරුය. (එවැනි එක් සිද්ධියක් මේ ලියුම්කරු සියැසින්ම දැක ඇති බව වගකීමෙන් ලියා තැබිය යුතුය.) මීට දශක ගණනාවකට පෙර සකස් කරන ලද හයේ හතරේ කූඩුවල සතුන් දමාගෙන වධ දෙන්නේද මේ මහත්තුරුන්ය. එපමණක් ද නොව වැඩි වන සතුන් කිසිදු රෝග විනිශ්චයකින් තොරව කිසිදු විද්‍යාත්මක පදනමකට අනුගත නොවන ලෙස වනයට මුදා හරින්නේද මේ මහත්වරුන්ය. එවැනි එක් උදාහරණයක් පමණක් මෙහි සඳහන් කරන්නෙමු.

මීට වසර කිහිපයකට පෙර විල්පත්තු ජාතික වනෝද්‍යානයේ විල්ලුවක් අසලට මුවන් කිහිප දෙනෙකු දෙහිවල සත්වෝද්‍යානයේ නිලධාරීහු මුදා හැරියහ. ඒ මොහොතේම එම සත්්තු ඒ අසල දිය කඩිත්තකට දිව ගියහ. විනාඩි කිහිපයක් යන්නටත් පෙර එම සත්තු එහි සිටි කිඹුලන්ගේ ගොදුරු බවට පත් වූ බව මෙරට සිටින කීර්තිමත් විද්‍යාඥයකු වන මෙන්ඩිස් වික්‍රමසිංහ මහතා මේ ලියුම්කරුට වරක් කීවේය. එවැනි උදාහරණ සිය ගණනක් මෙහි සටහන් කළ හැක.
මේ වධකාගාරයේ හොඳම කෑල්ල මේ කිසිවක් නොවේ. සමන්ත ගුණසේකර වැනි කීර්තිමත් රේගු නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් මෙරටට අනවසරයෙන් ගෙනා කුරුලු විශේෂ ගණනාවක් පසුගිය කාලයේ අත්අඩංගුවට පත් විය. උසාවි ක්‍රියාදාමයෙන් පසුව එම කුරුල්ලන් භාර වූයේ දෙහිවල ජාතික සත්වෝද්‍යානයටය. තමන්ට එවැනි කුරුල්ලන් සෑදීමේ දැනුම නොමැති බව සඳහන් කරමින් එම සතුන් නැවතත් මෙරට අධිකරණ පද්ධතිය හෑල්ලුවට ලක් කරමින් අර දූෂිත ව්‍යාපාරිකයන්ටම ලබා දීමට කටයුතු කළේද ඔබ මේ සුජාත යැයි දකින සත්වෝද්‍යානයේ “සර්ලා මැඩම්ලා” බව මෙහි අප සටහන් කරන්නේ වගකීමෙනි. මෙම කුරුල්ලන් ලංකාවට ගෙනාවේ සාමාන්‍ය නිවාසවල සිටින කුරුල්ලන් ඇති කරන උදවියට විකිණීම සඳහාය. එම පිරිස් සතුව කුරුල්ලන් සම්බන්ධව හෝ ඔවුන් ඇතිකිරීම සම්බන්ධව පෘථුල විද්‍යාත්මක දැනුමක් ඇත්තේ නැත. එවැනි අය පවා ඇති කරන කුරුල්ලන් ඇති කිරීමට නොදන්නා බව මේ තක්කඩි නිලධාරීන් කීවේ කෙසේද යන්න ඒ අනුව විමසා බැලිය යුතුය.  එවැනි වංචනිකයන්ට විද්‍යාත්මක සත්වෝද්‍යානයක් කළ නොහැකි බව පැහැදිලි කරුණකි. ඔවුන්ට විතැන් සංරක්ෂණය යනු සිහිනයකි.

එවැනි වංචනිකයන්ට කළ හැක්කේ මස් කඩයකි. ඔවුන් දැන් කරන්නේද ඊට සමාන දෙයකි. එලෙසම මෙරට අධිකරණයෙන් වැරදිකරුවන් බවට පත්වී රාජසන්තක වූ භාණ්ඩ නැවත චූදිත පාර්ශ්වයටම ලබාදීම යනු ජාතික දේපළ මංකොල්ලයකි. ‍පොදු දේ‍පොළ පනත යටතේ මේ වරදට ඇප ලබා දීම ද කළ නොහැක. බලධාරීන් වහාම කළ යුත්තේ මේ දූෂිත ගනුදෙනුවට සම්බන්ධ වූ තක්කඩි වංචනික නිලධාරීන් හා නිලධාරිනියන් කවුද යන්න සොයා බලා වහාම ඔවුන් අත්අඩංගුවට ගැනීමය.

