යාපනය, ‍පොන්නා‍ලේ සිට පේදුරුතුඩුව දක්වා දිවෙන කිලෝමීටර් තිහක පමණ මුහුදු තීරය තිස්පස් වසරකටත් එහා දිවෙන ඉතිහාසයක් පුරා ප්‍රසිද්ධ වූයේ නීති විරෝධී ජාවාරම්වලටය.

එල්.ටී.ටී.ඊ.යේ ආරම්භක අවධියේ පටන් මේ දක්වා මාදගල්, වැල්වැටිතුරෙයි, පේදුරුතුඩුව වෙරළ තීරයන් ප්‍රධාන කොටගෙන ඉන්දියාවේ සිට රත්රන්, රෙදිපිළි, බිඩි ඔතන කොළ මෙන්ම කොටි සංවිධානයට අවි ආයුධ රැගෙන ආ ප්‍රධානම ජාවාරම් සිදුවීමත් විශේෂත්වයකි. කොටි නායක වේළුපිල්‍ලේ ප්‍රභාකරන් මෙන්ම මුහුදු කොටි නායක සුසෙයිගේ උපන්ගම වන යාපනය, වැල්වැටිතුරෙයි කේන්ද්‍ර කරගෙන මෙකී ජාවාරමේ සියල්ල එවකටත් සිදුවිය.

පැය එකහමරක් වැනි කෙටි කාලසීමාවකදී මුහුදු මාර්ගයෙන් දකුණු ඉන්දියාවට පා තැබිය හැකි නිසා බෝට්ටු මගින් මෙම ජාවාරම අනාදිමත් කාලයක සිට කරගෙන එයි. යුද්ධය පැවතියදී නාවික හා ගොඩබිම් මෙහෙයුම් නිසා මෙම සැපයුම් මාර්ග අවහිර විය. යුද්ධය අවසන්වී ආරක්ෂක හමුදා මෙහෙයුම් සීමාවීමත් සමග යළිත් මේ මාර්ග මගින් ඉන්දියාවේ සිට කේරළ ගංජා හා හෙරොයින් ගෙන එන ජාවාරම ජයටම කෙරෙන්නට පටන් ගැනිනි.

මින් මාදගල් කේන්ද්‍ර කරගෙන වැඩිපුරම වන්නේ කේරළ ගංජා මෙරටට ගෙන එන මහා ජාවාරමකි. හෙරොයින් ජාවාරම සඳහා වැඩිපුරම යොදා ගැනුණේ මන්නාරම හා මීගමුව මුහුදු තීරයන්ය.

‍පොලිස් පරීක්ෂක මංජුල ද සිල්වා
‍පොලිස් පරීක්ෂක මංජුල ද සිල්වා

යාපනය කේන්ද්‍ර කරගෙන සිදුවන ජාවාරම් මැඬ පැවැත්වීමට වැඩිම බලය පැවරෙන්නේ ‍පොලිසියටය. ඒ නිසාම යාපනය හදවත බඳු මර්මස්ථානයක් මෙන්ම සංවේදී ස්ථානයක් වූයෙන් ‍පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා එම ප්‍රදේශවල ආරක්ෂාවට දක්ෂ පළපුරදු නිලධාරීන් පත්කර තිබිණි.

රාජ්‍ය ඔත්තු සේවාවේ සිටි දක්ෂ නිලධාරියකු වන නිලන්ත ජයවර්ධන මහතා කන්කසන්තුරේ ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරි ලෙසින් පත්වී මාදගල් මුහුදු තීරයේ ජාවාරම් මැඬ පැවැත්වීමට බුද්ධි ජාලයක් සකසන්නේ ඒ අනුවය. නිලන්ත ජයවර්ධන මහතා මේ වන විට නියෝජ්‍ය ‍පොලිස්පති ධුරයට උසස්ව රාජ්‍ය ඔත්තු සේවාවේ ප්‍රධානියා ලෙස පත්ව පැමිණ ඇතත් 2014 පටන් ඔහු ඇරඹි ඔත්තු ජාලය සාර්ථකව ක්‍රියාත්මක කරන්නට එම ප්‍රදේශ භාර ‍පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු නිලධාරීහු දිගටම පියවර ගත්හ.

