සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හදවත බඳු කොළඹ ජාතික රෝහල ඉදිරිපිට නොරිස් කැනල් මාවතේ පිහිටා ඇති වෙළෙඳ සංකීර්ණයේ අපිරිසිදු සහ එහි කූඨ වෙළෙඳුන් රෝගීන් බැලීමට පැමිණෙන අහිංසක මිනිසුන්ගේ මුදල් ගරන ජාවාරමක් සම්බන්ධයෙන් ‘රිවිර’ ඉකුත් 09 වැනි අඟහරුවාදා අනාවරණය කළේය.

“කොළඹ ජාතික රෝහල අසල ඇති නොපෙනෙන අපාය” යන මැයෙන් අප මෙම අනාවරණය රට හමුවේ තැබිය.
මෙකී අනාවරණයෙන් පසුව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි සහ කොළඹ මහ නගර සභාවේ ආහාර සුරක්ෂිතතා ඒකකය භාර වෛද්‍ය සුභාෂ් මෙන්ඩිස් යන මහත්වරුන් මෙම පුවත ගැන අවධානය යොමු කර තිබුණි.

ඒ අනුව ඉකුත් 12 වැනි සිකුරාදා දින උදා වුණේ මෙම වෙළෙඳ සංකීර්ණය වැටලීමට සියලු කටයුතු සූදානම් කරමින්ය.
මෙම හදිසි වැටලීම සඳහා මෙම අනාවරණය සිදු කළ රිවිර අපට ද ආරාධනාවක් ලැබුණු අතර ඊට ලියුම්කරු සහ ඡායාරූප ශිල්පියෙක් ලක ලෑස්ති වී සිටියහ.

ඉකුත් 12 වැනි සිකුරාදා දින පෙරවරු 9.30ට පමණ කොළඹ මහ නගර සභාවේ නිලධාරීන් වෙළෙඳ සංකීර්ණයට හදිසියේ කඩා වැදුණි. ඔවුන් සමග අපද සිටියෙමු.

කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි මහතාගේ උපදෙස් මත වැටලීම සඳහා එහි ආහාර සුරක්ෂිතතා ඒකකය භාර වෛද්‍ය සුභාෂ් මෙන්ඩිස් මහතාගේ මෙහෙයවීම මත ආහාර පරීක්ෂක නිලධාරි ගාමිණී රණසිංහ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක  නිලධාරි කේ. එම්. සෙනවිරත්න යන මහත්වරුන් සහභාගි වූ අතර වෙළෙඳසල් සංකීර්ණයේ පිවිසුම් දොරටුවේ සිට වෙළෙඳසල් සංකීර්ණය අවසන් වන පිටුපස දොරටුව දක්වා පිහිටි හැම වෙළෙඳසලක්ම මෙම නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කරන ලදී.

මෙහි වෙළෙඳුන් කිරි පැකට් ශීතකරණවල දමා නොමැතිව විකිණීමද විශේෂත්වයකි. කිරි පැකට් අනිවාර්යයෙන්ම ශීතකරණයක තැබිය යුතු බවට එහි කවරය තුළම දක්වා තිබුණද එකී කාරණාව මෙම වෙළෙඳුන් කිසිදු තැකීමකට ගෙන නොතිබුණි.

කිරි පැකට් මෙන්ම අනෙකුත් බිම වර්ග ජුෆෝම් පෙටිටි තුළ බහා මොවුන් අලෙවියට තබා ඇති අතර ඊට අයිස් කැටයක්වත් දමා නොතිබිම ද අනෙක් විශේෂත්වයකි.

මෙම හේතු මත රෝගීන්ට දීම සඳහා ගෙන යන කිරි පැකට් සහ අනෙකුත් බිම වර්ග නරක් වීමටද ඉඩකඩ වැඩි බව වෛද්‍ය සුභාෂ් මෙන්ඩිස් වෙළෙඳුන්ට පහදා දුන්නේය. ඊට අමතරව ඉදිරියේදී මෙවැනි දෑ ශීතකරණ තුළ දැමීමට ද වෙළෙඳුන්ට නියෝගයක් ද වෛද්‍යවරයා නිකුත් කළේය.

මෙම වෙළෙඳ සංකීර්ණ තුළ ඉහුම් පිහුම් ආදිය සිදු කිරීමට කිසිදු අවසරයක් කොළඹ මහ නගර සභාව දී නැති අතර එයද මෙම වෙළෙඳුන් උල්ලංඝනය කරනා බව මොනවට පැහැදිලි විය. වෙළෙඳ සංකීර්ණය ඉදිරිපස වෙළෙඳසල සේවකයෝ නිලධාරීන් එහි යන විටත් එහි ඉවුම් පිහුම් කටයුතු සිදු කරමින් සිටියහ.