සත්වඋද්්‍යානය තුළ සිදුවන මෙවැනි වංචාවන් පිළිබඳව සත්වඋද්‍යානයට සුදුහුණු ගාන උදවිය දැන සිටියේද යන්න පිළිබඳව අපි නොදනිමු. එහෙත් දෙහිවල සත්වෝද්‍යානය තුළ සිදුවන මෙම වංචාවන් පිළිබඳව සත්වෝද්‍යානයට පක්ෂ  කණ්ඩායම දැන සිටියේද? ඒ සම්බන්ධයෙන් ඔවුන් මෙවැනි මාධ්‍ය සාකච්ඡා කීයක් තබා තිබේද? එසේ නැතිනම් වෙනත් ක්‍රියාමාර්ග එයට එරෙහිව ගෙන තිබේද? එසේ ගෙන තිබේ නම් ඒ මොනවාද? ගෙන නැත්නම් ඒ මන්ද? මෙවැනි ප්‍රශ්න ගණනාවක් මෙහිදී පැන නගින බව අකමැත්තෙන් වුව ලියාතබන්නෙමු.

ජාත්‍යන්තර සත්වෝද්‍යාන ප්‍රඥප්තිය අනුව වනාන්තරවලින් අල්ලා ගන්නා සතුන් ප්‍රදර්ශනය කිරීම, හුවමාරු කිරීම කිසිසේත්ම කළ නොහැකි බව ඔබ සියලු දෙනා  දන්නා කරුණකි. එහෙත් අභාග්‍යයකට දෙහිවල සත්වෝද්‍යානය තවමත් මේ පාපතර නීති විරෝධී ක්‍රියාවේ නිරතව සිටින බව මෙහි සඳහන් කරන්නේ වගකීමෙනි. හම්බන්තොට සෆාරි උද්‍යානය තුළ පවා මෙවැනි වනාන්තරවලින් අල්ලා ගත් සතුන් ගෙන ගිය බව ඡායාරූප මගින් පවා ඔප්පු කිරීමේ හැකියාව ඇත. මෙවැනි තත්ත්වයක් පවතිද්දී ඒ සියල්ල පිළිබඳව මුනිවත රැකීම කනගාටුවකි. දෙහිවල ජාතික සත්වෝද්‍යානය සම්බන්ධයෙන් තවත් දස දහස් ගණනක් වූ මෙවැනි අක්‍රමිකතාවන් ඉස්මතු කළ හැකි බව පමණක් මේ මහත්වරුන්ට මතක් කරන්නෙමු.

සත්වෝද්‍යානයට පක්ෂ කණ්ඩායමේ ඇතැම් අය පෙන්වන්නට උත්සාහ දරන්නේ ශ්‍රී ලංකා තරුණ සත්වවේදීන්ගේ සංගමය වැනි සංවිධාන දෙහිවල සත්වෝද්‍යානය නොමැති නම් බිහි නොවන බවය. ශ්‍රී ලංකා තරුණ සත්වවේදීන්ගේ සංගමය යනු මේ ලියුම්කරු දන්නා පරිදි ස්වාධීන සංවිධානයකි. එමගින් විශාල මෙහෙයක් මෙරට පරිසර සංරක්ෂණයට සිදුවී ඇත.

තවදුරටත් සිදුවෙමින් ද පවතී. මේ ලියුම්කරු පවා එහි එක් යුගයක කටයුතු කර තිබේ. ඒ නිසා එයට ගැරහීමට කිසිදු  බලා‍පොරොත්තුවක් අප සතුව නැත. එනමුදු තරුණ සත්ත්වවේදීන්ගේ සංගමය පිළිබඳව කතාකරන මහත්වරුන්ට කිවයුතු යමක් තිබේ. දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ වල්ගය තරුණ සත්ත්වවේදීන්ගේ සංගමය නොවිය යුතුය. යම් දෙයක් වැරදි නම් එය නිවැරදි කිරීම හැර වෙනත් යමක් සබුද්ධික අය තුළ ඉතිරිවිය නොහැක. මේ ලියුම්කරු විශ්වාස කරන්නෙ මෙම ආයතන දෙකෙන් වඩා ප්‍රබල තරුණ සත්ත්වවේදීන්ගේ සංගමය බවය. එහෙයින් කාලකණ්නි වධකාගාරයක එම සංගමය දියකර හැරීමට කිසිවකුටත් අයිතියක් ඇත්තේ නැත. ඒ නිසා මෙය ප්‍රශ්න දෙකකි. යමෙක් මේ දෙක පටලවා ගැනීමෙන් සිදුවන්නේ දෙහිවල වධකාගාරය තවදුරටත් විරාජමාන වීම පමණි.