පාතාල ලෝකයම හොල්ලමින් පාතාල මර්දනයේ පතාක යෝධයකු වූ ‍පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශ ප්‍රධානියාව සිටි සහකාර ‍පොලිස් අධිකාරි සිසිර කුමාර යටතේ පාතාල හා සංවිධානාත්මක අපරාධ මැඬලන්නට කැපවී ක්‍රියා කළ ‍පොලිස් පරීක්ෂකවරයකු වූ මංජුල ද සිල්වා ඉලවාලි ‍පොලිස් ස්ථානාධිපති ලෙසින් මෙකී උතුරු මුහදු සීමාවේ ජාවාරම් මැඬලන්නට දක්ෂකම් පෑ නිලධාරියෙක් විය.

ඉලවාලි ‍පොලිස් ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක මංජුල ද සිල්වා සමග වැල්වැටිතුරෙයි ‍පොලිස් ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක තුවාන් මිඩීන් හා වඩුක්කෝඩේයි, කන්කසන්තුරේ, පේදුරුතුඩුව යන ‍පොලිස් ස්ථාන පහේම නිලධාරීහු ‍පොන්නා‍ලේ සිට පේදුරුතුඩුව දක්වා වෙරළේ ජාවාරම් මැඬලන්නට දැඩි වෙහෙසක් ගත්හ.

වැටලීම් කොතරම් කළද උතුරු මුහුදු තීරයෙන් ධීවර කටයුතු සඳහා යන ධීවරයන්ගේ සහායෙන් මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු හොර ජාවාරම් හොර රහසේ වූ අවස්ථාද විය.
යුද්ධය ඇරඹුණු අසූව දශකයේ ඉන්දියානු සාගරය ඔස්සේ අවි ආයුධ හා තහනම් භාණ්ඩ ගෙනැවිත් දුන් ධීවරයන්ට කොටි සංවිධාන එකලද දිනකට රුපියල් විසිදහසක මුදලක් දුන්නේය. අද වන විට එකී මුදල රුපියල් ලක්ෂ දෙකක් තරම් අගයක් සහිතය. දැනුදු එකී ජාවාරම කරන්නේ ඉන්දියාවේ සිට ක්‍රියාත්මක වන සංවිධානාත්මක කල්ලිවලින් බව බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබේ.

මීට වසර තුනහතරකට පෙර මෙකී මුහුදු තීරය ඔස්සේ පැමිණ කේරළ ගංජා  මේ වන විට තොග පිටින් ගලා යන්නේ දකුණටය. දකුණේ තරුණ පරම්පරාව ඇතුළු ගංජාවලට ඇබ්බැහිවූවන් බහුතරයක් සමාජමය සහ සෞඛ්‍යමය වශයෙන් ද පරිහානිය කරා යමින් තිබෙන්නේ කේරළ ගංජාවලට ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය එකතු කර තිබිම නිසාය. මොවුහු අධික ලෙස මත්වීම සඳහා යැයි කියමින් මේ විනාශකාරී කේරළ ගංජා භාවිත කරති.

ස්වාභාවිකව වැවෙන ගංජා පැළවලට අධි රසායනික ද්‍රව්‍ය එකතු කර තරුණයන් මංමුළා කිරීම පමණක් නොව කාටත් නොදැනෙන්ට රටේ මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් ඉන්දියාවේ සිටින ඉන්දියානු පාතාලයේ ජාවාරම්කරුවන්ට ඇදී යාමද නොකඩවා සිදුවෙයි.

මෙම ජාවාරමට වැට බඳිමින් වැල්වැටිතුරෙයි හා ඉලවාලි ‍පොලිසිය සාර්ථක බුද්ධි තොරතුරු අනුව කළ වැටලීම් හේතුවෙන් කේරළ ගංජා කිලෝග්‍රෑම් හත්සියයකට වඩා ප්‍රමාණක් මේ වන විට අල්ලාගෙන තිබුණි.

