පාර්ලිමේන්තු සභා ගර්භය තුළ ඊයේ (03) ‍ලේ වැගිරීමක් දක්වා දුරදිග ගිය මන්ත්‍රීවරුන් අතර සිදුවූ ගුටිබැට හුවමාරුව පිළිබඳ සිද්ධියේ පරීක්ෂණ වාර්තාව අද (04) දහවල් 12.00 වන විට කථානායකවරයාට භාර දෙන බව නියෝජ්‍ය කථානායක  තිලංග සුමතිපාල මහතා පැවසීය.

එම සිදුවීමට අදාළ වීඩියෝ පට හා හඬ පට තමා වෙත ලබාගත් බවත් ඒවා ඇසුරෙන් ඊයේ (03) පස්වරුවේම ප්‍රශ්නයට තුඩු දුන් හැසිරීම පිළිබඳ සොයා බලන පරීක්ෂණය ආරම්භ කළ බවත් නියෝජ්‍ය කථානායකවරයා පැවසීය.

එම වාර්තාව කථානායකවරයාට ලබා දීමෙන් පසුව කථානායකවරයාගේ අනුමැතිය යටතේ අදාළ වීඩියෝපටය මාධ්‍ය වෙත නිකුත් කළ හැකි බවත් හෙතෙම පැවසීය.
පාර්ලිමේන්තුවේ ගරුත්වයට හානිකර එම සිදුවීමට අදාළ වගකිවයුතු මන්ත්‍රීවරුන් පිළිබඳ නිසි ක්‍රියාමාර්ග ගනු ඇතැයි තමා විශ්වාසය පළ කරන බව නියෝජ්‍ය කථානායකවරයා සඳහන් කළේය. අද (04) දින පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විශේෂ පක්ෂ නායක රැස්වීමේදී ද මෙම සිදුවීම සාකච්ඡාවට ගනු ඇති බවද ඒ මහතා පැවසීය.
නියෝජ්‍ය කථානායකවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (03) පාර්ලිමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදීය.

රුචිර දිලාන් මධුසංඛ/ සුරේකා නිල්මිණි ඉලංගකෝන්