අවසන් වශයෙන් එක් දෙයක් පමණක් සටහන් කරන්නෙමු. මේ ප්‍රශ්නය පිළිබඳව මුහුණු‍පොතේ සටහනක් තැබූ එක් ‍‍‍ජ්‍යෙෂ්ඨ පරිසර සංරක්ෂණවේදියකුගේ පිළිතුරක් පිළිබඳව කෙටි සටහනක් මෙහි තබන්නෙමු. එම මහතා කියා ඇත්තේ අලි සෙල්ලම්වලින්  අලින්ට ව්‍යායාම ලැබෙනවා ඒ නිසා එය දොසක් නැතැයි කියාය. කරුණාකර සමාජය පිළිකුලට ලක් කරන මෙවැනි පිළිතුරු ඔබ වැනි අයකුගෙන් ඉදිරිපත් නොවේවා යැයි අපි ප්‍රාර්ථනා කරන්නෙමු.
නයනක රන්වැල්ල

Dehiwala Zoo (4) Dehiwala Zoo (3)

හම්බන්තොට සෆාරි උද්‍යානයට වනාන්තරවලින් අල්ලා නීතිවිරෝධි ලෙස මෙරට ජාතික පක්ෂියා වන වලි කුකුළන් රැගෙන විත් තිබෙන ආකාරය(නීතිවිරෝධී සත්ත්ව වෙළෙඳාමත් මේ සන්දර්භය තුල සිදුවන බවට මෙය එක් නිදසුනකි)
හම්බන්තොට සෆාරි උද්‍යානයට වනාන්තරවලින් අල්ලා නීතිවිරෝධි ලෙස මෙරට ජාතික පක්ෂියා වන වලි කුකුළන් රැගෙන විත් තිබෙන ආකාරය(නීතිවිරෝධී සත්ත්ව වෙළෙඳාමත් මේ සන්දර්භය තුල සිදුවන බවට මෙය එක් නිදසුනකි)

Dehiwala Zoo (1)

dehiwala

දෙහිවල ජාතික සත්වෝද්‍යානය නැරඹීමට පැමිණි කුඩා දරුවෙක් එය නැරඹීමෙන් පසු ව්‍යාඝ්‍රයෙක් කුඩා කූඩුවක සිරවී සිට හඬන ආකාරය සිතුවමට නගා තිබිණි. එම සිතුවම යටින් එම දරුවා ඉංග්‍රීසියෙන් වැකියක් ද සටහන් කර තිබිණි. “ඔබලාගේ සත්තු වත්ත හිරගෙයක්. ඒකේ කූඩු ඉතාම කුඩයි. ව්‍යාඝ්‍රයා ඒ කූඩුව ඇතු‍ලේ ඉඳගෙන අඬනවා. ඒ නිසා මම සත්වෝද්‍යානයටත් ඒ ගමනටත් වෛර කරනවා.” එම වැකියේ සිංහල තේරුම එවැන්නකි.  මෙහි අප එම සිතුවම පලකර ඇත.

දෙහිවල ජාතික සත්වෝද්‍යානය වසා දැමීම හා විවෘතව තබා ගැනීම යන අංශ දෙක නියෝජනය කරන මෙරට ප්‍රකට පුද්ගලයන් දෙදෙනකුට ඔවුන්ගේ අදහස් දක්වන්නට අපි මෙහි ඉඩ විවර කළෙමු.