යාපනය දිසාව භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති ඩබ්ලිව්.එස්.යූ. ප්‍රනාන්දු, නියෝජ්‍ය ‍පොලිස්පති ජී.කේ. පෙරේරා, ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරි රංජිත් මාසිංහ යන නිලධාරීහු නොකඩවා ‍පොලිස් ස්ථානාධිපතිවරුන් දිරිමත් කරමින් මෙකී වැටලීම්වලට අවශ්‍ය උපදෙස් හා නියෝග නිකුත් කරමින් නායකත්වය දුන්හ.

බුද්ධි අංශයේ සේවය කර ලැබූ අත්දැකීම් උපයෝගී කර ගනිමින් ඔත්තුකරුවන් මෙහෙයවූ ඉලවාලි ‍පොලිස් ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක මංජුල ද සිල්වාට ඉකුත් සතියේ ඔත්තුවක් ලැබුණේ රුපියල් කෝටි ගණනක් වටිනා කේරළ ගංජා තොගයක් ගැනය.

කොළඹට ප්‍රවාහනය කිරීමට කේරළ ගංජා තොගයක් සූදානම් කරමින් ඇති බවත් වැල්වැටිතුරේයි හා පේදුරුතුඩුව අතර ප්‍රදේශයේදී මෙකී ගංජා තොගය රැගෙන යාමට වාහනයක් පැමිණෙන බවටත් එමගින් තොරතුරු අනාවරණය විය.

මේ අනුව ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පතිවරයා ඇතුළු ඉහළ නිලධාරීන් දැනුම්වත් කළ ඉලවාලි ‍පොලිස් ස්ථානාධිපතිවරයා වැල්වැටිතුරෙයි ‍පොලිස් ස්ථානාධිපති තුවාන් මිඩින් ඇතුළු කණ්ඩායමක් සමග මෙහෙයුමට සූදානම් වූහ. ‍පොලිස් ස්ථාන දෙකේම නිලධාරීන් කණ්ඩායම් සිවිල් ඇඳුමින් තැන තැන ස්ථානගත කරන්නේ කිලෝමීටර් දෙකක ප්‍රදේශයක් ආවරණය වන අයුරෙනි.

හදිසියේ මාර්ග බාධක යෙදවිය හැකි අයුරෙන්ද කණ්ඩායම් යෙදවිණි.
තම තොරතුරුකරු ලවා ගනුදෙනුව සිදුකළ හැකි ළඟම ස්ථානයක්ද ගැනද අනාවරණය කර ගන්නට ‍පොලිස් පරීක්ෂක මංජුල ද සිල්වා කටයුතු කළේය. මුහුදු කොටි නායක සුසෙයිගේ උපන්ගම වන වැල්වැටිතුරේයි, පුලිකණ්ඩි ආසන්නයේ ජාවාරම ගජරාමෙට වන බව තොරතුරුවලින් අනාවරණය විය.

මේ අනුව ජාවාරම්කරුවන් කේරළ ගංජා තොගය රැගෙන මාර්ගයක් ඔස්සේ ඉදිරියට එන බවට ලද තොරතුරක් අනුව සැකකටයුතු ලෙසින් බෑග් දෙකක් තියාගෙන එන දෙදෙනකු ඔවුන්ගේ නිරීක්ෂණයට ලක්විය.

කොළඹින් එන වාහනය කොටු කර ගන්නට සූදානම් වුවහොත් ජාවාරම් කරුවන් පලා යාමට ඉඩ ඇති නිසා වහාම ක්‍රියාත්මක වී සැකකරුවන් දෙදෙනා අතරමගදී කොටු කරගන්නට ඉලවාලි ‍පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායම පියවර ගත්හ. එම වැටලීමේ එක් සැකකරුවකු කොටු කර ගන්නට හැකිවූ අතර අනෙකා පාර්සල් අතැර පලා යන්නේ සොයා ගන්නට නොහැකි ලෙසිනි.

