ධනංජය සිරිවර්ධන පුංචි තිරයෙන් නිතර දකින කඩවසම් රංගන ශිල්පියෙක්. ඔහු ගැන හඳුන්වා දෙන්න අටුවාටීකා අවශ්‍ය නැති නිසා ඔහුත් එක්ක කතාකළ අලුත් තොරතුරු මේ විදිහට රිවිසරසි පිටු අතරට එකතු කරන්න අපි හිතුවා. මේ ඒ ගැනයි.

පවුල එක්ක එකතුවෙලා මෙවර අලුත් අවුරුද්ද සමරන්න ධනංජයට අවස්ථාව ලැබුණේ නැහැ නේද? කොහොමද අලුත් අවුරුද්ද?
හැම අලුත් අවුරුද්දකම වගේ මෙවර අලුත් අවුරුද්දත් ගෙවුණේ  මාධ්‍ය ආයතන පවත්වන අවුරුදු උත්සවවල තමයි. ගෙදර අම්මා, තාත්තා, බිරිඳ එක්ක එකතුවෙලා අවුරුදු සමරන්න බැරි වුණා කියලා ඒ අය දොස් කියන්නේ නැහැ. ඒත් ලබන අවුරුද්දේ නම් ඒ අවස්ථාව ගෙදර අයත් එක්ක සමරන්න බලා‍පොරොත්තුවෙන් ඉන්නවා. මමයි, බිරිඳයි දැන් වෙනම ජීවත් වුණත් ජීවත් වෙන්නේ අපේම ගෙදරක ‍නෙවෙයි. ලබන අවුරුද්දේ අපේම ගෙදරක පදිංචි වෙන්නත් අදහසක් තියෙනවා.

ධනංජයගේ දෙවැනි විවාහ සංවත්සරය පසුගියදා තිබුණා නේද?
ඔව්. අපි විවාහවෙලා අවුරුදු දෙකක් වෙනවා. අපි ආදරය කරපු කාලෙත් විවාහ වුණාට පස්සෙත් දෙන්නට එකට අවුරුද්ද සමරන්න බැරිවුණා.

එයා ගුවන් සේවිකාවක් විදිහට කාර්යබහුලවෙලා හිටපු නිසා. ඒත් මේ අවුරුද්දේ එයාට මාත් එක්ක අවුරුද්ද සමරන්න අවස්ථාව ලැබුණා. ඒකට අවස්ථාව ලැබුණේ එයා මීට මාස කිහිපයකට කලින් රැකියාවෙන් ඉවත්වුණ නිසයි. එහෙම නොවුණා නම් මේ අවුරුද්ද සමරන්න වෙන්නෙත් තනියම තමයි.dananjaya - sachini (2)

හුඟක් ගැහැනු ළමයි හීන දකිනවා ගුවන් සේවිකාවක් වෙන්න. විවාහ ජීවිතය නිසා සචිනිට ඒ අවස්ථාව ඉක්මනටම නැති වුණා කියලා ධනංජයට හිතෙන්නේ නැද්ද?
සචිනි ගුවන් සේවිකාවක් විදිහට අවුරුදු අටක් වැඩ කළා. ඒ අවුරුදු අටට එයා රටවල් 105කට ගිහින් තියෙනවා. ඒ වගේ අවස්ථාවන් එයාට ලැබුණා. ඒ වගේම ඒ කාලය තුළ රැකියාව නිසා එයා සතුටක් ලැබුවා. නමුත් විවාහ වෙනකොටම සචිනි තීරණය කරලා තිබුණේ විවාහයත් එක්ක රැකියාවෙන් ඉවත් වෙන්න. ඒකට මගේ බලපෑමක් තිබුණේ නැහැ. ඒක එයාගේ කැමැත්ත. නමුත් මම ඒ දේට හුඟක් සතුටු වුණා. මොකද අපි දෙන්නා විවාහ වුණට පස්සෙත් දෙපැත්තක ඉන්න අවශ්‍ය නැති නිසා. එයා දුක් වෙන්නෙත් නැහැ රැකියාවෙන් ඉවත් වුණාට.