දෙහිවල ජාතික සත්වෝද්‍යානය වහාම වසා දැමිය යුතු යැයි යෝජනා කරන පාර්ශ්වය වෙනුවෙන් හඬ අවදි කරන ලද්දේ හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ මුනුපුරෙකු වන රුක්ෂන් ජයවර්ධන මහතාය. ඔහු අසූව දශකයේ මුල සිට දෙහිවල ජාතික සත්වෝද්‍යානය පිළිබඳව ඉතා හොඳින් කරුණු දන්නා රටම පිළිගන්නා විද්වතෙකි. ඔහු 1981 වර්ෂයේ සිට වසරක් නියෝජ්‍ය අධ්‍යාපන නිලධාරී ලෙස දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සේවය කර තිබේ. ඊට පෙර එහි ස්වේච්ඡා මාර්ගෝපදේශකයකු ලෙස කටයුතු කර ඇත. 1992 වර්ෂයේ සිට 1998 වර්ෂය දක්වා දෙහිවල සත්වෝද්‍යානය සම්බන්ධයෙන් ස්ථාපිතව පැවති උපදේශන කමිටුවේ ද සාමාජිකයෙක් වශයෙන් කටයුතු කර ඇත.

සත්වෝද්‍යාන පාර්ශ්වය වෙනුවෙන් මෙහිදී හඬ අවදි කරන ලද්දේ ජලජ සම්පත් කළමනාකරණ සංවිධානයේ සභාපති වශයෙන් කටයුතු කරන ශාන්ත ජයවීර මහතාය. ශාන්ත ජයවීර මහතා අසූව දශකයේ මැද භාගයේ සිට ශ්‍රී ලංකා තරුණ සත්වවේදීන්ගේ සංගමය හා එක්ව කටයුතු කරන පරිසරය පිළිබඳව කරුණු කාරණා දන්නා විද්වතෙකි. ඒ මහතා මේ වන විටත් කනිෂ්ඨ තරුණ සත්වවේදීන්ගේ සංගමය භාරව කටයුතු කරයි.

shantha-සත්වඋද්‍යානවලින් සත්තුන්ට ආදරය කරන පරපුරක් බිහිවෙනවා –  ජලජ සම්පත් කළමනාකරණ සංවිධානයේ සභාපති ශාන්ත ජයවීර

දෙහිවල ජාතික සත්වෝද්‍යානය පිහිටා තිබෙන්නේ කොළඹට ආසන්න ස්ථානයක. වාර්ෂිකව සත්වඋද්‍යානය නරඹන්න ලක්ෂ 13කට ආසන්න පිරිසක් එනවා. ඉන් ලක්ෂ 3 ක් කුඩා දරුවන්. ළමයෙක් කුඩා කල ආසාකරන තැන් තියෙනවා. කූඩුවේ හිටියා හරි එළියේ හිටියා හරි පුංචි ළමයින් ආසයි සත්තු බලන්න. සාමාන්‍යයෙන් පුංචි ළමයි ලොකු සත්තු අඳින්නේ. සිංහයා, ජිරාෆ්, අලි වගේ සත්තු තමයි ඔවුන්ගේ ප්‍රියතම සත්තු ලෙස පේන්නේ. සත්වෝද්‍යානයකට ආවාම ඇතැම් ළමයි ඒකට ඇබ්බැහිවීමක් සිදුවෙනවා. ඒ ළමයි පසුකාලීනව ඡායාරූපකරණය, පරිසර පරීක්ෂණ කටයුතු, අධ්‍යාපන කටයුතු වැනි පරිසර හිතකර දේවල්වලට යොමුවෙනවා. සත්වෝද්‍යානයකින් එවැනි උත්තේජනයක් වන බව පැහැදිලි කරුණක්.

මෙහිදී මම තවත් දෙයක් කියන්න කැමතියි. මගේ ඥාතීන් පිරිසක් වරක් බොරලුගොඩ ප්‍රදේශයේ වනාන්තරයක් කපන්න යන බව මට දැනුම්දුන්නා. ඒ වෙලාවේ ඒ ප්‍රදේශයේ ඉන්න ශාක හා සත්ත්වයින්ගේ නම් ලැයිස්තුවක් එක්ක එවකට පරිසර ඇමැතිවරිය වශයෙන් සිටි ශ්‍රීමනී ඇතුලත්මුදලි මහත්මියට මෙවැනි විනාශයක් වෙන්න යන බව අපි ලිඛිතව දැනුම් දුන්නා. ඒක කළේ තරුණ සත්ත්වවේදීන්ගේ සංගමයෙන්. ඒ ලිපිය බලලා ඇතුලත්මුදලි මහත්මිය ඒ වෙන්න ගිය මහා විනාශය නතර කළා. දැන් ඒක රක්ෂිත කැලයක්. එදා අපි එහෙම දෙයක් නොකළා නම් අද ඒ මහ කැලය අපට අහිමි වෙලා. අපි සත්තු ගැන දැනගත්තේ සත්වෝද්‍යානයෙන් හා තරුණ සත්වවේදීන්ගේ සංගමයෙන්. ඉන් ගම්‍යවෙනවා මෙහි වැදගත්කම. ඒවගේම කියන්න ඕන ලෝකප්‍රසිද්ධ ජෙරල් ඩර්ල් වැනි පූජනීය චරිත බිහි වුණෙත් සත්වෝද්‍යානවලින්. ඉතින් මේවා අමතක කරලා අද සමහරු කතා කරන එක ගැන කනගාටුයි.