බත්, පරිප්පු, අල හොදි, මාළු වර්ග, මස් වර්ග පිළියෙල කරන එම වෙළෙඳසල එම කටයුතු අපිරිසිදුව හා නිත්‍යානුකූල නොවන ආකාරයට සිදු කිරීම මත එම වෙළෙඳ සංකීර්ණයට නඩු පැවරීමට ද වෛද්‍ය සුභාෂ් මෙන්ඩිස් මහතා කටයුතු කළේය.

ඇතැම් අවස්ථාවලදී මෙම වෛද්‍යවරයා ප්‍රමුඛ වැටලීම් කණ්ඩායම වෙළෙඳසල් තුළට ගොස් මාළු පාන්, බිත්තර රෝල්, කිඹුල බනිස් ආදී කෑම වර්ග එම වෙළෙඳුන්ගෙන් ඉල්ලා සිටියේය.

ඊට අනුකූල වෙමින් බහුතරයක් වෙළෙඳුන් සිය දෑත්වලින්ම අල්ලා ඉල්ලූ කෑම බිම වැටලීම් කණ්ඩායමට දුන්නේ ආහාර විකිණීමේ මූලික කරුණුවත් එම වෙළෙඳුන් දැන නොසිටීම හා එකී කරුණුවලට පුරුදු පුහුණු වී නොමැති වීම බව මෙහිදී ඇස් පනාපිට අනාවරණය විය.

ආහාර පාන පාරිභෝගිකයාට දීමේදී එම ආහාර පාන ඇල්ලීම සඳහා වෙනම හැඬලයක් භාවිත කළ යුතු වේ. ඇතැම් වෙළෙඳසල්වල එම හැඬලය පෙනෙන තෙක් මානෙක නොමැති අතර හැඬලය තිබුණද බහුතර වෙළෙඳුන්ට එය භාවිත කිරීමේ පලපුරුද්දක් නොමැති බවද පෙනී ගියේය.

තේ සාදන ඇතැම් වෙළෙඳුන් නිය‍පොතු වවා තිබූ අතර එම නිය‍පොතු කැපීමට ද වුවමනාවක් නොවිණි. ඔවුනගේ පිරිසිදුකම ගැන ඔවුන් මීට වඩා සිතිය යුතු බවටද වැටලීම් කණ්ඩායම පහදා දුන්නේය.

ඊට අමතරව මෙම වෙළෙඳුන් අපිළිවෙළට හා අපිරිසිදුකමින් වෙළෙඳසල් පවත්වා ගෙන යාම මත වෙළෙඳසල් 14කට වෛද්‍යවරයා දැඩි අවවාද කළ අතර නැවත ඉදිරි දිනක තමන් මෙම ස්ථානය පරීක්ෂාවට පැමිණීමේදී එම අඩුපාඩු සකසා පවිත්‍රව වෙළෙඳාම් කටයුතු සිදු කළ යුතු බවටද වෙළෙඳසල් හිමියන්ට දැනුම් දුන්නේය.

ඇතැම් වෙළෙදසල්වල කුඩා ලැඟුම්හල්ද වෙළෙඳුන් විසින් සකස් කර ඇති අතර ඉන් එක් වෙළෙඳසලක මහා දහව‍ලේ නිදා සිටි තරුණියකද මෙම වැටලීමේදී හමු විය.

මෙම වැටලීමේදී පෙනී ගිය පුදුම සහගත කරුණ වන්නේ ඇතැම් වෙළෙඳසල්වල හිමිකාරිත්වය පිළිබඳව තිබු සැක සහිත කාරණය. එනම් වැටලීම් නිලධාරීන් සටහන් කර ගැනීම සඳහා වෙළෙඳකුටියේ හිමිකරුගේ ජාතික හැඳුනුම්පත්  අංකය ඇතුළු තොරතුරු විමසීමේදී ඒවා නොමැති බවට ද ව්‍යාජ බවටද පැවසිණි.

තොරතුරු වසං කිරීමටද ඇතැම් කූඨ වෙළෙඳුන් කටයුතු කළහ.

කොළඹ මහ නගර සභා නිලධාරීන් මෙම වෙළෙඳසල්වලට නඩු පැවරූ විට ඇතැම් වෙළෙඳුන්ට වඩා කෝපයට පත්වන්නේ කොළඹ මහ නගර සභා මන්ත්‍රීවරුන් බවටද තොරතුරු වාර්තා විය.