අල්ලාගත් සැකකරු සමග කිලෝග්‍රෑම් හැටකුත් ග්‍රෑම් එකසිය පනහක කේරළ ගංජා තොගයක් එහි වූයේය. කිලෝ එක බැගින් වූ පාර්සල් හදා මුහුදට වැටුණද වතුර යා නොහැකි ලෙසින් ඉටි ආවරණ තුනකින් පමණ සමන්විත ගංජා පාර්සල් එහි විය.
මෙසේ අල්ලාගත් කේරළ ගංජා තොගයේ වෙළෙඳ‍පොළ වටිනාකම රුපියල් කෝටි එකහමාරකට අධිකය.

අල්ලාගත් සැකකරු ඥානසුන්දරම් ශිවරුබන් නමැති මුහුදු කොටි අංශයේ සිටි ප්‍රබල සාමාජිකයෙකි. අවුරුදු හතක්ම මුලතිව්හි කොටි මූලස්ථානයේ සේවය කළ බව කියන ශිවරුබන්ගේ පදිංචිය මුහුදු කොටි නායකයා පදිංචි පුලිකන්ඩි ප්‍රදේශයමය. මොහු වන්නි අවසන් සටනේදී හමුදාවට භාරව පුනරුත්ථාපනය වී ගම්බිම්වලට ගිය කොටි සාමාජිකයෙකි.

ඉන්දියාවේ පදිංචිව සිටින යාපනේ පදිංචි ජාවාරම්කරුවන් පිරිසක් එක්වී මෙම මහා පරිමාණ කේරළ ගංජා ජාවාරම කරගෙන යන බව අනාවරණය වන්නේ වැඩිදුර විමර්ශන නිසා ඉන්දියාවේ වේලක්කන්නිහි පදිංචිව මෙකී ජාවාරම මෙහෙයවන රවීන්ද්‍රන් නමැති ජාවාරම්කරුවකු ගංජා තොගය මෙරටට එවා තිබිණි.
ජාවාරම කෙරෙන්නේ විශ්වාසය මතය. කාලයක් තිස්සේ ජාවාරමේ නිරත වන්නන්ට ණයට ගංජා තොග දී ලංකාවට ගෙන ආ පසු මුදල් ලැබේ. අලුතින් ජාවාරමට එක්වන්නන්ට මුලින් මුදල් ගෙවූ පසු ගංජා තොග ලබා දීමේ එකඟතාව ඇති කර ගනී.

මෙම ජාවාරම මූදු මගින් කරන්නේද ඉතාමත් සූක්ෂ්ම ලෙස ආරක්ෂක අංශවලට සැක නොසිතෙන ලෙසිනි. ඉන්දියාවේ සිටින ජාවාරම්කරු ලංකාවෙන් යන බෝට්ටුකරුට ඉන්දීය මුහුදේ පැමිණිය යුතු ස්ථානයක් ජී.පී.එස්. අංක මගින් ලැබේ. අක්ෂාංශ, දේශාංශ සහිතව නිවැරදිව ඉන්න ස්ථානය පවා සොයාගත හැකි මෙකී ජී.පී.එස්. යන්ත්‍ර කොටි සංවිධානයද යුද්ධයේදී බහුලව යොදා ගත්තේය. ධීවරයන්ද ගමන් මග සෙවීමට භාවිත කරන මෙකී යන්ත්‍රයට අනුව ඉන්දියාවෙන් ලැබෙන අංක හත ස්ථානයට ගිය පසුව එතැනට පැමිණෙන බෝට්ටුවට ලබාදීමට සංකේතයක්ද (ඛිධඤඥ) ජාවාරම්කරු ලබා දෙයි. ලංකාවෙන් එන බෝට්ටුකරුට සංකේතය ලෙස පරෙවියාගේ නම ලබා දුන්නේ නම් බෝට්ටු දෙකේම අය නිවැරදි ගනුදෙනුකරුද කියා තහවුරු කරගන්නේ පරෙවියා යන සංකේතය හුවමාරු කර ගත් පසුවය.

