ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස රජය විසින් සෙනසුරාදා දහවල් පත්කළ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (4දා)  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ජනාධිපති කාර්යාලයේදී සිය පත්වීමේ  ලිපිය ලබාගැනීමට නියමිතය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර පසුගියදා (2දා) පැවති සාකච්ඡාවකින් අනතුරුව ජනාධිපතිවරයා විසින් නව මහ බැංකු අධිපතිවරයා ලෙස ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා නම් කළේය.

ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සහ ජනාධිපතිවරයා  අතර සාකච්ඡාවක් පෙරේදා(02) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී පැවැත්විණි.

1950 අප්‍රේල් 03 වැනිදා ශ්‍රී ලංකාවේ උපන් ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මෙරට සිටි කීර්තිමත් තානාපතිවරයකු වන රාජු කුමාරස්වාමි මහතාගේ පුත්‍රයා සහ ව්‍යවස්ථා සභාවේ සිවිල් නියෝජිත ආචාර්ය රාධිකා කුමාරස්වාමි මහත්මියගේ සහෝදරයා ද වෙයි.

66 වැනි වියෙහි පසුවන කුමාරස්වාමි මහතා කොළඹ රාජකීය විද්‍යාලයෙන් සහ එංගලන්තයේ හැරෝ විද්‍යාලයෙන් ද්විතීය අධ්‍යාපනය ලබා ඇති අතර විශිෂ්ටයන් බිහිකළ ලොව කීර්තිමත් කේම්බ්‍රිජ් සරසවියෙන් පළමු උපාධිය සහ එංගලන්තයේ සසෙක්ස් විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් ආචාර්ය උපාධිය හිමිකර ගෙන ඇත.
ජනප්‍රිය ක්‍රීඩකයකු ද වන කුමාරස්වාමි මහතා කොළඹ ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජයේ (Tamil Union Sports Club in Colombo) ක්‍රිකට් ක්‍රීඩකයකු වශයෙන් කටයුතු කර තිබේ.

ආචාර්ය කුමාරස්වාමි මහතා කේම්බ්‍රිජ් සරසවියේ අධ්‍යාපනය ලබද්දී එංගලන්තයේ ඒ ශ්‍රේණියේ ක්‍රිකට් ක්‍රීඩකයකු වශයෙන්ද කටයුතු කර ඇති අතර එම සරසවියේ රගර් කණ්ඩායමටද ක්‍රීඩාකර ඇත. ඔහු 1973 වසරේ දී රැකියාව සඳහා ශ්‍රී ල ංකාවට පැමිණීමෙන් පසු 1974 වසරේ දී සීආර් ඇන්ඩ් එෆ්සී (CR&FC) රගර් කණ්ඩායමේ ද නායකත්වය දරා තිබේ.

එසේම ඒ මහතා ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමේ නායකයා ලෙසද 1974 වර්ෂයේ දී කටයුතු කර තිබේ. එම කාලයේදී මෙරට රග්බි කණ්ඩායම දැක්වූ ඉහළ දස්කම් පෙන්නුම් කිරීමට සමත් විය.

කුමාරස්වාමි මහතා 1973 වසරේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අංශයේ නිලධාරියකු වශයෙන් සහ 1989 වසරේ මහ බැංකුවේ සංඛ්‍යා‍ලේඛන සහ අධීක්ෂණ අංශයේ නිලධාරියකු වශයෙන් කටයුතු කර ඇත.

මීට අමතරව ඒ මහතා 1981 වසරේ සිට 1989 වසර දක්වා මුදල් සහ සැලසුම් අමාත්‍යාංශයේ උපදේශකයකු වශයෙන් ද කටයුතු කර තිබෙන අතර අවසන් කාලයේ දී ඔහු සේවය කර ඇත්තේ ‍පොදු රාජ්‍ය මණ්ඩල ‍ලේකම් කාර්යාලයේ ආර්ථික කටයුතු අංශයේ අධ්‍යක්ෂවරයා සහ එම ‍ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂවරයා ලෙසය.

එලෙසම ඇමෙරිකාවේ දී 11 වසරක සිර දඬුවමකට ලක් වූ ශ්‍රී ලාංකික ඇමෙරිකානු දෙමළ ව්‍යාපාරිකයකු වන රාජ් රාජරත්නම්ට අයත් ගැලියොන් සමූහ සමාගමේ විශේෂ උපදේශකයකු වශයෙන්ද ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කටයුතු කර ඇත.

ආර්ථික විශේෂඥයකු ලෙස ලොව පිළිගත් ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මහ බැංකු අධිපති ලෙස පත් කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව මේ වන විට ප්‍රශංසා පළ කර තිබේ.
සුජිත් කෝනාර/ අමිල අබේරත්න