බත්, ෆ්‍රයිඩ් රයිස්, ඩෙවල්, කොත්තු රුපියල් 10කින්ද පාන් හැර සියලුම බේකරි නිෂ්පාදන රුපියල් පහකින්ද ඉහළ දැමීමට සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය ඊයේ තීරණය කර ඇත.

වැට් බදු ඉහළ යාමත් සමග බත්, ෆ්‍රයිඩ් රයිස්, ඩෙවල්, කොත්තු පවතින මිලට අලෙවි කිරීමට නොහැකි නිසා රුපියල් 10කින් ඉහළ නැංවීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සංවිධායක අසේල සම්පත් මහතා සඳහන් කළේය.

මේ අතර ජාතිය ගොඩනැගීමේ බද්ද සහ වැට් බදු ඉහළ යාමත් සමග පාන් හැර සියලුම බේකරි නිෂ්පාදන අද (04) සිට ඉහළ නංවන බව ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවසීය.

සෝස් වර්ග ඇතුළු කුළු බඩුවල මිල ගණන් ඉහළ යාම හේතුවෙන් බත් පැකට්ටුවක මිල ඉහළ නැංවීමට කටයුතු කළ බවත් එළවළු රොටි, බිත්තර රොටි, පරාටාවල මිල ඉහළ යාමත් සිදු නොවන බවත් අසේල සම්පත් මහතා කියා සිටියේය.

පාන් හැර සියලුම බේකරි නිෂ්පාදන රුපියල් පහකින් ඉහළ නැංවීමට තීරණය වූයේ යීස්ට්, මාගරින් සහ ෆාම් ඔයිල්වල මිල සමාගම් විසින් ඉහළ නංවා ඇති නිසා බව බේකරි හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා පැවසීය.

මේ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් කළ විමසීමකදී එහි ඉහළ නිලධාරියෙක් සඳහන් කළේ බත් පැකට් සහ බේකරි නිෂ්පාදන සඳහා උපරිම සිල්ලර මිලක් නියම නොකිරීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගැනීමට නොහැකි බවයි.

තිළිණි මධුවන්ති