ඉන්පසුව මුහුදට වැටුණත් නොතමෛන අයුරින් ඉටිකවර තුනක පමණ සීල් කර කිලෝව බැගින් සැකසූ කේරළ ගංජා තොග සහිත උර හුවමාරු කර ගන්නා ධීවර බෝට්ටුවේ මාළු දැල් තබන ස්ථානයේ තබා උඩින් දැල් ගොඩගසා සැක නොහිතෙන ලෙස වසාගෙන ගොඩබිමට එන්නේය. එකවර කිලෝ තිහ හතළිහේ සිට කිලෝ සියය දෙසීය පවා මේ අයුරින් ගෙන එන අවස්ථාද වන්නේය. මගදී නාවික හමුදාවට හෝ ‍පොලිසියට කොටුවේ යැයි සැකයක් ඇති වන්නේ නම් අතරමග බෝට්ටුව නවතා තෙප්පම තුළ රඳවාගෙන ගොඩබිමට රැගෙන එන්නට තරම් ජාවාරම්කරුවන් සැලසුම් සහගතව ක්‍රියාත්මක වෙයි.

ගොඩබිමට ආ පසුව එය රැගෙන ආ යුතු තැන කියන පුද්ගලයාටත් එය රැගෙන එන්නට කොළඹින් එන වාහනයටත් දුරකථන පණිවුඩය අණක් ලෙස ලැබෙන්නේ ඉන්දියාවේ සිටින ජාවාරම්කරුවන්ගෙන්ය.

මේ අයුරින් සංවිධානාත්මකව කරන මෙකී ජාවාරම මැඬලන්නට නම් සාර්ථක බුද්ධි තොරතුරු ජාලයක් ක්‍රියාත්මක කළ යුතුය. මීට පෙර ඉලවාලි ‍පොලිසියේ කේරළ ගංජා කිලෝ 81, කිලෝග්‍රෑම් 48, කිලෝග්‍රෑම් 28, කිලෝග්‍රෑම් 24 ආදී වශයෙන් වැටලීම් අටකදී කිලෝග්‍රෑම් 450ක් පමණ අල්ලා ගන්නට හැකිවන්නේද ‍පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ මෙහෙයවීමෙන් කළ දක්ෂ බුද්ධි මෙහෙයුම් නිසාය.

වරෙක ‍පොලිස්පතිවරයා යටතේ ඇති ‍පොලිස් විශේෂ කාර්යාංශයට ලද බුද්ධි තොරතුරක් පරිදි කේරළ ගංජා කිලෝ 120ක් බෝට්ටුවක රැගෙන එද්දීම අල්ලා ගන්නට හැකි වූයේත් සාර්ථක බුද්ධි තොරතුරකිනි.

රටට ව්‍යසනයක් විය හැකි මෙකී ජාවාරමේ සාර්ථක බුද්ධි මෙහෙයුම් හරහා තවදුරටත් මැඬලීමටත්, අනාගත තර්ජනය සලකා යාපනයටත් ‍පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ (නාකොටික්) විශේෂ කණ්ඩායම් යවා වෙනමම ඒකකයක් ස්ථාපිත කිරීමත් වගකිවයුත්තන්ගේ අවධානය යොමුවිය යුතුමය.

එසේම අවධාරණය කළ යුතු විශේෂ කරුණක් නම් මේ දිනවල කතාබහට ලක්වන ආකාරයට ඉන්දියාවේ ධනුෂ්කොඩියේ සිට ශ්‍රී ලංකාව හා ඉන්දියාව යා කරන මාර්ගයක් ඉදි කළ හොත් ගංජා ඇතුළු අනෙක් ජාවාරම්වලට එය අතිශය වාසි සහගත සාධකයක් වනු ඇත. මේ ගැන බලධාරීන් නිලධාරීන් පිරිසේ නොමඳ සැලකිල්ලට ලක්විය යුතුය.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා
tissaravindra@gmail.com

කේරළ ගංජා එන මාදගල් වෙරළ තීරය
කේරළ ගංජා එන මාදගල් වෙරළ තීරය