ඊට අමතරව තවත් වෙළෙඳුන් නඩු කටයුතු මගහරිමින් වෙළෙඳසල් පවා අතහැර යන සිද්ධිද සිදු වී ඇත.

මෙකී කරුණුවලින් පැහැදිලි වන්නේ මෙම වෙළෙඳුන් කටයුතු කරනු ලබන්නේ ඔවුනට රිසි ආකාරයෙන් බවට පෙනී යයි.

පවතින නීතිරීති ගැන තැකීමක් සිදු නොකරන මෙම වෙළෙඳුන් සිදුකර ගෙන යන අත්තනෝමතික ක්‍රියා කලාපවලින් අවසානයේදී අසරණ වන්නේ රෝගීන් බවද ඔවුන් සිතිය යුතුය.

මිල මුදල් පසුපස පමණක් හඹා යන ඔවුන්ගේ ඇතැම් වෙළෙඳුන්ට මනුස්සකමක්, සංවේදිකමක් ගෑවී නැතැයි ද සිතේ.
මිනිසුන් ‍පොහොසත් හෝ දුප්පත් වන්නේ සිතුම් පැතුම් සහ ක්‍රියාවෙනි. මෙම වෙළෙඳුන් පිළිබඳව ඉදිරියටත් කොළඹ මහනගර සභාව අවධියෙන් සිටිති යැයි අපේ අපේක්ෂාවයි.

වෙළෙඳුන්ට පමණක් මේ ගැන දොස් නගා පලක් නැහැ.

කොළඹ ජාතික රෝහලට දිනකට නන් දෙසින් පිරිස් පැමිණෙති. ඔවුනට රෝගීන් බැලීමට යාමට ආහාර පාන ගැනීමට ඔවුනට තේ එකක් බිමට, මුහුණ කට සෝදා ආහාර වේලක් ගැනීමට සුදුසු ස්ථාන හෝ වෙළෙඳසල් ජාතික රෝහල ඉදිරිපිට නොමැත.

එම නිසා රජයේ බලධාරීන්, දේශපාලනඥයන් එක්වී කොළඹ ජාතික රෝහල ඉදිරිපිට විවේකීව ආහාර වේලක් ලබා ගෙන රෝගීන්ටද පිරිසිදු ආහාරපාන ලබාගෙන රෝහල තුළට යාමට අවශ්‍ය පහසුකම් සැලසිය යුතුය.

එම කටයුත්ත කල්යල් නොයවා කඩිනමින්ම ඉටු කළහොත් කොළඹ ජාතික රෝහ‍ලේ ඉදිරිපිට ආහාර පාන මිලදී ගැනීමේ දැවැන්ත ප්‍රශ්නයද විසඳෙනු නිසැකය.

තවද ‘රිවිර’ මෙම සටහන අවසන් කරනු ලබන්නේ අප කළ අනාවරණයෙන් පසුව හෝ මෙම ප්‍රශ්නය සොයා බැලීමට ඉදිරිපත් වූ කොළඹ මහ නගර සභාවේ නිලධාරීන්ට සමාජ වගකීම නොපිරිහෙළා ඉටු කිරීම ගැන ස්තූතිවන්ත වෙමිනි.
චාමර අමසූරිය | chamaranews@gmail.com
ඡායාරූප – චතුර එස්. කොඩිකාර

Area Councils raid (2)

ආහාර පිළිගන්වන ආකාරය ගැන උපදෙස් දෙමින්
ආහාර පිළිගන්වන ආකාරය ගැන උපදෙස් දෙමින්
කිරි පැකට් ගබඩා කර තබා ඇති ආකාරය
කිරි පැකට් ගබඩා කර තබා ඇති ආකාරය
වෙළෙඳසල් තොරතුරු සටහන් කර ගනිමින්
වෙළෙඳසල් තොරතුරු සටහන් කර ගනිමින්
නිසි ප්‍රමිතියට පළතුරු ඇත්දැයි පරීක්ෂා කරමින්
නිසි ප්‍රමිතියට පළතුරු ඇත්දැයි පරීක්ෂා කරමින්
අත් සහ නිය‍පොතු පරීක්ෂා කරමින්
අත් සහ නිය‍පොතු පරීක්ෂා කරමින්
වෙළද සල් හිමියන්ට උපදෙස් ලබා දෙමින්
වෙළද සල් හිමියන්ට උපදෙස් ලබා දෙමින්