අවුරුදු කෑමබිම හදන්න ඔබේ බිරිඳගෙන් ගෙදරට සහයෝගයක් ලැබුණාද?
ඔව්. එයාට අවුරුදු කෑමබිම හොඳට හදන්න පුළුවන්. අපේ අම්මට සචිනි උදව් කළා.
විවිධ කෑමබිම හදලා සචිනි, ධනංජයව පුදුම කරවනවා කියලා ආරංචියි. ඇත්තද?
ඔව්. එයාට ඕනෑම කෑමක් රසට හදන්න පුළුවන්. ඒ හැකියාව එයාට හොඳටම තියෙනවා. කොහොම හරි අලුත් කෑම හොයාගෙන ඒවා හදලා බලනවා. ඒ කෑම වර්ග වැරදියට හැදුණත් කන්න පුළුවන්. රසයි. එයා වැඩිපුරම මාව පුදුමයට පත් කරන්නේ විවිධ කෑමබිම හදලා තමයි.

ධනංජයට ගැහැනු ළමයින්ගෙන් වැඩිපුර ප්‍රතිචාර ලැබෙද්දී ඇය ඔබත් එක්ක රණ්ඩු කරන්නේ නැද්ද?
මම සචිනිව දන්නේ මම ජනප්‍රිය වෙන්න කලින්. අපි දෙන්නා පුංචි කා‍ලේ ඉඳලා හොඳින් දන්න හඳුනන අය. ඒ හැඳුනුම්කම, විශ්වාසය ආදරයේදිත් එහෙමම තිබුණා. ඒ නිසා එයා මට ලැබෙන ප්‍රතිචාරවලට ඊර්ෂ්‍යා කළේ නැහැ. නිතරම අගය කළා මිසක් මගේ දක්ෂතා ගැන. ඒ වගේම එයා මගේ රසික රසිකාවියන්ට ගරු කරනවා.
ඉස්සර වගේ දැන් මට ලියුම්වලින් ප්‍රතිචාර නොලැබුණාට තාක්ෂණය දියුණු නිසා හුඟක් ෆේස්බුක් එකෙන් වගේම ඊමේල් පණිවිඩවලින් ප්‍රතිචාර ලැබෙනවා. ඒවාට උත්තර ලියන්න කියලා මට සචිනි තමයි කියන්නේ.

අලුත් නිර්මාණවලට රංගන දායකත්වය ලබාදුන්නාද? ඒ ගැනත් මතක් කරමු නේද?
මේ දවස්වල සිරප්, වස්සාන ප්‍රේමය හා සඳවතියේ කියන නිර්මාණවලින් මාව දැකගන්න පුළුවන්. සතියේ දවස් හතේම රූපවාහිනී තිරයෙන් මගේ රංගනය දකින්න ඕන කියන තැන මම නැහැ. ඒ නිසා මගේ රංගන හැකියාව උපරිමයෙන් පෙන්වන්න පුළුවන් වෙනස් නිර්මාණවලට මම දායකත්වය ලබාදෙනවා. ඉදිරියේදි හොඳ නිර්මාණවලට සහභාගි වෙන්න බලා‍පොරොත්තු වෙනවා.

රංගනයට වඩා නිවේදන කටයුතුවලට ධනංජය දැන් මුල්තැන දීලා වගේ?
ටී.වී. වන් චැනල් එකේ මම කලස් කියලා වැඩසටහනක් කරනවා කලා ජීවිතයේ කලස් පෙන්නපු විශේෂ චරිත එක්ක. ඒක වෙනස් වූ වැඩසටහනක්. රූපවාහිනියේ ‘ද ෆීලිං ඔෆ් යූත්’ වැඩසටහනත් කරනවා. ඉදිරියේදි හොඳ වැඩසටහන් කරන්න අදහසක් තියෙනවා නිවේදනයට තියෙන කැමැත්ත නිසාම.

ඒ කියන්නේ ඉදිරියේදි ධනංජය රංගනයෙන් ඉවත්වෙලා නිවේදන වෘත්තිය තෝරාගන්නවා කියන එකද?
එහෙම රංගනයෙන් ඉවත් වෙන්න දැනට නම් අදහසක් නැහැ. දිගටම රඟපානවා. ඒ අතරතුර තමයි නිවේදන කටයුතු කරන්න හිතාගෙන ඉන්නේ.

අපිට ආරංචි වුණා ධනංජයත් දැන් මධුමාධව වගේ කොණ්ඩේ විලාසිතාව වෙනස් කරන්න යනවා කියලා?
තාවකාලිකව කොණ්ඩේ බූගාන්න හිතුවා. ‍පොඩි වෙනසක් කරන්න හිතුවේ. ඒ පෙනුමෙන් රඟපාන්න අවස්ථාවක් ලැබුණොත් හොඳයි. කොහොම වෙයිද දන්නේ නැහැ. තට්ටේ නිසා නිර්මාණ ප්‍රතික්ෂේප වෙන්නත් පුළුවන්. කොහොම වුණත් ඒ වෙනස නම් කරනවා.