rukshanමේ සත්වෝද්‍යානය ස්ථිර වශයෙන්ම වසා දැමිය යුතුයි  –  ප්‍රවීණ පරිසර සංරක්ෂණවේදී රුක්ෂන් ජයවර්ධන

මෙම සත්වෝද්‍යානය වැසිය යුතුමයි. මොකද මෙහි තිබෙන අඩුපාඩු මුලින්ම දැක්කේ අවුරුදු 20කට 30කට කලින්. ඒවෙනකොට ලීන් ඩී අල්විස් මහත්මයා තමයි සත්වෝද්‍යානයේ වගේම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ද ප්‍රධානියා වශයෙන් සිටියේ. එම කාලය තමයි මේ ආයතන දෙකේම ස්වර්ණමය කාලය. එතුමා නික්ම යාමත් සමග මේ ආයතන දෙකේම පරිහානිය ඇතිවුණා. අසූව දශකයේ මුල භාගයේ විවෘත සත්වෝද්‍යාන සංකල්පය ලෝකය පුරා ව්‍යාප්ත වෙන්න පටන් ගත්තා. ඒ කාලෙම අපි ඒක මෙහෙට යෝජනා කළා. නමුත් ක්‍රියාත්ම වුණේ නෑ. අද වෙනකොට මේ දෙපාර්තමේන්තු දෙකේම ඉහළ පුටුවල ඉන්න ඇතැම් අය විනාශකාරී වගේම නොයෙක් ජාවාරම්වලට සම්බන්ධ බවට සැකකරන අයයි. එවැනි අයගෙන් මෙවැනි දෙයක් වෙයි කියලා හිතන්න කොහොමත් බෑ. අද සත්වෝද්‍යානය තුළ හා ඒ හා බැඳුණු වෙනත් ස්ථානවල සත්ත්ව වෙළෙඳාම වෙන බව පැහැදිලිව පේන්න තියෙන දෙයක්. ඒවගේම සත්වෝද්‍යානයේ සත්තුන්ට කරන සැලකීම් ඉතාම අන්ත බව පැහැදිලිව පේන්න තියෙනවා. අවුරුදු 25ක් නොකළ දේවල් මේ අය දැන් කරයි කියලා හිතන්න අමාරුයි. ඒවගේම මේ ආයතන දෙකේම දූෂණ උඩුදුවලා. මම දකින මෙහි තිබෙන ප්‍රධානතම ප්‍රශ්නය තමයි මෙම ආයතනයේ ඉහළ පුටුවල ඉන්න සමහර අය  සත්තු සම්බන්ධයෙන් කිසිම සංවේදී බවක් නොමැති වීම. ඔවුන් සත්තුන්ට සලකන්නේ හිරකාරයෝ ලෙසින්.

කොස්ටරිකා රටේ සියලුම සත්වෝද්‍යාන පසුගිය දිනවල වසා දැම්මා. අපි බෞද්ධ රටක් වෙලත් මේ විදියට ඉතාම පුංචි ඉඩක ජලය පවා නිසිලෙස ලබා නොදී සත්තු කූඩුකරගෙන ඉන්නවා. අද මේ වධකාගාරය වෙනුවෙන් පෙනී ඉන්නේ බෞද්ධ අය. අපි ඒ ගැන පුදුම වෙනවා. අවසන් වශයෙන් කියන්න තියෙන්නේ අදියර කීපයක් ඇතුළත මේ තිරිසන් සත්වෝද්‍යානය වසා දැමිය යුතුයි කියන එක.