බිරිඳගේ අකමැත්තක් නැද්ද?
එයා මොකුත් කිව්වේ නැහැ. තාවකාලිකව බූගාන නිසා එයාගෙන් අකමැත්තක් නැහැ. කොණ්ඩේ ඉතින් ආයෙමත් වැවෙනවානේ. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ.

ධනංජයගේ බිරිඳත් නීති දාන බිරිඳක්ද?
තවම නම් නීතිරීති දාලා නැහැ. මම කරන දේවල්වලට ඒවා කරන්න එපා, මෙහෙම ඉන්න, ඒ වගේ දේවල් කියන්නේ නැහැ. ඒත් හෙට කොහොම වෙයිද දන්නේ නැහැ. දැනට නම් නීති දාන්නේ නැහැ.

ඔබේ සහෝදරයා මධුමාධව වගේ ගයන්න දැන් ඔබටත් කාලය එළැඹිලා කියලා හිතෙන්නේ නැද්ද?
මධුමාධව කියන්නේ සංගීත ක්ෂේත්‍රයේ අවුරුදු විසිපහක් ඉන්න දක්ෂ ගායකයෙක්. එයා තරම්ම මම ගායනයට දක්ෂ නැහැ. කෙටියෙන්ම කිව්වොත් එයාගේ ගායනා දක්ෂතාව ළඟකවත් මම නැහැ. මගේ හඬත් ඔහුගේ හඬ තරම්ම ලස්සන වුණා නම් මම ගයන්න පටන් ගන්නේ අද ඊයේ ‍නෙවෙයි. ඒ කාලයේමයි. ඒත් මට ලොකු ආසාවක් තියෙනවා සින්දුවක් කියන්න. ඒ වැඩකටයුත්ත ඉක්මනින්ම කරන්න ඕන කියන අදහසේ දැන් ඉන්නේ. මට සින්දුවක් කරන්න කියලාවත් අයියත් කියලා නැහැ. එයා දන්නවා මගේ හඬ ඒ තරම්ම ලස්සන නැහැ කියලා. මගේ බිරිඳගේ කටහඬ නම් ලස්සනයි. අපි දෙන්නා එකතුවෙලත් සින්දුවක් කියන්න කැමැත්තක් තියෙනවා.

මධුමාධව එක්ක තිබුණ සමීප සම්බන්ධයට මොකද වුණේ?
ඉස්සර වගේම මගෙයි අයියාගෙයි තියෙන සම්බන්ධය ඒ විදිහටම තියෙනවා. වෙනසක් වෙලා නැහැ. ඒ වුණාට ඉස්සර තරම්ම නිතරම මුණ ගැහෙන්න, කතා කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. එහෙම කියලා අපි ඈත්වෙලා නැහැ.

රියැලිටි තරග නියෝජනය කරන්න ධනංජයට ඇරයුම් ලැබෙන්නේ නැද්ද?
ලංකාවේ රූපවාහිනී හැම මාධ්‍යයකම විකාශය වුණු රියැලිටි තරගවලට මට ආරාධනා කළා. ඒත් ප්‍රතිපත්තියක් විදිහට මම රියැලිටි තරගවලට සම්බන්ධ වෙන්නේ නැහැ. මට ආදරය කරන රසිකයින්ගෙන් එස්.එම්.එස්. මනාප අරගෙන ඒ රියැලිටි තරග ජයග්‍රහණය කරන්න මගේ කැමැත්තක් නැහැ. ඒ නිසා සියලුම රියැලිටි තරග මම ප්‍රතික්ෂේප කළා.

පුංචි පවුල සම්පූර්ණ වෙන්නේ කොයි කාලයේද කියලාම අපේ කතාබහ අවසන් කරමු?
අපි දෙන්නාම පවුල සම්පූර්ණ වෙන්න දරුවෙක් අපේ ජීවිතේට එකතු වෙනකල් බලාගෙන ඉන්නවා. ඒත් ඒ දවස කවදාද කියලා දන්නේ නැහැ. ඒ අවස්ථාව ඉක්මනට උදාවේවි කියලා විශ්වාස කරනවා.

හර්ෂණී වීරරත්න
ඡායා-මලිත පතිරණ
හැඩගැන්වීම-ඉන්දික අල්විස්
ඇඳුම් – කුෂාන් නාමල් ජයසිංහ

dananjaya - sachini (3) dananjaya - sachini (1) dananjaya - sachini (5) dananjaya - sachini (4) dananjaya - sachini (6)